ආලවක දමනය



ජේතවනාරාමයේ සිට අලව් නුවරට තිස්‌ යොදුන් පමණ දුර විය. එනුවර රජගහනුවර හෝ සැවැත්නුවර මෙන් පසිඳු නුවරක්‌ද නොවීය. අලව් නුවර වැඩිපුරම විසුවෝ යක්‍ෂ නම් ගණයට අයත් වන්නෝය. ඔව්හු ස්‌වභාවයෙන් ම දැඩියෝ ය. රළු වරම් ගති ඇත්තෝය. තදින් කිපෙති. ඈත ගම් දනව්වක සිට හෝ අලව් නුවරට ආගිය අය හිඟ වූහ. සංචාරක වෙළෙන්දන්ගේ ඝෝෂාව නොඇසුණි. විශේෂ කර්මාන්ත යෑයි කිව හැකි දෙයක්‌ද නොවීය. හරිත වර්ණ වන රේඛාවන්ගෙන් ද සිහිල් නිල් දිය දහරාවෙන්ද මනාව සැදුණු හාත්පස නම් නෙතට සුවයකි.

මෙනුවර ආලවක නම් යක්‌ අධිපතියෙක්‌ වසයි. ඔහු දැසි දසුන් පිරිවර කර ගත්තේ ආඪ්‍ය ජීවිතයක්‌ ගෙවයි. හේ මායාබල ඇත්තේ ය. මනාව වැඩුණු සිරුරු ඇත්තේය. අලව් නුවර පමණක්‌ නොව නොයෙක්‌ තන්හි විසූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෞරවය ඔහුට නොඅඩුව ලැබුණි. ආලවකගේ සියලු කුදු මහත් කටයුතු ඉටු වූයේද ඒ ගෝත්‍ර ජනයා අතින්මය. කෙනෙක්‌ ඔහුට නිතිපතා මස්‌ සැපයූහ. තව කෙනෙක්‌ සුරාව සැපයූහ. ආලවක මිනීමස්‌ අනුභව කිරීමටද ගිජු විය. එහෙත් ඔහු කිසි විටෙක සිය ගෝත්‍රිකයන් අල්ලා අනුභව කළේද නැත. ඈත නුවරකින්, ගමකින් මෙම අඩවිය පසු කර යන අයෙක්‌ වෙත් නම් ඔවුන්ට නිසැකයෙන්ම ආලවකගේ ගොදුරක්‌ වීමට සිදුවන්නේමය.

එක්‌ දිනක අලව් නුවරට නුදුරුව දඩ කෙළියෙහි ගිය කිසියම් රජෙක්‌ ආලවකගේ නෙත ගැටුණි. රාජාභරණ නොමැතිව සිටි ඔහුගේ පෙනුම සාමාන්‍ය වැසියකුගේ මෙන් විය. ආලවක වාත වේගයෙන් ඔහු ලුහුබැඳ ගොස්‌ අල්ලා ගත්තේය. බියට පත් වූ රජු තමන් පිළිබඳ සියලු තොරතුරු කීවේය. එහෙත් ආලවක කියා සිටියේ අනවසරයෙන් තම අඩවියට පැමිණ දඩයම් කිරීම වරදක්‌ බවය. ඒ සඳහා දඩයක්‌ ගෙවිය යුතු බවද ඔහු කියා සිටියේය.

රජු ද කිසිදු වගවිභාගයකින් තොරව ඔහු සමඟ එකඟතාවකට එළඹියේය.

"හොඳයි මා නුඹව නිදහස්‌ කරනවා. එක්‌ කොන්දේසියක්‌ උඩ, හෙට පටන් දිනපතාම මාගේ වාසභවනට මට දරුවකු එවිය යුතුයි. යම් දිනක එය කඩ කළහොත් එදින මම නුඹ මරා අනුභව කරමි."

ආලවකගේ යක්‍ෂ විලාසය නිසාම බියට පත්ව සිටි රජු ඒ සඳහා එකඟ විය. එතැන් සිට රාජපුරුෂයෝ හිරු නැඟෙන විටම ඒ රටේ කොතැනකින් හෝ දරුවෙක්‌ අල්ලා ගෙනැවුත් ආලවකට ලබා දුන්හ. වැඩි දවසක්‌ ඒ ක්‍රියාව කළ නොහැකි විය. තම රජතුමන්ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා රටේම දරුවකු බිල්ලට යෑවීමට සිදුවීම ගැන වැසියෝ කම්පා වූහ. එහෙත් රජ අණට කෙසේ පටහැනි වන්ටද? ඒ නිසාම සමහරු නිවෙස්‌ ද හැර වෙනත් පළාත්වලට පළා ගියහ. කිසිවක්‌ කර ගත නොහැකි වූ අය පමණක්‌ එහි රැඳී සිටියහ.

