සන්තති ඇමතියාගේ කථා වස්තුව. “පින පල දෙන හැටි පුදුමයි”


පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වන විදිහ අපට හිතාගන්න බැහැ. එය තේරුම් ගත හැක්කේ බුදු ඇස තිබෙන භාග්‍යවතුන් වහන්සේට විතරයි. අපගේ භාග්‍යවතුන් වහන්සේට බුදු ඇස තියෙනවා. බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ කියන්නේ සත්ත්වයන්ගේ ආසයඅනුසය දන්නා ඤාණයක් තියෙනවා. ඒ තුළින්කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් උන්වහන්සේට ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්ත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව පුර්ණ වාර්තාවක් ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන් වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.

දැන් ඔබ ඉගෙන ගන්නේ එවැනි කතාවක්. හරි පුදුම විදිහට මේ පින්වත්කෙනා ධර්මය කරා ගියා. එක් කාලයක කොසොල් රජ්ජුරුවන්ගේ රාජධානියෙහි එක්තරා ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇති වුණා. රජතුමා සන්තති නම් වූ මහ ඇමැතිතුමා එය මැඬලන්න පිටත් කළා. ඔහු කැරැල්ල මැඬලා ආපසු ආවා. රජතුමාට හරි සතුටුයි. රජතුමා හත් දවසක් රජෙකුට වගේ සැලකිලි දැක්කුවා. නැටුම්, ගැයුම් වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් උපස්ථානයට දුන්නා. දැන් ඔහු රජෙක් වගේ ඉන්නවා. දවස් හත ගෙවිලා ගියා. අන්තිම දවස නිසා ඇති පදමට බිව්වා. රජ ඇඳුමෙන් සැරසිලා ඇතා පිට නැගී නාන්න පිටත් වුණා.

ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේත් පිඬුසිඟා වඩිනවා. උන් වහන්සේ දොරටු අතර වැඩසිටියා. ඔය අතරේ සන්තති අමාත්‍යයා ඇතා පිටින් යනවා. ඇතා පිට සිටිද්දීම ඔහු භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස ඇල කොට නැමුවා. වන්දනා කළා. පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වුණා.

“ස්වාමීනි, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද?”

“පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත් වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.”

මිනිස්සු වටවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමග මේ කරන කතාවට සවන් දුන්නා. මේ වචනය හැමතැනම පැතිරී ගියා. ධර්මයෙහි ඇද හොයන අයට ;මය හොඳ ආයුධයක් වුණා.

“ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ නම් යසයි! කටට එන එන දේ කියනවා. අර බේබද්දා ඔය විදිහටම ආභරණ සමග ආපහු ඇවිදින් බණ අහලා පිරිනිවන් පානවා කියන්නේ. අද නම් ඔය බොරු කීමට අපි නැගී හිටින්න ඕන.”

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් මෙහෙම හිතුවා.

“සැබැවින්ම බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයි! අද බුදුරජුන්ගේ හාස්කමත්, බෞද්ධ ශ්‍රාවක භාවයට පත්වන සන්තති අමාත්‍යයාගේ හාස්කමත් අපට දැකගන්නට පුළුවනි.”

ඉතින් ඇමතිතුමා නාන්න ගියා. හොඳට නෑවා. උයනට ආවා. ශාලාව මැද්දේ වාඩිවුණා. දැන් මෙයා කැවිලි ජාති කකා නැටුම් බලනවා. අර ලස්සන ස්ත්‍රිය සිංදු තාලෙට විදුලිය වගේ නටනවා. මේ ස්ත්‍රියට දවස් හතට තමයි වැටුප් ලැබෙන්නේ. හත්වෙනි දවසේ ඇමතිතුමාව වැඩිපුර පහදවන්න හිතලා වේගයෙන් නැටුවා. ඇයට හෘදයාබාධයක් වැළඳුණා. එතනම මැරිලා වැටුණා. සන්තති අමාත්‍යයාට නිකම්ම නැගිට්ටුණා.

“අන්න,... මගේ නළඟන වැටුණා... ඉක්මනට ඔසොවා ගනිල්ලා... ඔය මක් වුණාද....?”

“ඇමතිතුමනි.... මෑ.... මෑ.... මැරිලා....!”

ඇමතිතුමාට ඉහලට ගත්තු හුස්ම පහළට ගන්නත් අමාරු වුණා. වෙරි හිඳුණා. හඬන්න පටන් ගත්තා. හැම දෙයක්ම එපා වුණා. “අයියෝ!! මේ මොකද වුණේ...” කියලා වැළපුණා. බුදුරජාණන් වහන්සේව මතක් වුණා.

“භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවන්න වෙන කෙනෙක් නෑ.... මට මේවා වැඩක් නෑ... මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්කරගෙන පලයන්...”

නිළියගේ කටයුතු අවසන් කොට මහත් කම්පාවෙන් යුතුව ඔහු සේනාව සමග භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. තමන්ගේ ශෝකය කියා හිටියා.

“පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින් මිය ගිය අනෙක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩී” යැයි පැවසුවා. ඉන් පසුව උන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාළා.

“යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ෙක්‍ද චේ නෝ ගහෙස්සසි - උපසන්තෝ චරිස්සසි”

යමක් වූයේ නම් කලින් – වියළා දමන්න සහමුලින්
අනාගතයේ ඇතිවන - කෙලෙස් ඔබ නොගනීවා
මේ මොහොතෙදී කිසිවක් – ඔබට පැටලී නැතිනම්
උපශාන්තව සැබැවින් – හැසිරෙනු හැකිය මැනැවින්
පින්වතුනේ පින්වත් දරුවනේ ඔය ගාථාරත්නයයි ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. හරිම ආශ්චර්යයි! ඔහු අරහත්වයට පත් වුණා. තවමත් රජ ඇඳුම් පිටින් ඉන්නේ. සන්තති රහතන් වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා”

“එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න. එතකොට හැමෝටම පිනෙහි වටිනාකම තේරේවි.”

