අෂ්ට ලෝක ධර්මය-ලෝකයෙහි හැමදාම පවත්නා වූ ස්වභාව ධර්ම

ලාභො අලාභො

අයසො යසොච

නින්දා පසංසාච

සුඛඤ්ච දුක්ඛං

එතෙ අනිච්චා

මනුජෙසු ධම්මා

අසස්සතා විපරිනාමධම්මා

එතෙ ච ඤත්වා සතිමා සුමෙධො

ආවෙක්ඛතී විපරිනාමධම්මෙ

ඉට්ඨස්ස ධම්මා නමථෙන්ති චිත්තං

අනිට්ඨතො නො පටිඝාතමෙති

(අංගුත්තර නිකාය)

අටලෝ දහම නමින් හඳුන්වනු ලබන්නේ ලෝකයෙහි හැමදාම පවත්නා වූ ස්වභාව ධර්ම අටෙකි. ලාභ අලාභාදී ඒ අට ලෝ වැසියා අනුව ලෝ වැසියා අත් නොහැර පවත්නේ ය. ලෝ වැසියා ද අට ලෝ දහම අනුව - අට ලෝ දහම අත් නො හැර සිටින්නේ ය. ලෝ වැසි කිසිවකුට මේ අට ලෝ දහමට මුව නොදී විසීමට හැකියාවක් නොමැත. තුන් ලෝ වැස්සන්ගේ මුදුන් මල්කඩ වන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව්තුරා වූ සේක් නමුදු, (ලෝක තත්ත්වය ඉක්මවැ වූ සේක් නමුදු) ලෝකයෙහි වෙසෙන හෙයින් උන්වහන්සේ වෙත ද අට ලෝ දහම ඒකාන්තයෙන් ම පැමිණෙන්නේ ය.

ඉන් මෙපිට සත්වයන් හට අට ලෝ දහම පැමිණෙනවා යයි අමුතුවෙන් කිවමනා නැත. නිසැකවැම පැමිණෙන හෙයිනි.

--------------------------------------------

ලාභ අලාභ

ලො වැසියාගේ සැමදාම බලාපොරොත්තුව ලාභ ලැබීමට ය. අලාභයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කිසිවෙක් නැත. කවර හෝ ලාභයක් බලාපොරොත්තු වීම සිරිත ය. ලාභයයි ගත් කල ඥාති ලාභ - භොග ලාභාදී නොයෙක් ආකාර ලාභ ඇත. දූ දරුවන් ලැබීම ය, නෑ මිතුරන් ලැබීම ය, පිරිවර ලැබීම ය, ගව මහිෂාදී සතුන් ලැබීම ය, කෙත්වත් ධන ධාන්‍යාදිය ලැබීම ය යන මේ ආදිය බලාපොරොත්තු වන්නා වූ නානා ප‍්‍රකාර ලාභයන් අතුරින් කීපයෙකි.

ආරෝග්‍යය, යෞවන භාවය යනාදියත් එකී ලාභ ගණයෙහිම වැටෙති. සම්පත් ගණයෙහි වැටෙන ඒ හැම ලාභයෝ විපතින් අවසන් වෙති. විපත් පැමිණෙත්ම ඒවා ගිය මඟවත් සොයා ගත නො හැකි ය. ඥාති ලාභ - භොග ලාභාදී වූ හැම ලාභයක් ම ලැබෙතොත් යෙහෙකැයි නිතොර පතමින් සිටීම සාමාන්‍ය මිනිස් ගතියෙකි. කොතෙක් ලාභ ලැබුණත් එයින් සෑහීමකට පත් නොවී තව තව ලාභ ලබමියි ලාභාපේක්‍ෂාවම ඇතිව වාසය කෙරෙයි. කොතෙක් දර බහාලුවත් ඒ සියල්ල පිළිගෙන, ගිනිබත් කරන්නා වූ ගිනි ගොඩක් මෙන් ද, නොහිම් දිය කඳ වැටීමෙනුදු සෑහීමට පත් නොවී තව කොතරම් දිය ලැබුණත් ඒ සියල්ල පිළිගෙන තවත් ලැබෙන ඕනෑ තරමක් ගන්නට සැරැසී සිටින මහ සයුරක් සේ ද, මහත් බලාපොරොත්තු ඇති පුද්ගලයා තම බලාපොරොත්තු කිසි විටෙක අඩු කරන්නේ නැත.