කාලය මෙලෙස ගෙවී ගියේය. මුළු රාජ්‍යයේම සිටි සියලුම දරුවන්ද බිළි පිණිස යවා නිම විය. එතැනදී රාජපුරුෂයෙක්‌ මෙසේ කියති.

"දේවයන් වහන්ස, දැන් ඔබ වහන්සේගේ රාජ්‍යයෙහි සිටි සියලුම දරුවෝ අවසන්ව සිටිති. හෙට උදෑසන යක්‌ෂයා වෙත රැගෙන යා යුත්තේ ඔබ වහන්සේගේ ප්‍රිය පුත් කුමරාය. වෙන කළ යුතු දෙයක්‌ අපි නොදනිමු.

රාජපුරුෂයන්ගේ වදන් ඇසූ රජු මහත් සේ කැළමිණි. ඔහුට කෙළින් සිටගත නොහැකි විය. දෑස්‌ ඉදිsරිපිට ආලවක යක්‌ෂයාගේ රුදුරු විලාසය මැවුණි. ඔහුගේ බියකරු තර්ජනය ඇසුණි. තවත් දවසක්‌ හෝ දිවි රැකගත යුතු මගක්‌ කල්පනා කරන්නටද විය. එහෙත් කිසිවක්‌ සිතට නො එයි. ඔහු අසිහියෙන් මෙන් මාළිගාවේ ඔබ මොබ යන්නට විය. මරණ බය වැඩි වැඩියෙන් දැනෙන්නට ද විය. යළි වහාම රාජපුරුෂයන් කැඳවූ හේ මෙලෙස කීවේය.

"ම විසින් මගේ රාජ්‍යයෙහි සිටි සියලුම දරුවන් යක්‌ෂයා වෙතටම යවන ලද්දෙමි. දැන් මගේ පුතුගේ වාරයද පැමිණ තිබේ. යම්හෙයකින් ම පුතු ඔවුන් වෙත බිළි පිණිස නොයවන්නේ නම් ඒකාන්තයෙන්ම මගේ ජීවිතයද අවසන් වන්නේය. එසේ වුවහොත් නපුරකි. වහාම ශ්‍රී යහන් ගබඩාවට ගොස්‌ ම පුත් කුමරුන් රැගෙන ඔවුන්ට ලබා දෙනු"

රාජපුරුෂයෝ ඒ අසා යහපතකැයි පවසා එදා රාත්‍රිය නින්දට ගියහ. එහෙත් රජුට නම් නින්දක්‌ නැත. දේවිය හැඬූ කඳුලෙන්ය. සිය පුතු යක්‍ෂයාට බිළි නොදෙන ලෙස ඕ අප්‍රමාණව ඇවිටිලි කළාය. "මේ මොන විපක්‌ද? ඔබ වැනි සිත් පිත් නොමැති පියවරු තව සිටිත්දැ"යි දොස්‌ නගන්නට ද වූවාය. එහෙත් රජු ළදැඩියකු සේම සිටියේ වෙනත් කළ හැකි දෙයක්‌ නොවූ හෙයිනි.

මේ සියලු සිදුවීම් බුදුහු පෙර දිනයේ අලුයම ලොව බලද්දී දිව ඇසින් දැක සිටියහ. ආලවක යක්‌ අධිපතියා මෙන්ම නර බිළි සඳහා රැගෙන එන කුමරුන්ද හේතු සම්පත් සහිත බව උන් වහන්සේ වේලාසනින්ම දැක ගත්හ. බුදුන් වහන්සේ පෙර දින සන්ධ්‍යාවෙහිම තිස්‌ යොදුන් දුර එක්‌ සැණින් ගෙවා අලව් නුවරට වැඩ ආලවක භවන අබියස නිශ්ශබ්දව වැඩි සිටියහ. ආලවක යක්‌ අධිපතියන්ගේ මන්දිරය වටා පවුරක්‌ බැඳ තිබිණි. එහි වටා මුරකාවල්ය. ප්‍රධාන දොරටුව ඉදිරිපිට පමණක්‌ රැකවලෙක්‌ විය. හේ නමින් ගද්‍රභය. විය. ගද්‍රභ ආලවකයනගේ හිතවත්ම සේවකයකු විය. ඔහු දැඩි ස්‌වාමි භක්‌තියකින්ද යුතුය.

ආලවක භවන රාත්‍රිය කාලය මුළුල්ලේම අඳුරේම වෙයි. ඇතුළේ පන්දමක්‌ හෝ දැල්වෙන්නේ විශේෂම අවස්‌ථාවකදී පමණි. එහෙත් එම භවනට ඇතුල්වන ප්‍රධාන දොරටුව අසල නම් ගිනිමැලයක්‌ ගැසීමේ සිරිතක්‌ විය. ගිනිමැලය ගැසුවේ සොර බියකින් නොව වෙනත් වන සතු=න්ගෙන් හා උරගාදීගෙන් විය හැකි අනතුරු වළක්‌වාලීමටය.