ඉතින් සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින්ම අහසට පැන නැංගා, පළඟක් බැඳ වාඩි වුණා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා!! මෙයින් අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගෙ කාලෙ මං බන්ධුමතී නගරයේ ඉපදිලා හිටියේ. කාටවත් වරදක් නැතුව, හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න මං කල්පනා කළා. ඊට පස්සේ මං තෝරාගත්තා බණ කීම. මහජනයාට මං දහම් කරුණු කියා දෙනවා. ‘පින්වත්නි, පින් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. ධර්මය අහන්න. තුණුරුවනට ගෞරව කරන්න...’ ආදිය කියමින් ගියා.

ඒ විපස්සී බුදුරජුන්ගේ පියාණන් වන බන්ධුමතී මහරජුට මං ගැන අසන්නට ලැබුණා. මාව කැඳෙව්වා.

“දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?”

“දේවයන් වහන්ස, මං තුණුරුවන්ගේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා.”

“කොහෙ ඉඳන්ද ඒක කරන්නේ?”

“දේවයන් වහන්ස, මං පයින්ම ඇවිදගෙන ගිහින් තමයි ඒක කරන්නේ...”

“දරුව, එහෙම යන්න ඕන නෑ. මල් මාලයක් පැළඳගෙන අශ්වයා පිටේ නැගලා ගිහින් කියන එකයි හොඳ” කියලා මල් දන් දුන්නා. හීලෑ අශ්වයෙක් දුන්නා.

ඉතින් ස්වාමීනි, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා. ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා. කැඳවලා මෙහෙම කිව්වා.

“දරුව, අශ්වයා ගැලපෙන්නේ නෑ. මං අශ්ව කරත්තයක් දෙන්නම් කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා. මං ඒකෙ නැගලා තමයි ඊට පස්සේ බණ කිව්වේ. ආයෙමත් මාව කැඳෙව්වා. කැඳවලා මට සැප සම්පත්දීලා මාලිගාවකුත් දීලා ඇතෙකුත් දුන්නා. මං සියලු ආභරණ වලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූ හාරදහසක් මිනිස්සුන්ව පිනට යොමු කළා.

ස්වාමීනි එතෙක් මෙතෙක් කාලයක මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නෑ. සඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නෙ නෑ. මහනෙල් මල් සුවඳයි. මේ තමයි මා කළ පින්කම.”

ඉතින් ඒ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩසිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පෑවා. ශරීරය ගිනි ගෙන දැවී සමන් මල් මිටක් වගේ ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්න කිව්වා. අන්න ඒ වස්ත්‍රයට ධාතුන් වහන්සේලා වැටුණා. මහජනයාට වන්දනා කොට පින් කර ගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කෙරෙව්වා.

භික්ෂූන් වහන්සේලා අතර කථාවක් ඇති වුණා “මේ ඇත්තා අරහත්වයට පත්වුණේ ගිහි ඇඳුම් පිටින් නෙව. දැන් අපි මොහුට කුමක්ද කියන්නේ....? ශ්‍රමණයෙක් කියනවාද? බ්‍රාහ්මණයෙක් කියනවාද?”

බුදුරජාණන් වහන්සේට මෙය අසන්නට ලැබුණා. උන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, මාගේ ළයෙහි උපන් දරුවාට ශ්‍රමණයා කියන්ටත් වටී. බ්‍රාහ්මණයා කියන්ටත් වටී.” මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

අලංකතෝ චේ’පි සමං චෙරෙය්‍ය
- සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
- සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු
සොඳුරු ආභරණ වලින් සුසැදිව
- සිටි නමුත් හැසිරෙයි ද දහමේ
කෙලෙස් සංසිඳුවාගෙන ඉඳුරන්ද දමනය කොට
- තිරව දහමෙහි පිහිටා උතුම් බඹසර හැසිරුණ
හැම සතුන් වෙත මෙත පතුරා මුගුරු අතහැර
- වසනා යමෙක් වෙයි නම්
හේ බ්‍රාහ්මණයෙක්මයි
- ශ්‍රමණයෙක්මයි භික්ෂුවක්මයි
පින්වතුනේ පින්වත් දරුවනේ හරි පුදුමයි නේද? හරි දෙයක් කළොත් වරදින්නෙ නෑ. යහපත උදාවෙනවාමයි. මේ ගෞතම බුදුසසුනේ පිහිට ලබන්න තියෙන්නෙත් ඒ වගේ අවංක සිතින් ධර්මයේ හැසිරිලයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඕනෑවට වඩා බඩු මුට්ටු පුරවා ගත්තොත් ගෙයක් වුණත් ලස්සන නෑ. සාමාන්‍යයෙන් පැවිදි උතුමන් වාසය කරන තැන චාම් වුණ තරමට ලස්සනයි. කොටින්ම බුදුරජාණන් වහන්සේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වූ කෙනෙක්. භික්ෂූන් වහන්සේලාටත් වදාළේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වෙන්න කියලයි. කුරුල්ලෙක් ඉගිල යද්දී ඌට තියෙන්නේ පියාපත් බර විතරයි. මෙතනින් තව තැනකට යද්දී පාත්‍රා සිවුරු විතරක් අරන් යන්න කිව්වා. ඒ කාලෙ වැඩසිටි භික්ෂූන් වහන්සේලා මොනතරම් සැහැල්ලුවෙන් ඉන්න ඇද්ද? හැබැයි ඔය අතරවාරයේ පොට වැරදුණු එක්කෙනෙක් දෙන්නෙක් නම් සිටිය බව පේනවා. දැන් අපි අහන්නේ එවැනි කතාවක්.