සමහරෙක් කවර අපරාධයක් හෝ කොට තම ලාභය පමණක් සලසා ගනිති. කොතරම් දුසිරිතෙකැ යෙදී හෝ, යම් කිසිවක් බලාපොරොත්තු වෙති. ඕනෑම නීච – පහත් කි‍්‍රයාවක් කිරීමට ලාභාපේක්‍ෂකයෝ පසුබට නොවෙති. ඔවුනට විළිබිය නොමැත. ආත්ම ගෞරවයක් නොමැත. ලාභය පමණක් ම එකම එක වශයෙන් සලකති. ලාභ නො ලැබිය යුතු සැටි ප‍්‍රකාශිත කොතරම් ධර්ම නීති හා ලෝක නීති ඇතත් ඒ දෙස බැලීමකුදු නොමැත. ඒ සියල්ල එසේ වනුයේ තම ලාභය පමණක් ම බලාපොරොත්තු වන හෙයිනි. ලාභ ලබන අය ඊට අනතුරුව ‘අලාභයක් තම පසුපස එලවා එන්නේය” යි බොහෝ විට නිකමට වත් නොසිතති. සැමදාම මේ ලාභ මෙසේම යයි උදම් වී කි‍්‍රයා කරති.

සමහර විට ලාභ ලබා පොහොසත්ව එයින් ඉදිමී ගිය ඇතැමෙක් දුප්පත් නෑදෑයන් පමණක් නොව, දිවි පුදා මුළු දියුණුව සලසා දුන් අහිංසක දුප්පත් මහලු මවුපියන් ද පහත් කොට සලකති. ඔවුන් තම මවුපියන් බව කීමට පවා මැලි වෙති. සහෝදරාදී සෙසු ඥාතීන් ගැන ද එසේ ම ය. තමන් ආ ගිය සැටි – කෑ බිව් සැටි – හැඳි පැළැඳි සැටි - ගෙදර දොරේ සැටි ඈ සියල්ලම (මුල) අමතක කොට සුරපුරෙන් බට කෙනකු සේ සිතති. අනුන්ටත් අඟවති. ඔහුට සහජයෙන් ලත් නෑයෝ මිතුරෝ මදි ය. තම පරපුර මදි ය. නම ගම නො ගැළපේ. ඔහු අලුත් නෑයන් සොයයි. අලුත් මිතුරන් සොයයි. අලුත් වාසගමක් ගනියි. විසීමට අන් රටක් පවා සොයයි. පාරම්පරික සිරිත් -විරිත් නොගැළපී විළිබිය නසන සංකර ගති සිරිත් කරපින්නා ගනියි. ලාභයෙන් උදම්වීම නිසා මේ ඈ මහ විකාර කාරයෝ වෙති. ඔහුගේ ගමන බිමන ද, ඉඳුම් සිටුම් ද, කතා බස් ද, රැවුම් පිප්පුම් ද, මවා ගත් තෙද ඔද ද ඔහු බොහොම ඉහළින් සිතා පවත්වතත්, ඔහු දෙස බලන නුවණැත්තෝ මොහු ලෝක ස්වභාවය - ලෝ දහම අමතක කොට ඉදිමී ඇතැයි අවඥ කොට සිනාසෙති.

----------------------------------------------------------

යස - අයස

බුද්ධාදී ආර්යයන් වහන්සේලා ගේ ගුණය කොතරම් පැතිර ගියත් බොරු චෝදනා නිසා කොතරම් අගුණයක් පැතිර ගියත්, ඒ දෙක්හිම උන්වහන්සේ මධ්‍යස්ථවනසේක. ආර්යයන් එසේ වුවත් පුහුදුන් බොහෝ දෙන යසසේ දී උඩඟු වීමත් අයසේදී දොම්නස්වැ පසුබට වීමත් ස්වභාවයෙකි. සමහරෙක් යසස - කීර්තිය ලැබීමට නො කරන අයුත්තෙක් නැත. නො කරන අපරාධයෙක් නො මැත. බොහොම හරි හොඳ නමක් රටේ ඇති කර ගන්නට සිතා නොයෙක් දේ කරති.