මේ දිනයේදීත් අඳුර වැටී ස්‌වල්ප වේලාවක්‌ ගෙවිණි. ගද්‍රභ ගිනිමැලය දැල්වීමට එන්නේ ඒ භවන ඉදිරිපිට වැඩ සිටින බුදුන් වහ න්සේ දුටුවේය. එහෙත් ඒ බුදුන්යෑයි ගද්‍රභට වැටහීමක්‌ නැත. ඔහුට එක්‌ වරටම පසක්‌ වූයේ සිය යක්‌ අධිපති භවන අබියස සිටින්නේ සාමාන්‍ය කෙනෙක්‌ විය නොහැකි බවය. ගද්‍රභ බුදුන් වහන්සේ සමීපයටම පැමිණ මෙසේ කීවේය.

මම ඔබ කවරෙක්‌දැයි නොදනිමි. ඔබ වහන්සේගේ සිරුර රන්වන්ය. දෙනෙත් කාන්තිමත්ය. හාත්පස අන්ධකාරය දුරලමින් ප්‍රභාමත් රැස්‌ වළල්ලක්‌ විහිඳ යන්නේය. එහෙත් ඔබ වැනි සියුම්. පැහැපත් සිරුරැති, ප්‍රසන්න ඉඳුරන් ඇති කෙනෙක්‌ මේ අසලටවත් නොආ යුත්තේය. මෙම භවනට අධිපති මහා හිත්පිත් නැති යක්‍ෂයෙකි. ඔවුන්ගේ කුරිරු බව දන්නා මෙනුවර කිසිවෙක්‌ රාත්‍රියට තබා දහවල් කාලයටවත් මේ අසලකට හෝ නොඑති. වහා මෙතැනින් ඉවත් වන්න. තවද මගේ ස්‌වාමියා මිනීමස්‌ බුදින යක්‍ෂයෙකි. ඔවුන් තුළ ළතෙත් බවක්‌ නැත්තේමය.

බුදුහු එය අසා සිටියත් මුවින් එකම වදනක්‌ හෝ පිට නොකළහ. අඩුම තරමින් තමන් වහන්සේ බුදුන් බව හෝ නොකීසේක. අනතුරුව ඔහු අමතා මෙසේ වදාළහ.

ගද්‍රභ, ඔබට බරක්‌ නොවන්නෙහි නම් මට අද රාත්‍රිය මෙහි ගෙවීමට ඉඩ දුන මැනවි.

නමින්ම තමන් අමතන ශ්‍රමණයන් පිළිබඳව ඔහුට ඇතිවූයේ දැඩි කුතුහලයකි. මෙබඳු ශ්‍රමණයන් වහන්සේ නමක්‌ තමන් කිසිම දිනක දැක නැති බවද ඔහුට සහතිකය. එහෙත් දිගු කලක්‌ මුළුල්ලේ දන්නා හඳුනන අයෙක්‌ සේ තම නම කියන්නට තරම් ශ්‍රමණයන්ට හැකිවීම ගැන ඔහු තුළ සතුටක්‌ද නැගුණි.

මට කිසිදිනක ඔබ වැනි ශ්‍රමණ කෙනෙක්‌ හමුවූ බවක්‌ නම් මතක නැත. එහෙත් ඔබගේ ඇමතුමද වදන්ද මට බෙහෙවින් ම සමීපය. ඒ නිසාම මම මෙසේ කියන්නෙමි. මේ භවන ඔබට රැය ගත කිරීමට තරම් තැනක්‌ නම් නොවේ. මෙය විස භවනකි. වහාම ඒ අදහස අත්හැර හැකි ඉක්‌මනින්ම පිටව යනු යෙහෙකි. ඔව්හු යහපත අයහපත නොසළකන්නෝය. යුක්‌තිය නොතකන්නෝය. දැඩිය. රළුය. ප්‍රචණ්‌ඩය. ඔබගේ මෘදු ගුණය , සෞම්‍ය බව ඔහු වැනි ළදැඩියකු කෙසේ හඳුනා ගන්නෙහිද? ඔබ යම් විපතක වැටීම මා සිතටද දැඩි දුකක්‌මය. තවම අඳුර වැටෙමින් තිබේ. මම මේ වන ලැහැබින් එතෙරව යැමට මග පෙන්වීමටද එන්නෙමි. මා කියන බස්‌ ඇදහුව මැනවි.

බුදුහු භද්‍රයන්ගේ පහන් සිත දුටහ. එහෙත් ඔවුන්ට කිසිවක්‌ම නොවදාළේ ඉතින් ඔබට බරක්‌ නොවන්නේ නම් මමඅද රෑ මෙහි රැඳෙමි. මට සිදුවිය හැකි විපතක්‌ නැත. මම සියලු තතු දැන දැනම ඔබගේ යක්‍ෂාධිපතිගේ අභිවෘද්ධිය සඳහාම පැමිණියෙක්‌මියි වදාළේය.