සැවැත් නුවර එක්තරා පවුලක් වාසය කළා. ඒ ගෙදර බිරිඳ මැරුණා. ස්වාමියා භික්ෂූන් ළඟට ගිහින් පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි වෙන්න කලින්ම තමන්ට ඉන්න කුටියක් හැදෙව්වා. ගිනිහල්ගෙයක් හැදෙව්වා. බඩු ගබඩාවක් හැදෙව්වා. ගිතෙල්, මීපැණි ආදිය පිරෙව්වා. ඊට පස්සේ තමයි පැවිදි වුණේ. තමන්ගේ සේවකයන් ලවා පණිවිඩ යවලා කැමති කැමති වෑංජන හදාගෙන ගෙන්න ගන්නවා. රාත්‍රියට වෙන සිවුරක් පොරවා ගන්නවා. දවල්ට තව සිවුරක් පොරවා ගන්නවා. දවල් කාලෙ වෙනත් විහාරයක වසනවා.

දවසක් තමන්ගේ සිවුරු ඇතිරිලි ආදිය සේවකයන් ලවා අව්වට වේලෙන්න දැම්මා. සේනාසන චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා මේවා දැක්කා.

“හප්පේ...! කාගෙද ඇවැත්නි, මෙතරම් සිවුරු පිරිකර...? බොහෝ සඟ පිරිසක් ඉන්නවාද?”

“අනේ නෑ ආයුෂ්මතුන් වහන්ස. මං විතරයි ඉන්නේ...”

“එතකොට තමුන්නාන්සෙගෙද මේ ඔක්කොම...?”

“එහෙමයි ඇවැත්නි.”

“ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ අපට අනුමත කළේ සිවුරු තුනක් නෙව. මෙතරම් අල්පේච්ඡ වූ බුද්ධ ශාසනයේ පැවිදි වූ ඔබ බලන්න... ගොඩගහගෙන තියෙන බඩු කන්දරාව... මේක නම් හරි නෑ... යමු භාග්‍යවතුන් වහන්සේ මුණගැසෙමු.”

ඉතා අකමැත්තෙන් ඒ භික්ෂුව අර භික්ෂූන් වහන්සේලා සමඟ පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට කරුණු සැළවීමෙන් පසු උන්වහන්සේ ප්‍රශ්න කළා.

“පින්වත් භික්ෂුව, මේ කතාව ඇත්තද?”

“එහෙමයි ස්වාමීනී”

“පින්වත් භික්ෂුව, දැන් බලන්න... මේ තරම් අල්පේච්ඡතාවය ගැන කරුණු කියද්දී පිරිකර ගොඩගහගත්තා නේද?”

මෙසේ ඇසීම නිසා ඒ භික්ෂුව කිපුණා. කිපිලා තමන් පොරවාගෙන සිටි සිවුරු එතනම ගලවලා දැම්මා. අඳනය පිටින් හිටගත්තා.

“එතකොට මට කියන්නේ මෙහෙම හැසිරෙන්න කියලද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?”

එතකොට ඒ භික්ෂුවට බලවත් ලැජ්ජාවක් ඇතිවුණා. යළි සිවුර පොරවාගෙන සංසුන්ව වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඒ අතීත විස්තරය කියල දුන්නා.

ඉස්සර කාලෙ බරණැස් නුවර රජ්ජුරුවන්ගේ බිසවගේ කුසේ මහාබෝසතාණන් වහන්සේ උපන්නා. මහිංස කුමාරයා යන නම ලැබුණා. ඒ කුමාරයාගේ බාල සහෝදරයාගේ නම චන්ද කුමරු. මේ දරුවන්ගේ මෑණියන්ව සිටි ඒ බිසව මියගියා. එතකොට රජතුමා වෙන කුමාරියක් අගමෙහෙසිය කළා. ඇයටත් දරුවෙක් ලැබුණා. ඔහුට සූරිය කුමාර කියලා නම දැම්මා. ඒ පුතාව දැකලා රජතුමාට හරි සතුටුයි. රජතුමා දේවියට කිව්වා. ‘මේ දරුවා හරි ලස්සනයි. ඔබට කැමති වරයක් දෙමි’ කියලා. ‘දේවයන් වහන්ස, මං කැමති කාලෙක ඉල්ලන්නම්’ කියලා ඈ කිව්වා.

පුතාට නිසි කල වයස ආවා. එතකොට දේවිය කිව්වා පුතාට රාජ්‍යය දෙන්න කියලා. රජ්ජුරුවන්ගේ හිත රිදුණා.

“එතකොට මගේ අනිත් පුත්තු දෙන්නා...? ගිනි කඳන් වගේ බබලන මේ දරුවන් දෙන්නා සිටිද්දී රජකම නම් දෙන්න පුළුවන්කමක් නෑ.”

එහෙම කියද්දී අර බිසව ආයෙ ආයෙමත් වරය මතක් කරනවා. රජකමමයි ඉල්ලන්නේ. රජ්ජුරුවන්ට හිතුණේ වැඩිමහල් කුමාරවරු දෙන්නට මේ බිසව අනතුරක් කරාවි කියලයි. රජතුමා දරුවන් කැඳෙව්වා.