ආත්ම ගෞරවය

ගිහියන් පමණක් නොවැ, ඇතැම් පැවිද්දන් පවා බණ ටිකක් දෙස තත්, බණ භාවනාවක් කරතත්, ගුණදහමක් වඩතත් එයින් ප‍්‍රසිද්ධියක් ම බලාපොරොත්තු වෙති. අද වෙසෙන උසස් යයි සලකනු ලබන බොහෝ ගිහියෝ දන් ටිකක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, සිල් සමාදන් වුවත්, බණ ඇසුවත්, වෙහෙර විහාරයකට ගියත් ඒ සියල්ලම ප‍්‍රසිද්ධියටම – නම පතළ කැරැ ගැනුමට ම සිදු කරති. පුහුදුන් ලෝකයා කීර්තියට එතරම්ම කෑදරය. පොඩි අපකීර්තියක් හෝ ඇති වුවහොත් එයත් එසේම පසුබට වෙති. මෙහිලා සැලකිය යුතු කරුණෙක් වෙයි. එනම්: තම නම නරක් නො වන ලෙස කි‍්‍රයා කිරීමට පරෙස්සම් වීම ආත්ම ගෞරවය ඇති ඕනෑම කෙනෙකු ගේ යුතුකම විය යුතු බවයි. බොරු චෝදනා නිසා තමත් වෙත එල්ල වන්නා වූ අපකීර්තියට බිය නො විය යුතුවාක් මෙන් ම, ස්වල්ප මාත‍්‍ර දෝෂයක් හේතු කොට ගෙන හෝ, ඇති වන අපකීර්තියට විශාල බියක් පහළ කරගත යුතුය.

තම වැරැදි නිසා පහළ වන්නා වූ අපකීර්තිය ගැන සැලකිලිමත් වනවා මිස අටලෝ දහම අනුව අපකීර්තියත් ඇතිවිය යුතු යයි සිත සිතා වරදෙහි බැදීම මිනිස්කමට නො ගැළපෙන්නකි. ආත්ම ගෞරවය තිබෙන කොයි කවුරුන් වුව ද, තම හොඳ නමට කිළුටක් වේ නම්, එය වළකා ගන්නට ජීවිතය පවා කැප කරති. නම නරක් කැරගත් ජීවිතය අවලංගු තඹ කාසියක් තරම්වත් වටින්නේ නැත. එහෙයින් යසස අයසට හැරෙන්නට ඉඩ නො තබා සිහි නුවණින් කි‍්‍රයා කරන ගමන ඊර්ෂ්‍යා පරවශයන් පතුරුවා හරින අයසට කලබල නොවී මැදිහත් විය යුතුය.

කල්‍යාණ මිත‍්‍රයා

නින්දා ප‍්‍රශංසා දෙක කළ යුතු සැටි තේරුම් ගෙන කරනවා නම්, එය කාගේත් වැඩ පිණිස හේතු වන්නේ ය. වරද වරද වශයෙන් ම කිව යුතුය. පෙන්වා දිය යුතුය. වරදට නින්දා කොට එය පෙන්වා දෙන තැනැත්තා නියම කල්‍යාණ මිත‍්‍රයා බව වදාළ සේක. ගුණය කා කෙරෙහි තිබුණත් ගුණයමැයි. එයට ව්‍යාජ ලෙස නොව අවංක සිතින් පැසැසිය යුතුය. එසේ නොව නින්දා කළ යුත්තට ප‍්‍රශංසා කිරීමත්, ප‍්‍රශංසා කළ යුත්තට නින්දා කිරීමත් අයුතු කි‍්‍රයා මෙන් ම පව් සිදුවන්නා වූ කි‍්‍රයාවෝ ය. එහෙයින් වදාළහ.

“යො නින්දියං පසංසති

තංචා නින්දති යො පසංසියො

විචිනාති මුඛෙන සො කලිං

කලිනා තෙන සුඛං න වින්දති”

යමෙක් නින්දා කළ යුත්තාට පසසාද, පැසැසිය යුත්තාට නින්දා කෙරේද, හේ මුවින් පව් රැස්කර ගන්නේ ය. එම පවින් දුක් විඳින්නේය. යනු එහි අදහසයි.