ගද්‍රභයන්ට එවර කිසිවක්‌ කීමට තරම් සිතක්‌ නොවීය. මන්ද යත් බුදුවරයෙක්‌ එලෙස කරන අයෑදුමක්‌ කිසිවකුට පිටු දැකිය නොහැකි හෙයිනි.

ගද්‍රභ බුදුන් වහන්සේට ඉඩ දී පසෙකට විය. එහෙත් ඔහුගේ සිත ගිනි ගති. කුමක්‌ කරම් දැයි සිතාගත නොහැකි තරමට ම සිත ව්‍යාකූල විය. "අහෝ මා මෙතරම් කරුණු කියද්දීත් මේ ශ්‍රමණයෝ ඒ කිසිවක්‌ බැරෑරුම් සේ නොදකිති. මෙහි කිසියම් අබිරහසක්‌ විය හැකිය. ඒ කුමක්‌ වුවද මවිසින් මගේ ස්‌වාමියන් මෙහි පැමිණීමට පෙර මේ සියලු තතු ඔහුට දන්වන්නේ නම් මා රැකෙයි. නොඑසේ නම් මටද විපතකි.

ගද්‍රභ බුදුහු කුමක්‌ කරත්දැයි යක්‌ භවන තුළට ගොස්‌ බැලුවේය. බුදුන් වහන්සේ කිසිදු චකිතයකින් තොරව ආලවකගේ සුවපහසු අසුනෙහිම හිඳ ගෙන සිටින අයුරු දුටු හේ තවත් කැළඹීමට පත්විය. අද නම් මහා විපතක්‌ සිදු නොවුවහොත් පුදුමයකි. ඔහු කල්පනා කළේය. අවිනිශ්චිත හැඟීමෙන් යළි පිටතට පැමිණි ගද්‍රභ එක පිම්මේ ආලවකයන් වෙත දුවන්ට විය. ඒ වනවිට ඔවුන් සිsටියේ නුදුරු තැනක යක්‌ සමාගමක්‌ ඇමතීමට ගොසින්ය. තම සේවකයා කලබලයෙන් එන අයුරු ඔහු දුරදීම දුටුවේය. රැස්‌ව සිටි පිරිස ද කුහුලින් මෙන් බලන්ට වූහ. ආලවක සිතන්නේ ඒකාන්තයෙන්ම කිසියම් සතුරු ආක්‍රමණයක්‌ සිදුවී ඇති බවය. ඔහු ගද්‍රභ ඒමටත් පෙර ශාලාවෙන් පිට විය.

"මොකද බොල.. තොප...... සිහි විකල්ව මෙන් මෙසේ ඒමට හේතුව.

ගද්‍රභ තවත් බිය විය. ඔහුගේ මුවට වචන ආවේද හෙමින් ය. තව මොහොතකින් තම ස්‌වාමියා ප්‍රචණ්‌ඩ වන අයුරුද ඔහුට සිහි විය. ඔහු හිතට දිරි ගෙන සිද්ධිය විස්‌තර කරන්නට විය.

"උතුමාණනි, ගැත්තාට අනුකම්පා කළ මැනවි. මේ මගේ දොසකින් වූ දෙයක්‌ ද නොවේ. මම මගේ ශක්‌ති පමණින් එය වළක්‌වා ලීමට උත්සාහ කළෙමි. එහෙත් මට එයට ඉඩ නොලැබුණි. ආලවකගේ ඉවසුම නැති විය. තම සේවකයා කුමක්‌ කියන්නේ දැයි දැන ගැනීමේ කුහුල අභිබවා ඔහුගේ සිත ගිනියම් වනබව ඔහුටම දැනුණි. හේ යළිත් ගද්‍රභාට කඩාපැන්නේය.

කියව....... කියව...... මට සිදු වූ දේ කුමක්‌දැයි විගස කියව.

ආලවකගේ ගිගුරුම් හඬ අවට ගිගුම් දෙන්නටද විය.

"ඔබතුමාගේ වාස භවනට කෙනෙක්‌ ඇතුල් වූවා. හෙතෙම දැන් ඔබතුමාගේ අසුන මත වාඩි වී සිටිනවා. මා දුටුවේ එපමණයි. මට සියල්ල අමතක උනා. මා එක පිම්මේ මෙතැනට දුවගෙන ආවා.