“මාගේ දරුවෙනි, මං සූරිය කුමාරයා උපන්න දවසේ වරයක් දුන්නා. චන් එයාගේ අම්මා මගෙන් රජකම ඉල්ලනවා. සූරිය කුමාරයාට දෙන්නලු. ඒකට මගේ කැමත්තක් නෑ. නමුත් පුතේ, ඔය බිසව ඔයාලට අනතුරක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මෙහෙන් යන්න. කැලේ ගිහින් වාසය කරන්න. මගේ ඇවෑමෙන් පස්සේ මෙහෙ එන්න. ඇවිත් රාජ්‍යය භාරගන්න.”

එතකොට අර දරුවන් දෙන්නා පිය රජතුමාට වැන්දා. රාජාංගණයෙන් නික්මී පිටත් වුණා. සෙල්ලම් කරමින් හිටිය සූරිය කුමාරයා මේක දැක්කා. දැකලා දුවගෙන ගියා. ඔවුන් වනගත වන බව අසා සූරිය කුමාරයත් එයට එකතු වුණා. සියලු දෙනා හිමාල වනයට ගියා. ඒ යන අතරේ බෝධිසත්ව කුමාරයා රුක් මුලක හිඳගෙන සූරිය කුමාරයාට මෙහෙම කිව්වා.

“මල්ලියේ... අර විලට ගිහින් නාලා පැන් බීලා නෙළුම් කොළවලට අපටත් පැන් අරන් එන්න.”

ඉතින් සූරිය කුමාරයා එතනට ගියා. ඔය විලේ අරක්ගත් රකුසෙක් ඉන්නවා. වෙසමුණි දෙවියන්ගෙන් වරම් අරගෙනයි ඇවිත් ඉන්නේ. වෙසමුණි දෙවියෝ ඔහුට මෙහෙම කියලා තිබුණා. ‘දේවධර්මය දන්න අය හිටියොත් අත්හරින්න ඕන. වෙනකෙනෙක් විලට බැස්සොත් කෑවට කමක් නෑ.’ ඉතින් මොහු කරන්නේ විලට බහින අයගෙන් දේවධර්මය ඇසීමයි.

සූරිය කුමාරයා විලට බැස්සා. රකුසා මතුවුණා. අල්ලාගත්තා.

“කියාපිය! දේවධර්මය යනු කිම?”

“දේවධර්මය යනු හිරුත්, සඳුත් ය.”

“නෑ...! තෝ දේවධර්මය දන්නෙ නෑ” කියලා වතුරෙ අස්සට ගෙනිහින් කුමාරයාව තමන්ගේ භවනේ සිරකළා. බෝසත් කුමාරයා සෑහෙන වෙලාවක් බලා සිටියා. කුමාරයා තාම ආවෙ නෑ. කරදරයක්වත් ද කියලා චන්ද කුමාරයාව පිටත් කළා. චන්ද කුමාරයාත් විලට බැස්සා. අල්ල ගත්තා. දේවධර්මය ඇහුවා. කුමාරයා කිව්වේ සතර දිශාව දේවධර්මය කියලයි. උත්තරේ වැරදියි. ඒ නිසා එයාවත් වතුරෙ අස්සට ගෙනගොස් සිර කළා.

චන්ද කුමාරයත් ගියා ගියාමයි. බෝසත් කුමරු ඒ ගමන විලට පිටත් වුණා. හොඳ කල්පනාවෙන් ගියා. හොඳට වටපිට විපරම් කළා. විලට බැහැපු පා සටහන් තියෙනවා. නමුත් ගොඩට ආපු බවක් පේන්න නැහැ. ඒකාන්තයෙන්ම රකුසෙක් අධිගෘහිත විලක් වගෙයි. ඉතින් බෝසත් කුමාරයා දුනු ඊතලවලින් සන්නද්ධ වෙලා සූදානම්ව සිටියා. එතකොට රකුසා කැලේ ඇවිදින මිනිසෙකුගේ වේශයෙන් ආවා. ඇවිදින් කිව්වා,

“භවත් පුරුෂය, ඔබට සෑහෙන්න මහන්සියි වගේ. මෙච්චර අපූරු විලක් තියෙද්දී බැහැලා නාලා වතුර බීලා නෙළුම් අල කාලා මල් මාලා පැළඳගෙන යන්නෙ නැතුව ඇයි බලාගෙන ඉන්නේ...?”

එතකොට බෝසතාණන් වහන්සේට හිතුණා, මෙයා තමයි රකුසා කියලා.

“ඇත්ත කියාපිය! මගේ සහෝදරයො දෙන්නා ගත්තෙ නුඹ නේද?”

“එසේය, මමයි ගත්තේ...”

“ඇයි එහෙම ගත්තේ...?”

“මේ විලට බැස්ස අය මට පරිභෝජනයට කැපයි.”

“ඒ කියන්නේ විලට බහින හැමෝම බිල්ලට ගන්නවද?”

“නෑ... දේවධර්මය දන්නා අය බිල්ලට ගන්න අවසර නෑ... ඔබ දේවධර්මය දන්නවාද?”

“එසේය, මම දේවධර්මය දනිමි.”

“පින්වත, එහෙනම් කියන්න...”

“එම්බා රකුස, මගේ ශරීරය දැන් අපවිත්‍රයි. මම නාලා පැන් වළඳලා අලංකාර වෙලා ආසනයක වාඩිවෙනවා. එතකොට ඔහේ මගේ පාමුල වාඩිවෙන්න ඕන. ඒ වෙලාවට දේවධර්මය කියන්නම්.”