නින්දා කිරීම ද බොහෝ දෙනෙකුට ඉතා හුරු පුරුදු වැඩෙකි. අද නින්දා කිරීමට ඉලක්කය වශයෙන් ගණන් ගෙන තිබුණේ සුගුණයි. හොඳ ගතියි. ගුණය නො රුස්සන ගුණයට සමච්චල් කරන ගුණවතුන් පහත් කොට සලකන මෙවැනි කාලයක් කවදාවත් නොවීය. භික්ෂූන් වහන්සේ අතර පවා මේ දුර්ගුණය ඉතා තදින් ම බලපවත්නා බැව් අකමැත්තෙන් වුවද, කිව යුතුව ඇත. භික්ෂුවක් වශයෙන් තමන් අයත් හරි මඟ ගමන් කරන්නා වූ භික්ෂුවට අද සමාජයෙන් ලැබෙන්නේ නින්දාවක් ය. භික්ෂුන් වශයෙන් පෙනී සිටින්නෝම භික්ෂුන් ගේ සංවරය ශීලය ගුණය අවමානයට ලක් කරති. සංවරව මඟ තොට ගමන් කිරීම, කැප සරුප් පඩු පෙවූ සිවුරු පරිහරණය, පාත‍්‍ර පරිහරණය ආදී භික්ෂු ජීවිතයට අයත් ගිහි ආකල්පයෙන් වෙන් වූ වැඩ පිළිවෙළ පවා උපහාසයට ලක් කොට නින්දා කරති. අද සමහරෙක් මගතොට යන එන විට සිවුර හරෙන් මෙහෙන් දමාගෙන, වටපිට බල බලා අසංවරව ආගිය තරමටම “මඟ හපන්කම් කරන්නෝ අපි වම්හ” යි ආඩම්බර වෙති. මෙවැනි විගඩම් දකින සැදෑවත් බෞද්ධයන් ගේසිත කළකිරෙනවා පමණක් නොව, මහත් දොම්නසට පත් වෙනවා නොවේ ද යි අබමල් රේණුවකට වත් තැකීමක් නො කරති. බුදු සසුන් විසාහි නො පහන් අය පහන් කිරීමටත් පහන් අයගේ පැහැදීම දියුණු කිරීමටත් මම බැදී සිටින්නෙමියි අදහස් මාත‍්‍රයකුදු පහළ නො කෙරෙති. ඔව්හු “නච බුද්ධං සමාචරෙ කිඤ්චි - යෙන විඤ්ඤො පරෙ උපවදෙය්‍යුං” නුවනැත්තන් දොස් කියන සුළු වරදක් වත් නොකළ යුතුය යන බුදු වදන දෙස බැලීමකුදු නො මැත.

------------------------------------------------------------

නින්දා - ප‍්‍රශංසා

මෙබඳු ගති ලාභ ලබන පුහුදුන් බොහෝ දෙනෙකුන් කෙරෙහි දක්නට ලැබෙන්නේ “ලාභෙන උන්නතො ලොකො අලාභෙන ච ඔනතො” පුහුදුන් ලෝ වැසියා ලාභයෙන් උඩඟු වී හිස උදුම්වා ගැනීමත්, අලාභයෙන් පසුබට වී – දීන වී කනස්සලු වන ගතියත්, පුහුදුන් ස්වභාවය නිසාය. පුහුදුන් ගතිය මෙසේ වුවද කලාතුරෙකින් කෙනෙක් තමන්ගේ මුල මතක තබාගෙන උඩඟු නොවී, කා සමඟත් ඇයි හොඳයි කියමින්, නිහඬව ගලා බස්නා මහා ගංඟාවක මෙන් කලබල නැතිව වාසය කරති. “ගැඹුරු තන්හි ජලය කලබල නැත” යන කීම සනාථ කරමින් වෙසෙන ඔහු”දැන් සම්පත් ලැබුණත් මේ සියලු සම්පත් විනාශ විය හැකි ලෙස අලාභ ද පැමිණිය හැකි බව නිති සිහි කෙරෙති. එසේ සිහිකොට ලාභයෙන් උදම් නොවන්නාහුට ලොකු අලාභයක් පැමිණිය ද එයට කලබල නොවී දරාගත හැකිය.