ආලවකගේ මුවින් පිට වූයේ වචන නොව ගිනි සැරය. හෙණ පුපුරන්නාක්‌ මෙන් ඝෝෂාවක්‌ විනා කිසිවක්‌ පැහැදිලිව වටහා ගන්ට කිසිවකුට හෝ නොහැකි විය. ඔහුගේ දෙනෙත් ගිනි පුළිඟු සේ දිලුණි. ඔහු එක්‌ අතකින් සිය දිගු හිස කෙස්‌ අදින්ටද විය. දැන් නම් ඔහුගේ පෙනුම රුදුරු යක්‌ පෙනුමකි. ඒදසුන දෙනෙතින් එක එල්ලේ බැලීමට තරම් බිහිසුණු එකකි. යක්‍ෂ සමාගමේ සිටි අයෙක්‌ ඔහු අසලට පැමිණ ඔහු අස්‌වසාලීමට වෑයම් කළේය. ඔහුගේ උත්සාහය පිළිගත්තේ ආලවකගේ පා පහරකින් ය. ඔහු යන්තම් ගැලවිණි. සියලු දෙනාම විස්‌මයට පත්ව බලා සිටියහ.

ආලවකයෝ විදුලියක්‌ සේ මගට බැස වාත වේගයෙන් ඉගිලී යන අයුරු සියල්ලෝම බලා සිටියහ. ගද්‍රභයා ද භයින් ත්‍රස්‌තව ඔහු පසු පසින්ම දුවන්ට විය.

ආලවකට ඔහුගේම දැස්‌ අදහා ගත නොහැකි විය. කිසිදු චකිතයකින් තොරව වාස භවනට ඇතුල් වී තමන්ගේ අසුනෙහිම අසුන් ගෙන සිටින අය කවරෙක්‌දැයි බැලීමට තරම්වත් ඔහුට ඉවසුම් නැති විය. බුදුහු ඔහු එන මග දුටු නමුත් ඒ බව නොදන්නා සේ එහි වැඩ උන්හ. බුදුන් ඉදිරිපිට ආලවක භවනෙහි සිටි පරිවාර ස්‌ත්‍රීහුද වෙනත් ලියෝද වාඩි වී සිටියහ. එය ඔවුන් තවත් කුපිsත කරවන දසුනක්‌ ම විය.

ආලවකයෝ ගුගුරමින් ම ඇතුල් වන අයුරු එහි සිටි ලියෝ බියෙන් මෙන් දුටුවෝය. එහෙත් ඔවුන් තුළ සුළු හෝ කුකුසක්‌ නම් නොවීය. ඒ වනවිට ඔව්හු බුදුන් සරණ ගොස්‌ සිටියහ.

ආලවක තෙමේ කිසිදු ගරු සරුවක්‌ නොදක්‌වාම "මහණ පිටවනු" යි ගුගුළේය. බුදුන් වහන්සේ ඉතා සන්සුන්ව ඔහුට කීකරු වූ සේක. බුදුන් පිටතට වඩින අයුරු දුටු ආලවකයා, යළිත් උන්වහන්සේට "මහණ ඇතුළට යව"යි කීවේය. බුදුහු එයටද කීකරු වූහ.

මෙසේ ආලවකයා තුන්වරක්‌ම බුදුන් වහන්සේට ඇතුල්වීමට හා පිටව යැමට කළ විධානයට කීකරු වීම නිසා ඔවුන් සිතුවේ රාත්‍රිය ගෙවී යන තුරුම එලෙස සක්‌මන් කරවා බුදුන් වෙහෙස කරවීමට ය. ආලවක යළිත් වරක්‌ "මහණ පිට වෙනු" යි කීවේය. එවෙලේ බුදුහු මෙසේ වදාළහ.

ආලවකය, මම පිට නොවෙමි. ඔබට හැකි දෙයක්‌ කරන්න.... ඒ වදන් ඇසූ ආලවක වඩාත් කුපින විය. ඔහුගේ විලාසය යළිත් ප්‍රචණ්‌ඩ විය.

"එම්බා මහණ. ඔබමගේ භවනට අනවසරයෙන් කඩා වැදුණෙහිය. ඒ මා කවරෙක්‌ දැයි නොදැනය. මම ආලවක නම් යක්‍ෂාධිපති වන්නෙමි. මගේ නම අසන බලසම්පන්න රජවරුද, සැළෙති. මම කවරෙක්‌දැයි දැන් ඔබටම බලාගත හැකිය

ආලවක තෙමේ බුදුන් වහන්සේ දෙසට පනින්ට වෑයම් කළේය. එහෙත් ඔහුට සිරුර අවනත නොවීය. හේ යළිත් මුළු වෙරදමා පනින්ට වෑයම් කළේය. එහෙත් පලක්‌ නොවීය. ඔහුට කිසිවක්‌ සිතා ගත නොහැකි විය. සිතට බියක්‌ ද ඇතුල් විය. එහෙත් ඒ බවක්‌ නොහඟවා මෙසේ කීය.