යකා කැමති වුණා. ඉතින් බෝසතාණන් වහන්සේ කියා දුන්නා.

“හිරිඔත්තප්පසම්පන්නා - සුක්කධම්මසමාහිතා

සන්තෝසප්පුරිසාලෝකේ - දේවධම්මාති වුච්චරේ

ලැජ්ජාව සහ භය නැමැති යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත වූ, ශාන්ත වූ සත්පුරුෂයන් ලෝකයේ සිටිත් ද, ඔවුන්ගේ ඒ ලැජ්ජාව සහ භය දේවධර්මය යැයි කියනු ලැබේ.”

ඉතින් යකා බොහොම සතුටු වුණා.

“නුවණැති පින්වත, මං ඔබට එක සහෝදරයෙක් දෙන්නම්. කවුරුද ඕන?”

“එහෙනම් මට බාල සොහොයුරාව දෙන්න”

“අහෝ! නුඹ නුවණැති කෙනෙක් වුණත්, දේවධර්මය දැනගත්තත්, ඒ දේවධර්මය අනුකූලව සිටින්නෙ නැහැ නෙව. ඇයි, වැඩිමලා සිටිද්දී බාලයාව දෙන්න කිව්වේ? වැඩිමහලු පිළිවෙළට ගරුකිරීමක් නැද්ද?”

“එම්බා යක්ෂය, මං දේවධර්මය දන්නවා. ඒ වගේම එයට අනුව වාසය කරනවා. අපි වනගත වුණේ... මෙන්න මේ හේතුව නිසයි. ඉතින් අපේ පියාණෝ ඒ වරය නොදී තමයි අපව වනාන්තරයට පිටත් කළේ. ඉතින් මම වැඩිමලා රැගෙන ගිහින් වනාන්තරයේදී බාල මල්ලිව යකෙක් කෑවා කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසයි මම ඔහුව මට දෙන්න කියලා කිව්වේ...”

“ඉතා මැනවි කුමාරය. තොප දේවධර්මය දනී. ඒ අනුව වාසය කරයි. තොපට මම සොහොයුරන් දෙදෙනාම දෙමි.”

ඉතින් බෝසත් කුමාරයා යක්ෂ ජීවිතයේ ඇති අනතුර ඔහුට පෙන්වා දුන්නා. පංච ශීලයෙහි සමාදන් කෙරෙව්වා. ඉන්පසු හැමෝම වනාන්තරයේ සුවසේ වාසය කළා. පිය රජතුමා මියගිය පසු බරණැසට පැමිණුණා. තමන් රජවුණා. චන්ද කුමාරයා යුවරජු වුණා. සූරිය කුමාරයා සේනාපති වුණා. එදා ඒ ආත්මයේදී රකුසා වෙලා හිටියේ ඔබ. සූරිය කුමාරයා වුණේ ආනන්ද. චන්ද කුමාරයා වුණේ සාරිපුත්ත. මහිංස කුමාරයා වුණේ මම” කියලා භාග්‍යවතුන් වහන්සේ ඉතා මධුර වූ ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා

න නග්ගචරියා න ජටා න පංකා
නානාසකා ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං
පලක් නැතේ සිටියත් නිරුවත් වී
- ජටා මඬුලු බැන්දත් සෙත නැත්තේ
පලක් නැතේ දත් මැලියම් තිබුණත්
- කුසගින්නේ සිටියත් සෙත නැත්තේ
පලක් නැතේ මඩ තවරා සිටියත්
- පලක් නැතේ උක්කුටියෙන් සිටියත්
එතෙර නොවී සිටි විට ඔහු සැකයෙන්
- පිරිසිදු බව නැහැ ඇති කරගන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අදටත් ඉන්දියාවේ ඔය විදිහයි. නැකතට නිරුවතින් දුවගෙන ගොස් වතුරට පනිනවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කටු ඇතිරිවල සයනය කරනවා. වටේට ගිනි ගොඩවල් ගහගෙන මැද්දෙ ඉන්නවා. කෙළවරක් නැති තපස්කම් කරනවා. හැබැයි බුද්ධකාලෙ තරම්ම නෑ. ඒ එකකින්වත් පලක් නැහැ. යමෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කළොත් ඔහු සැකයෙන් එතෙර වෙනවා. ඔහු විතරයි ජීවිතයේ සත්‍යය වූ පාරිශුද්ධිය ලබාගන්නේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

සංකිච්ච මහරහතන් වහන්සේ

උපුටා ගත්තේ නමස්කාර යව්වනයේ
අසිරිමත් පෙළහරක් පෑ සත්හැවිරිදි රහතන් වහන්සේ කෙනකුගේ කතාවකි මේ.
කුසුමා වීරසිංහ

වරක් සැවැත් නුවර උසස් කුලවල කුමාරවරු තිස් දෙනෙක් බුදු හිමියන් වෙත මහණ වූ හ. උන් වහන්සේලා විදසුන් වැඩීම සඳහා එක් වන පියසකට යෑමට බුදුන් වහන්සේගෙන් අවසර ලබාගත්හ. සංකිච්ච සාමණේරයන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ ම වැඩ වාසය කළ සේක. උන් වහන්සේ සත් හැවිරිදි වියෙහිදී ම රහත් භාවය ලැබූ හිමි නමකි.