අර්ථාන්විත නමකින්

අනේපිඬු සිටුතුමා පමණ කළ නො හැකි මහ සම්පත් ඇති ව විසූ කෙනෙකි. දෙව්රම් වෙහෙර උදෙසා ම සූපණස් කෙළක් ධනය වියදම් කෙළේය. දිනපතා පන් සියයක් මහ සඟනට රසමසවුලෙන් දන් දුන්නේය. හේ අසරණයන් ගේ දුක බලා ඔවුන් ගේ කැමැත්ත ලෙස ඔවුන්ට සංග‍්‍රහ කොට ඔවුනට පිහිට වූ හෙයින් ම, අනාථ පිණ්ඩික අනේපිඬුයි අර්ථාන්විත නමකින් පතළ විය. මේ වැඩවලට කොතරම් වස්තුවක් අවශ්‍ය වන්නට ඇද්දැයි නුවණින් සලකන්නෙකුට එය අපහසුවක් නොමැතිව තේරුම් ගත හැකිය. එතුමාට ඒ අනුව අපමණ වස්තුවක් තිබෙන්නට ඇතැයි වැටහේමැය.

එහෙත් කල් යත්ම අනේපිඬු සිටුතෙමේ ඒ මහ සම්පතින් පිරිහී දුප්පත් වූයෙන් මහ සඟන පිදීමට දනට නිවුඩු හාලේ බතත් කාඩි හොද්දත් පවා අමාරුවෙන් සපයා ගත් බව පෙනේ. ඒ තත්ත්වයට වැටුණත් හේ දුක්මුසු නො වීය. කොසොල් මහ රජ මුළු කොසොල් රටෙහි පමණක් නොව, කසී රටෙහිද ඒකාධිපති මහ රජ වූව ද, අසූ වියෙහි දී අනාථව මැරෙන්නට සිදුවූයේ මහ ම අම්බලමකයි. බරණැස විසූ මහ ධන සිටු පුත්තෙම අසූ කෝටි දෙකක් ධනය ඇතිව වූසූ කෙනෙකි.

පරම ධනය

පසු කාලයෙහි ඒ සියලු ධනයෙන් පිරිහී හිඟමනේ ගිය සැටි ද සිහි කළ මනාය. හේ කෑම ටිකක් සොයා විහාරස්ථානයට ද පැමිණියේය. ධර්මාශෝක අධිරාජයා අපමණ ඓශ්චය්‍ය¡යෙන් යුක්තව වාසය කළත්, ජීවිතාවසානයෙහි කිසිවක් නොමැතිව නෙල්ලි පළුවකට පමණක් අධිපති වී යයි පළවැ ඇත. ලක් රජය කළ දුටුගැමුණු රජ චූලංගනී යුද්ධයෙන් පැරැද ගොස්, කුස සයින් පෙළෙන කල්හි සිවු දෙනෙකුට වළඳන්නට තිබුණේ තිස්ස අමාත්‍යයා රන් තැටියේ බහාගෙන ගිය එක් කෙනෙකුට සෑහෙන බත් කොටස පමණය. එයත් තිස්ස නම් මහ රහතන් වහන්සේට පූජා කෙළේය.

මෑත අතීතයෙහි විසූ තෙර නමක් පිඬු සිඟා වැඩම කළ කල්හි ලැබුණේ ඉඳුණු කෙසෙල් ගෙඩියක් පමණක්ලු. එය විහාරස්ථානයට ගෙනවුත් විහාරස්ථානයේ වුසූ කුඩා ශිෂ්‍ය නමට කෙසෙල් මදය දී උන්වහන්සේ කෙසෙල් ලෙල්ල වැළදූ සේක්ල. ලද දැයකින් සතුටු වීම පරම ධනය කොට සලකන එවැනි උතුමන්හට කොතරම් අඩුපාඩු වුවද, ලාභයෙන් පිරිහුණ ද, එය කිසි ගණකට නො ගන්නා හෙයින් පහසුවෙන් ජීවත් විය හැකි බව “සදා සන්තුට්ඨ චිත්තානං සක්කා සබ්බත්ථ ජීවතුං” යන්නෙන් පැහැදිලියැ. ලාභාසාවේ කොනක් මිම්මක් නැති අයට ලැබෙන තාක් ලාභ ලබමින්, තව තවත්, නොයෙක් වීදියේ ලාභ බලාපොරොත්තු වෙති. එයම සමහරකුට මහත් පිරිහිම පිණිස වන්නේ ය.