‘අහා ....එහෙමද ශ්‍රමණය ....හොඳයි මම බලාගන්නම්..මම තොපගෙන් ප්‍රශ්ණ කීපයක් විමසන්නෙමි. තොපට එම ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වුවහොත් මම තොපගේ සිත අවුල් කරන්නෙමි.....හදවත පලා දමන්නෙමි...දෙපා වලින් ගෙන පර සක්වලට විසි කරන්නෙමි...

’’ ආලවකය....,දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන් ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත මේ තුන් ලෝකයෙහිම යම් කිසිවකු මගේ සිත අවුල් කිරීමට සමත් වේද, හෘදය වස්තුව පලා දමන්නට සමත් වේද, මගේ දෙපා වලින් ගෙන මුහුදින් එතරට දමන්නට සමත් වේද, එවැනි සමතකු මම නොදකින්නෙමි.

ආලවකය. යක්‌කු මට යක්‌කු නොවෙති. දැඩියෝ මට දැඩියෝ නොවෙති. මම මේ සංසාර නමැති සංග්‍රාභූමියේ එකලාව අප්‍රමාණව ගමන් කළෙමි. මට සතුරෝද වූහ. මිතුරෝ ද වූහ. මට දිරි දුන් අයද වූහ. මට බාධා කළ අයද වූහ. දැන් මා බල මඩනු කිසිවකුට නොහැක්‌කේය. දෙව්, බඹ, සුර, අසුර සියල්ලෝ මා බල ද ගුණද දන්නෝය. මෙලොව සිටින රුදුරු මරුවා මා සමග සටනට පැමිණියේ දස බිම්බරක්‌ සෙනඟ ද සමඟය. ඒ සටන නිරායුධ මම ජය ලදිමි. ලෙහෙ බිඳක්‌ නොසෙල්විණි. දෙව් බඹහු සාධුකාර දුන්හ. මහපොළව කම්පා විය. ඒ අසමසම බුදු ගුණයටය. එසේ හෙයින් ආලවකය නුඹට මගේ රෝම කූපයකට තරම් හානියක්‌ කළ නොහැක්‌කේය. මම ප්‍රාණඝාතනය ඇතුළු සියලු අකුසල දුරු කළෙමි. මම කිසිදු ලෞකික සුවයක නොගිලුනෙමි. සියලු බැඳීම් බිඳ දැමීම්. සියලු සත්ත්වයන්ට මම දයාර්ද්‍ර වෙමි. උන්ගේ භව දුකට පිහිට වෙමි. මාගේ ඒ ධර්ම චාරිකාවේදී මා වෙතින් සහන ලද්දෝ අපමණය. රජ, සිටු, බමුණු ආදීහු ද මා කෙරේ පැහැද සසර කෙටි කර ගත්හ. එවන් ගුණ, නැණ බලැති මම ලොව්තුරා බුද්ධ නම් වන්නෙමි.

ආලවකය.....තොපගේ වහසි බස් දෙඩවීම පසෙකලා යමක් ඇසීමට ඇත්නම් එය වහා අසනු....’’

හොඳයි මම අසන්නෙමි...සාවධානව අසා ගනු....ශ්‍රවණය, මේ ලෝකයෙහි මිනිසුන්ට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨ වේද...? කියව ....කියව....තොප පිළිතුරු දිය හැකි බවට වහසි බස් දෙඩෙව්වෙහිය’’පින්වත් යක්ෂය....,මේ ලෝකයෙහි පුරුෂයකුට ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රද්ධාවයි. මිනිසකු බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් කෙරෙහි තිබිය යුතු විශ්වාසය ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ආර්යයන් මාර්ගඵල කෙරෙහි ඇති කැර ගන්නා ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ‘හොඳයි ශ්‍රමණය, දෙවන ප්‍රශ්නය තොපගෙන් අසමි...පුරුදු පුහුණු කරන ලද කවර ධර්මයක් සැප ලබා දෙයිද....?

ආලවකය....,, මේ ලෝකයෙහි කුසල් - අකුසල් යනුවෙන් දෙවර්ගයක් ඇත. අකුසල් නිසා හට ගන්නේ දුකක්මය. එබැවින් මැනවින් පුරුදු කරන ලද කුසල කර්මයක්ම සැප ලබා දෙයි..’

‘ශ්‍රමණය , මේ ලෝකයෙහි නොයෙක් රස වර්ග ඇත. ඒ සියලු රස වර්ග අතුරෙන් කවර නම් රසයක් අතිශයින්ම උසස් වේද...ශ්‍රමණය තොප පිළිතුරු දී ගත නොහැකිව පැකිලෙන්නේද....?

‘නැත...නැත... ආලවකය....,, කෙසේවත් මම නොපැකිලෙමි...මෙලොව පවත්නා රසයන් අතුරෙන් උතුම්ම රසය මම ඔබට පහදා දෙමි.එය නෙම් සත්‍ය රසයම වේ.