බුදුන් වහන්සේ මේ කුඩා සංකිච්ච හිමි අමතා “පුත සංකිච්ච, ඔබත් මේ දරුවන් සමග යන්නැ” යි වදාළ සේක. “එසේය, බුදු පියාණෙනි” යි සංකිච්ච පුංචි රහතන් වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.
බොහෝ දුර කතර ගෙවා මේ සියල්ලෝ ම එක් පිටිසර ගමකට පැමිණියහ. එදා ගම්වැස්සන්ට හරි ම සතුටු දිනයකි. ස්වාමීන් වහන්සේලා දුටු ගම්වැස්සෝ,
“අපි ඔබ වහන්සේලාට සිවු පසය ම සූදානම් කර දෙන්නම්. මෙහි ම වැඩ වාසය කරන්නැ” යි ආරාධනා කළේ භක්ති පූර්වක ව ය.

එදා සිට මේ භික්‍ෂූන් වහන්සේලාට රසවත් අහරින් අඩුවක් නැත. ගම්වැස්සෝ සේනාසන ද පිළියෙල කොට දී භාවනා කිරීමට ද පහසුකම් සලසා දුන්හ. මේ නවක භික්ෂූන් තිස් නම ම කිසිම කරදරයක් නැති ව විවේකී ව කුඩා සංකිච්ච හිමි සමග අප්‍රමාදී ව භාවනාවෙහි නිරත වූ හ.
මහමඟ ඇවිදින හිඟන මිනිසෙක් ද දිනපතා මෙහි පැමිණ ආහාර ගැනීම සිරිතක් කරගත්තේ ය. දිනක් රසවත් අහරින් ඔද වැඩුණු ඔහු මෙසේ සිතන්නට විය: ‘මුන් වහන්සේලාට කොතරම් රස ආහාර ද ලැබෙන්නේ... රෑ දාවල මහන්සි වී වැඩ කරන අන් අයට මෙතරම් රස අහර ලැබෙන්නේ නැහැ. මම මෙහි ම නවතිමි’ සිතා හිමිවරුන්ගෙන් අවසර ලැබ ටික කලක් එහි නැවතිණ. දැන් ඔහුගේ සිරුර හොඳින් වැඩී ඇත. ටික දිනකට පසු ආපසු යෑමට ඔහුට සිතිණි.

පෙරළා මහ වනයට වැද, යන අතරමග ඔහු අසුවූයේ සොර මුළකට ය. පන්සියයක් දෙනා එහි වූ හ. අහර ලැබ ඇඟ පත හැඩ වැඩ වී සිටින මොහු අල්වාගෙන බිලි පූජා කරන්නට ඔවුහු සිතූ හ. ගුණමකු සිඟන්නා මෙහිදී “අනේ මා වාගේ හිඟන්නකු බිලි පූජාවට ගන්නට එපා. ධාර්මික ව දිවි ගෙවන භික්ෂූන් වහන්සේලා තිස් නමක් අසල ගමෙහි ඉන්නවා. දෙවියන් සතුටු කරන්නට නම් ඔවුන්ගෙන් කෙනකු ගන්නැ” යි බැගෑපත් විය. “දෙවියන් සතුටු කරන්නට නම් උතුම් කෙනකු ගන්න එක වඩා හොඳයි.”
ඔවුන් සැමගේ ද අදහස විය.

ඔවුන් සිඟන්නාගෙන් මඟ අසා, ගියේ භික්ෂූන් වෙත ය. සොර දෙටුවා කිසි ම ඉවක් බවක් නැතිව එක් ස්වාමීන් වහන්සේ නමක් අල්වා ගෙන යෑමට සැරසිණි. ඒ දුටු සංකිච්ච ස්වාමීන් වහන්සේ “ඔබ කවුද? කොහේද මොහු ගෙන යෑමට තැත් කරන්නේ?” යනුවෙන් පිළිවිසී ය. “අපට මොහු ඕනෑ බිලි පූජාවට” ඒ රළු වචන පිට වූයේ සිත් පිත් නැති සොර දෙටුවාගේ මුවිනි.
“හොඳයි. ඔබට ඕනෑ බිලි පූජාවට කෙනෙක් නේද? ඒ හිමි නමට වඩා මා එයට සුදුසු යි. මා ගෙන යන්න” සංකිච්ච හිමියෝ බිලි පුදට තම දිවි දීමට ඉදිරිපත් වූ හ. බුදු රදහු තමා එව්වේ මේ අවදානම් අවස්ථාව නිසා බව ද උන් වහන්සේට සිහිපත් විණි.

සොර දෙටුවා මෙවැනි එඩිතර කෙනකු ලැබීම කොතරම් භාග්‍යක් දැ යි සිතමින් සංකිච්ච තෙරණුවන් රැගෙන ගියේ ය. දැන් ඔහු කුඩා තෙරණුන්ගේ දිවි නැසීමට සූදානම් ය. බිලි පූජාව සඳහා අනෙක් දෑ සියල්ල සූදානම් කර ඇත. හිමියෝ කිසිම බියක් නැතිව සමවතට සම වැදුණහ. සොරා කඩුව මුවහත් කර තදින් පහරක් එල්ල කළේ එක වර ම ගෙල සිඳීමට යි.

එහෙත් අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක.
සොරුන්ට සිත් අදහාගන්නට නොහැකි විය. තමන් කරන්නට ගිය පාප කර්මය ගැන පසුතැවිලි වූ හ. මේ සිත් පිත් නැති කඩුව පවා සීලයෙන් ගුණයෙන් යුත් පින් කෙතක් බඳු උතුමකුට නමස්කාර කරන බව ඔවුහු වටහාගත්හ. වහා ම සියල්ලෝ උන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණහ.
“අනේ හිමියනි, අපට කමා කරන්න. ඔබ වහන්සේ ඔය යන මාවතට අපත් ගෙන යන්න. අප කැමතියි මහණ වෙන්න.”