කීර්ති ඝෝෂාව

බුදුරජාණන්වහන්සේ ගැන දසත විහිදී ගිය කීර්ති ඝෝෂාවක් “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” යි ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් බඹ මිනිස් සත් වගට තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට දැන ගන්නා ලද්දාවූ, තමන් වහන්සේ විසින්ම ප‍්‍රත්‍යක්ෂ කරන ලද්දාවු නව ලොව්තුරා දහම අවබෝධ කරවන සේක. උන්වහන්සේ මුල-මැද-අග යන හැම තන්හි යහපත් වූ, අර්ථ සම්පත් ව්‍යඤ්ජනසම්පත් වලින් අනූනව හැම පසින්ම පිරිපුන් ධර්මය දේශනා කරන සේක.

එබඳු රහතන්ගේ දැක්ම පවා මහා භාග්‍යයෙ කැයි සලකා ගුණ වණා බුදුරජාණන්වහන්සේ දක්නට යති. එසේම සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගේ ආචාරශීලීභාවය ගැන පතළ වී තිබෙන කීර්ති රාවය අසා පහන්වැ, තම පැහැදීම පළ කෙරෙමින් ගුණ වැණුහ. “සමනො චලු හො ගොතමො කල්‍යාණ වාචො, එහි ස්වාගතවාදී, සඛිලො, සම්මොදකො, අබ්භාකුටිකො, උත්තානමුකො, මිහිතපුබ්බංගමො, පුබ්බහාසි” යනාදී වශයෙන් ශ‍්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කන පිනවන්නාවු මිහිරි කතා ඇති සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන්ට එන්න එන්න ආවා ඉතා යහපතැයි පවසා ආසිරි පෙරටු කොට පිළිගන්නා සේක.

ප‍්‍රිය ඇසින්

උන්වහන්සේ ගේ වචනය අසන තාක් දෙනා සමගි සම්පන්න වන ස්වභාවය ඇති කරන සේක. තමන් වහන්සේ වෙත පැමිණෙන්නවුන් ගේ සිත් පිනවන්නාවු පිළිසඳර කතා පවත්වන සේක. බැම වකුටු කොට හෝ අවමන් කොට හෝ නො බලා පි‍්‍රය ඇසින් සියල්ලන් දෙස බලන සේක. උඩුකුරු කොට ගත් මුව පියුම ඇති සේක හෙවත් තමන් වහන්සේ වෙත පැමිණෙන්නන් දෙස මැනැවින් බලන සේක. මඳ සිනා පෙරදැරිව අමුත්තන් පිළිගන්නා සේක. තමන් වහන්සේම පළමු කොට කථා කරන සේක. මේ ආදී විසින් පැතිර ගිය ගුණඝෝෂය අසීමිතය.

මුගලන් මාහිමියන්ගේ ඍද්ධි මහිමය නිසා බුදු සසුන දීප්තිමත් වන්නේ යයි සැලකූ ඊර්ෂ්‍යා පරවශ තීර්ථයකයෝ උන්වහන්සේ මරන්නට සිතා පහර දුන්හ.