“ශ්‍රමණය, ඔබ එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නත්, මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් තොපට හැකි වේය’යි මම නොසිතමි. මෙලොව ජීවත් වන්නවුන්ගේ කවර නම් ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේද?

පින්වත් ආලවකය....,, යමෙක් ප්‍රඥාවෙන් ජීවත් වන්නෙහි නම් එයම ශ්‍රේෂ්ඨ වෙයි. යක්ෂය...ලෞකික වශයෙන් දැන උගත්කම් දියුණු කැර ගැනීමත්, ශ්‍රෘතමය ඤාණයෙන් පටන්ගෙන සර්වඥතා ඤාණය ලබා ගැනීම දක්වාත් ප්‍රඥාව දියුණු කර ගත හැකියි. ප්‍රඥාව නැති පුද්ගලයා වනාන්තරයක සිටින අන්ධභාවයට පත් හස්ථියකු හා සමානයි. නිවැරදි ස්ථානයට නිවැරදි අයුරින් ගමන් කිරීමට ඔහුට නොහැකියි. ‘හොඳයි ශ්‍රමණය, මම අනෙක් ප්‍රශ්න කිහිපය අසන්නෙමි. කෙසේ නම් සත්ත්වයා චතුර් ඕඝය තරණය කරන්නේද..කෙසේ නම් දුකින් නිදහස් වේද කෙසේ නම් සත්ත්ව තෙමේ පිරිසුදු භාවයට පත් වේද...?

‘ආලවකය....,, තොප විමසන කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියන සැඩ පහරවල් සතර තරණය කිරීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. සංසාර සාගරය තරණය කිරීමට නම්, අප්‍රමාදය හෙවත් යහපත් සිහිය පැවතිය යුතුයි. සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වන සුළුයි. මේ බව සළකා මනා සිහියෙන් යුතුව කටයුතු කළ යුතුයි. දුක් වලින් නිදහස් වීමට නම් වීර්යය තිබිය යුතුයි. මෙය සම්මාවායාම කියලත් හැඳින්විය හැකියි. එනම් යහපත් කටයුතු සඳහා ඇති වීර්යයයි. අකුසල් වලින් දුරුවීමටත්, නැවත කිසි දිනක අකුසල් නොකිරීමටත්, කරන කුසල් වැඩි දියුණු කැර ගැනීමටත්, අලුතින් කුසල් කිරීමටත් , නරක දේවල් අත් හැර දැමීමටත් ගන්නා උත්සාහයයි.

පින්වත් ශ්‍රමණයනි, මම ඔබ විමසමි. කෙසේ නම් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයිද...කෙසේ නම් ධනය ලබයිද....? කෙසේ නම් කීර්තිය ලබයිද?...කෙසේ නම් මිත්‍රයෝ ලබයිද....? කෙසේ නම් මෙලොව පරලොව ප්‍රතිසන්ධිය ලබා ශෝක නොකරයිද.....? ඔබට මේ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දීගත හැකි වනු ඇතැයි මම නොසිතමි.

පින්වත් යක්ෂ සේනාධිපතිය, ඔබට මම පිළිතුරු දෙමි....නුවණ ඇති අප්‍රමාදී මිනිසුන් ආර්යයන් වහන්සේලාගේ් ධර්මය ශ්‍රවණය කරති. එම ධර්ම ශ්‍රවණය හේතු කොට ගෙන නිර්වාණයට පැමිණීම පිණිස ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයි. මාර්ග ඵල ලැබීමට හේතු වන චෛතසික වීර්යය තිබෙන කායික වීර්යය තිබෙන මිනිසුන් ලෞකික මෙන්ම ලෝකෝත්තර ධනය ලබා ගනිති.

සත්‍ය වචන කථා කැරෙන නිසා කීර්තියට පැමිණෙති. එසේම දීමෙහි කැමැති පුද්ගලයෝ මිත්‍රයන් ලබති. පරලොව ශෝක නොකරන පුද්ගලයන් පිළිබඳව ද ඔබ ප්‍රශ්න කළා නේද..? එයට ද පිළිතුරු දෙමි. යම් කිසිවකු ශ්‍රද්ධාව ඇත්නම්, සත්‍යයක්, ඉන්ද්‍රිය දමනයත් , ත්‍යාගයක් යන ධර්ම සතර ඇත්නම් හෙතෙම පරලොව දී ඒකාන්තයෙන්මැ ශෝක නොකරයි.’

එසේම පින්වත, සත්‍යයට වඩා කීර්තිය ලබා දෙන, ඉන්ද්‍රිය දමනයට වඩා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා දෙන, පරිත්‍යාගයට වඩා මිත්‍රයන් ලබා දෙන , ශාන්තියට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන වෙනත් කිසිවක් නැත. එවැන්නක් ඇතැයි ඔබට හැගෙන්නේ නම්, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයකුගෙන් විමසව‘.