කුඩා සංකිච්ච හිමියන්ගේ මේ අසිරිමත් පෙළහර නිසා පන්සියයක් සොරහු පාපයෙන් මිදුණහ. පැවිදි බව ලැබූ හ. පසුව බුදුන් වහන්සේ,

“යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ - සීලවන්තස්ස ඣායිනෝ”
යනුවෙන් ‘විසිරුණු සිත් ඇති, සිත එකඟ කර නොගත් යම් කිසි දුසිල්වතෙක් අවුරුදු සීයක් ජීවත් වේ ද, ඊට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම උතුම් යැ’ යි වදාළහ. ධර්ම ශ්‍රවණයෙන් අනතුරු ව පන්සියයක් නම ම රහත් ඵලයට පැමිණියහ.

(ධම්මපදයේ සහස්සවග්ග 110 වන ගාථාව ඇසුරෙනි).
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
නාග පේ‍්‍රත වස්තුව
සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා.
බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා.
නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්‍රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස්

’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා
’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා.

අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා
’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා.

බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ.
අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා
’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා.
සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා.

උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා.
එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා.
ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද?
පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.
අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ.
අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා.

ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා.
ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා.
අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ.

ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ.
මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.
සඟරාවෙනි http://www.namaskara.lk/) ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬  අප හා එක්වන්න ► මුදුන (Muduna)