---------------------------------------------------------------

සැප - දුක

බුදුරජාණන් වහන්සේට කායික සුව පහසු උසස් ලෙස ලැබුණ බව ද සත්‍යයෙකි. ගිහි කල දෙව් සැප පරයන සැප පහසුකම් ඇතිව වැස, පැවිදිව දුෂ්කර කි‍්‍රයාවෙන් අපමණ දුක් වින්ද බවද ප‍්‍රකටය. බුදුව දෙව්රම් වෙහෙර වැනි විහාරස්ථානයන්හි විසුවාක් මෙන් ම තද ශීතල රාති‍්‍රයෙහි ඇට්ටේරිය වනයෙහි ගහක් මුල විසීම වැනි පුවත් ද නොයෙක් තැන දක්නට ඇත. බුදුරජාණන් වහන්සේට දුක සැප දෙකට ම මූණ දෙන්නට සිදුවී නම්, සෙසු අය ගැන කවර කථාද? සාමාන්‍ය ලෝකයාගේ සැප වැනසීයාමෙන් ඔවුන්ට මහත් දුකක් ඇතිවේ. බුද්ධාදී ආය¸යන් වහන්සේ ඒ සියල්ලට ම මධ්‍යස්ථ වන සේක. ලෝ වැසි බොහෝ දෙනෙකුන්ට සැප විඳින කල්හි දුක අමතක වීම ස්වභාවයකි. එහෙයින් ම සම්පත්තියෙන් සැපයෙන් මත්ව නොයෙක් නො කටයුතු කෙරෙති. ලොවැ සැපයයි ගණන් ගෙන ඇති සියල්ලකම මොහොතින් මොහොත වෙනස්වන බව සිහිකළ මනාය. ඉරියව් මාරුකිරීම නිසා සැපයයි සැලකෙන්නක්ම මොහොතක් ගතව ගිය කල දුකට පෙරැළේ. තුරුණු බව (තරුණ කාලය) සැපයෙකි. සම්පතෙකි. එය ජරා දුකින් වැනැසෙන්නේය. තුරුණු වියෙහි දී තුරුණු මදයෙන් මත්ව ගත් බොහෝ අය තම තාරුණ්‍යය මෙරමා පෙළීමට අවියක් කොට ගනිති. සමහර විට මහල්ලන්ට කල කොලොප්පන් කරමින් මහලු බව උපහාසයටත් ලක් කෙරෙති. තුමූ මහලු වන බව නිකමට වත් නො සිතති. ඒ මතු ද නොව, තුරුණුමඳයෙන් මත්ව නොයෙක් අපරාධ කොට පව් රැස්කැර ගනිති. එසේම ආරෝග්‍යය - ලෙඩ නොමැතිබව සැපතෙකි.

තැනට සුදුසු නුවණ

එය ලෙඩ හටගන්මෙන් දුකට පෙරළේ. ලෙඩ හට ගත් කල කිසිවක් කරකියා ගත නොහී, ළතැවෙන්නට සිදු වේ. යම් කිසිවකු නීරෝගිව වෙසෙන කල්හි මා මොන මොහොතේ ඉතා දරුණු රෝගයකට භාජන වේදැයි සිතිය නො හැකි හෙයින් මගෙ නීරෝගිභාවය ලෝ සසුන් මෙහෙය පිණිස යොදවමියි අධිෂ්ඨාන කරගත යුතුව තිබියදී ලෙඩට භාජනය වන බව මෙනෙහි කිරීම ලෝ දහම අමතක කිරීමක් වන්නේය. යම්කිසි රෝගයකට භාජනය වුවද, එහි දී දුක් දොම්නස් නොවී, මේ සිරුර දරණ තාක් කල් ලෙඩවීමෙන් වළකින්නට නොපිළිවනැයි සිතා, දුක් දොම්නස් නො වියයුතුය. එසේම මහත් සම්පත්තියක් වූ ජීවත්වීම මරණ විපත්තියෙන් කෙළවර වන බව තේරුම් ගත් නුවණැත්තා මරණය කවර මොහොතෙකැ කෙලෙස සිදුවේදැයි නොදත හැකි හෙයින්, හිස ගිනිගත්තකු ඒ ගින්න නිවා ගන්නට යම් තාක් උනන්දුව තිබේ නම්, සත්කි‍්‍රයාවන්හි යෙදීමට එවැනි උනන්දුවක් තිබිය යුතු බව සිතා කි‍්‍රයා කරන්හු කරා මරණය ළංවුවත් තුටු, සිතින් ඊට මූණදිය හැකිය. ජීවිත සම්පත්තියෙන් මත්වූවන්ටහට මරණ දුක අමතක වන්නේය. මැරෙනවායයි හඩ හඬා වැලැපි වැලැපි නො සිට, එයම අරමුණු කොට කළමනා වැඩෙහි යෙදීම නුවණැත්තන් ගේ ස්වභාවයයි.