‘අවශ්‍ය නැත ස්වාමීනි, ප්‍රඥාව ආදියට හේතු වන කරුණුත් පරලොව ශෝක නොකිරීමට හේතු වන කරුණුත්, සියල්ල අද පටන් මම දැන ගතිමි. ඔබ වහන්සේ ඒකාන්තයෙන්මැ මටම හිත වැඩ පිණිස මෙම අලව් නුවර මගේ භවනයට වැඩම කළාහු ය. එසේම දීමෙහි මහත්ඵල මහා ආනිසංස මම අද වටහා ගතිමි....ස්වාමීනි, මම අද පටන් බුද්ධ , ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ ගයමින් ගමින් ගමට , නගරයෙන් නගරයට යන්නෙමි.....භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ දෙසුම ඉතා යහපත්ය.

මුනින් තබන ලද බඳුනක් උඩුකුරු කළ අයුරින්, වැසී තිබුණ යමක් විවර කළ අයුරින්, මං මුලාවූවෙකුට මග පෙන්වූ අයුරින්, අඳුරෙහි සිටියකුට ආලෝකයක් ලබා දුන් අයුරින් ඔබ වහන්සේ විසින් ධර්මය දැක්වූහ. අද පටන් මම දිවිහිමි කොටැ තෙරුවන් සරණ යන්නෙමි...මා තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් සළකනු මැනවි ස්වාමීනි....සාදු....සාදු.....සාදු....

බුදුන් වහන්සේ විසින් තම ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මෙන්ම ඒවා විග්‍රහ කළ ආකාරයද ආලවකගේ සිත් පහන් කිරීමට හේතු විය.

මේ වනවිට රැය පහන්වෙමින් තිබිණි. අලුත් දවසක උදාව සිහි කරමින් සියොතුන්ගේ ගී නද ඇසන්නටද විය. තවත් මොහොතක්‌ ගත වෙද්දීම ආලවක භවනට පිරිසක්‌ ඇතුල් වන බව ඔහු දුටුවේය. ඒ තමන්ගේ දෛනික මිනිස්‌ බිල්ල රැගෙන එන රාජපුරුෂයන් බව එකෙණෙහිම ඔහුට සිහිපත් විය. ඔහුගේ සිතට සියුම් ලැඡ්ජාවක්‌ ද දැනුණි. ඔහු යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කර නැඟී සිටියේය.

රාජපුරුෂයෝ අන්ද මන්දව බලා සිටියහ. ඔවුන්ට කිසිවක්‌ වටහා ගත නොහැකි විය. හිරු රැසින් ආලවක භවනද දීප්තිමත් වෙමින් තිබුණි. විමසිල්ලෙන් ඇතුළ බැලූ රාජපුරුෂයන්ට දැක ගත හැකි වූයේ බුදුන් වහන්සේ හා බිම වාඩි වී සිටි කාන්තාවන් පිරිසකි.

තවත් මොහොතක්‌ ගත විය. රාජපුරුෂයෙක්‌ ඉදිරියට පැමිණ ආලවකයාට සුපුරුදු ලෙස නරබිල්ල පිදුවේය. හේ මහත් ආදරයෙන් මෙන් රජකුමරා දැතින්ම ගත්තේය. බුදුහු මෙත් සිතින්ම එදෙස බලා සිටියහ. ලියක්‌ නැඟිට, කුමාරයා අතට ගත්තේ ඉනික්‌බිතිවය. එවේලෙහි එහි සිටි අය අතින් අතට කුමරු මාරු වී ගියේය.

මේ වෙලෙහි සිහිවිකල්ව මෙන් තවත් ලියක්‌ එතැනට දිව ආවාය. ඒ එකුමරුන්ගේ මව වූ රජ බිසවය. ඇය විකල් සිහියෙන් මෙන් පුතු ගැන විමසා විලාප නැඟුවාය. එසඳ බුදුහු ඇය අස්‌වසා කුමරුන් නිරුපද්‍රිතව සිටින වග දැන්වූහ. ඇගේ සතුට ද නිම්හිම් නොවීය. බුදුන් වහන්සේ සියලු දෙනාටම දහම් දෙසූහ. සියලු දුක්‌ දොම්නස්‌ දුරු විය. ආලවක යක්‌ තෙමේ සෝවාන් බවට පත්ව සිටියේය. කුමරුන්ට හත්ථාලවක යන නමද ආදේශ විය. ඒ අතින් අතට ගිය හෙයිනි. බුදුහු පෙරළා ජේතවනාරාමයට වැඩියහ.

......................................

 Us ON ► මුදුන (Muduna)

----------------------------------------------------------------------

0 comments (+add yours?)

Post a Comment