යමක ප‍්‍රාතිහාර්ය ඥානය


ප‍්‍රාතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප‍්‍රාතිහාර්ය ඥානය ලෙස හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබිය හැකි සුවිශේෂී ඥානයකි. අතිශය දුෂ්කර කාර්යයක් වන ප‍්‍රාතිහාර්ය පෑම රහතන් වහන්සේලාට අර්හත්වයේ අනුහසින් කළ නොහැකිය. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප‍්‍රාතිහාර්ය පෑමට අසමත් හූ වෙති.
“ඉධ තථාගතො යමක පාථිහීරං කරෝති අසාධාරණං සාවකෙහි, උපරිම කායතෝ අග්ගික්ඛෙන්‍ධා පවත්තති, හෙට්ඨිමකායතො, උදකධාරා පවතතාති, හෙටඨිම කායතො අගගිකඛෙන්‍ධා පවත්තති, උපරිම කායතෝ උදකධාරා පවත්තති, පුරÀථිම කායතෝ අග්ගක්ඛෙන්‍ධා පවත්තති, පචඡිමා කායතෝ උදකධාරා පතත්තති, පුරÀථිම කායතෝ අගගික්ඛෙන්‍ධා පවත්තති....”
“මෙහි තථාගත තෙම ශ‍්‍රාවකයන් හා අසාධාරණ වූ යමක ප‍්‍රාතිහාර්ය ය කෙරෙයි. උඩුකයින් ගිනි කඳ පවත්වයි, යටි කයින් දිය දහර පවත්වයි, යටි කයින් ගිනි කඳ පවත්වයි, පසු පසින් දිය දහර පවත්වයි, පසු පසින් ගිනි කඳ පවත්වයි ....
පටිසම්භිදා මග්ග, මහා වග්ග ඥාන කථා)
බුද්ධ චරිතයේ කිහිප අවස්ථාවෙක දීම යමාමහා පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ සත්වයන් සුමගට යොමු කළ අයුරු දැකිය හැකිය. ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේගේ වයස් බාල බව සලකා මහත් මානයෙන් හැසිරුණු අවස්ථාවෙහි දී තථාගත බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර හා වදාළ බව සඳහන් වේ. විද්‍යා චක‍්‍රවර්තීන් බුත්සරණෙහි බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යමක මහා ප‍්‍රාතිහාරිය විස්තර කරනුයේ මෙපරිද්දෙනි.
“ශී‍්‍ර ශරීරයෙන් නාභියෙන් මත්තෙහි තුන්ලොව බබුලුවන්නා වූ මහා ගිනි කඳක් නැගෙන්නට වන. නැවත නාභියෙන් පාත ශී‍්‍ර ශරීරයෙන් ආකාශ ගංගා ප‍්‍රවාහයක් සේ මහා දිය කඳක් හෙන්නට වන. නැවත ගිනි කඳ නැගී ඌර්ධ්ව කායෙන් දිය කඳෙක් නැගෙන්නට වන...”
මහා වංශාගත තොරතුරුවලට අනුව බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහියංගණයේ දී යක්‍ෂයන් දමනය උදෙසා යමා මහ පෙළහර පෑ බවට තතු විස්තර සපයාගත හැකිය.
තේජෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් ගිනි කඳක් ද, ආපෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් මහා ජල කඳක් ද පිට කිරීමට මෙම ඥානයේ බලයෙන් හැකිවේ. ධ්‍යානලාභී වූ ඇතැම් පෘථග්ජනයන් විසින් ද ප‍්‍රාතිහාර්ය කරනු ලැබේ. එහෙත් ධ්‍යානලාභී වූ පමණින්ම ප‍්‍රාතිහාර්ය කළ නොහැකිය. ප‍්‍රාතිහාර්ය කිරීම සඳහා තුදුස් ආකාරයෙන් පුරුදුකොට ගත් රූපාවචර අරූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය අවශ්‍ය බව යමක ප‍්‍රාතිහාර්ය ඥානය පිළිබඳ තම “සූවිසි ගුණය” ග‍්‍රන්ථයේ දී රේරුකානේ චන්දවිමල නා හිමියෝ මෙසේ සඳහන් කරති.
“එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥාචිත්ත නම් වේ. යමක ප‍්‍රාතිහාර්ය ඥානය යැයි කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභභිඥාචිත්ත සම්ප‍්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියෙකුට මෙබඳු දෙයක් වේවායි නිකම්ම සිතීමේ මාත‍්‍රයෙන් යම්කිසි ප‍්‍රාතිහාර්යයක් නොකළ හැකි ය. ඒ ඒ ප‍්‍රාතිහාර්යයන් කිරීමට ද, වෙන වෙනම පුරුදු කළ යුතුය. යම්කිඪි ප‍්‍රාතිහාර්යයක් කිරීමට වුවමනා ඒ කරුණ සිදු කිරීමට නිසි කසිනයෙක් හී පඤ්ඤමධ්‍යානයට සමවැදිය යුතුය.”
මෙහිදී ගිනි කඳක් මැවීමට තේජෝ කසින පඤ්චමධ්‍යානයට සමවැදිය යුතුය. එසේම ජල කඳක් මැවීමට ආපෝකසිනය සමාපත්තියට සම වැදිය යුතුය. ඒ ඒ ප‍්‍රාතිහාර්ය පෑමේ දී අදාළ සමවතට සම වැදී ඉන්නැගීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතුය. ඉන් අනතුරුව සිතෙහි පවතින අධිෂ්ඨාන ශක්තියේ බලයෙන් රූපාවචර අභිඥාචිත්තය නැවත ඇති වී අධිෂ්ඨාන කළ ප‍්‍රතිහාර්ය ඇති වේ.
එකකට එකක් මාරුවෙන් මාරුවට සමාපත්ති වල, සම වැදීම, නැගිටීම, අධිෂ්ඨානය ඉතා වේගයෙන් සිදු කරන නිසා බලා සිටින්නෙකුට හැඟෙනුයේ ගිනි කඳක් සහ ජල කඳක් එකවිට පිට වන්නාසේ ය. එකකට එකක් අනතුරුව සමාපත්ති මාරුකිරීමේ ඉතා වේගය සතුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සතුව පමණි. ධ්‍යානයෙහි වශී භාවය මද අයට ඉක්මනින් ප‍්‍රාතිහාර්ය කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සතුව සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් පවතින බැවින් එක විටෙක සිඳුවන්නක් ලෙස විද්‍යාමාන වන සේ ප‍්‍රාතිහාර්යදවයම සිදු කළ හැකිය.
“ලොම කූපතො ලොම කූපතො අග්ගිඛකෙන්‍ධ¤ පවත්තති, ලෝමකුපතො ලෝමකුපතෝ උදකධාරා පවත්තති ජනනං වණ්ණානං නීලානං, පීතකානං, ලෝහිතකානං, ඕදාතානං මඤ්ජිට්ඨානං පභස්සරානං...”
තේජෝ හා ආපෝකසිනයන් හී අතිශය වශීභාවයෙන් දිය කඳෙන් හා ජල කඳෙක් පිට කරමින් සිදු කරන ප‍්‍රාතිහාර්ය අතර තථාගතයන් වහන්සේ මුළු සක්වලම මැඩගෙන දිවෙන සේ, නීල, පීත, ලෝහිතාදී ෂඩ් වර්ණයන් ගේ රැස් මාලාවන් උත්පාදනය සඳහා ඒ ඒ කසින වලට ද සම වදින බව පටිසම්භිදා මග්ගයෙහි සඳහන් වේ. බුත්සරණ කතුවරයා ඒ පිළිබඳව සඳහන් කරනුයේ පහත අයුරිනි.
“.... එකී එකී ජලස්කන්‍ධයට ආපෝකසින සමවත් සමවදිනා සේකෑ. සවනක් ඝන බුදු රැස් පිණිසැ වෙන වෙන නීල කසින, පීත කසිනා දී සමවත් සමවදනා සේකැ....”
මුළු ලොවම විශ්මයාවහ ලෙස සාධුකාර දෙමින් රැඳීහුන් කල තථාගතයන් වහන්සේ තවත් ප‍්‍රාතිහාරියක් දැක්වූ බව සඳහන් වේ. විද්‍යාචක‍්‍රවර්තීන් එය අපූරු උපමාවකින් විස්තර කරයි. එක ඇතෙකු සිටින තැනෙක තවත් ඇතෙකු නගාසිටුවන්නාසේ තවත් නිර්මිත බුදුරුවක් මවා පා දැක්වූ අයුරු පටිසම්භිදා මග්ගයෙහි මෙසේ සඳහන් වේ.
“භගවා චවකමති, නිමමිතො තිටඨති මා නිසීදති වා සෙය්‍යං වා කපෙපති...”
බුදුහු සක්මන් කෙරෙති. නිර්මිත බුදුහු සිටිති. හිඳිති. සයනය හෝ කෙරෙති...
මෙලෙස සමාපත්තීන් හී අතිශය වශීභාවයෙන් ප‍්‍රාතිහාර්ය පෑම හුදෙක් සත්ව සන්තාන බියෙන් අළලා ළාමක අරමුණු උදෙසා සිදු නොවන්නකි. සත්වයින් ගේ මෙලොව පරලොව සුගතිගාමීත්වය උදෙසා මහා කාරුණිකයන් වහන්සේ අවැසි තැන අවැසි පරිදි යමා මහා පෙළහර පා වදාළ බව පෙන්වාදිය හැකිය.
පොල්ගොල්ල ශාස්ත‍්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය
ඕපල්ගම චන්දරතන හිමි
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
අප හා එක්වන්න
 Us ON ►