පි‍්‍රය මනාප බව ඇති සවිඤ්ඤාණක වුවද අවිඤ්ඤණක වූ ද වස්තූ හා එක්ව වසන්නට ලැබීම මහත් සැපතක් වශයෙන් සලකති. යම් ලෙසකින් ඒ වස්තූන් ගෙන් වෙන්වන්නට සිදුවුවොත් එය මහත් දුකෙක් වන්නේය. මේ පි‍්‍රය සම්පයෝග පි‍්‍රය විප‍්‍රයෝග යන සැප දුක් දෙකටම විටින් විට මූණ පාන්නට සිදුවීම ද වළක්වන්නට සමත් කිසිවෙක නැත. ධෛර්ය සම්පන්න අය පි‍්‍රය විප‍්‍රයෝගයෙන් ද කල බලයට පත් නොවී, ස්ථානෝචිත ප‍්‍රඥායෙන් - තැනට සුදුසු නුවණින් යුතුව කි‍්‍රයා කරති. බුද්ධ කාලයේ විසූ බන්දුල මල්ලිකාව දිනක් මහා සංඝරත්නට දන් දෙමින් සිටින විට තම දරුවන් තිස්දෙනාත් සැමියාත් යුද්ධයේ දී මරුමුවට පත් වූ බව සටහන් කොට ඇති හසුන් පතක් ලැබිණි. එය බලා කලබල නොවී, එය ඉණෙහි ගසා ගෙන දන් බෙදමින් සිටියාය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් කලයක් බිම වැටී බිඳී ගියේය.

ඒ දුටු සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. එබස් ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා ගෙන තිබුණු ලියුම අතට ගෙන “ස්වාමිනි, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම දෑස්ස අතින් ගිලිහීබිඳී ගිය ගිතෙල් කලය ගැන ශෝක කරම්දැ’යි කීහ. බන්ධුල මල්ලිකාව ගැහැනියක වුවත්, පි‍්‍රය විප‍්‍රයෝග දුක පැමිණෙන බව කලින් ම තේරුම් ගෙන සිටීම නිසා ඒසා මහත් විපතෙදී නො සැලී සිටියාය. උරග ජාතකයෙහි දැක්වෙන පරිදි තම එකම පුතු මළ කල්හි මාපියන් දුක් නොවූ සැටි ද මෙහිලා සිහි කළ යුතුය. පි‍්‍රය ජනක අවිඥානක වස්තූ හා එක්වීම සැපයක් සේම, එයින් වෙන්වීම දුකෙකි. තමන් සීතල නොකැමැති විට සීතල ඇතිවීමත්, උෂ්ණය නො කැමැති විට උෂ්ණය ඇතිවීමත් දුක්ය. නොරුසනා කඳු හෙල් ගල් මුල් ආදිය ඇසුරට ලැබීමත් දුක්ය. එසේම පි‍්‍රය ජනක රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බයන් කැමැතිවීමත් ඒ පි‍්‍රය අරමුණු ලක් විට සැපයක් ලබන ලදැයි සොම්නස් වීමත් ස්වභාවයෙකි. තමන් රුචි නො කරන්නාවූ රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බයන් ලත් කල දුකට පත් වීමත් ස්වභාවයෙකි.

අට ලෝ දහමින් කෝකත් පැමිණියත් වෙනස් ගතියක් නොපා, මැදහත් ලෙස පවතින්නට හැකි තත්ත්වයක් උදාකර ගන්නට පිළිවන් පුද්ගලයාහට ඉවසා දරා ගත නො හැකි කිසිවක් නැත. ඔහුට හැමදාම හැම විටම සුව සේ විසිය හැකිය. ඔහුට සපුරාලිය නො හැකි ගුණ දහමක් ද නො මැත. හේ ඇතිතාක් ගුණදම් මත සැනැසිලිමත් ජීවිතයක් ගෙවා පරලොවේහි ද සුවපත්ව, නිවන් දක්නට ද සමත් වන්නේය.

0 comments (+add yours?)

Post a Comment