දස රාජ ධර්මය


තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ එක් ගාථා රත්නයක දක්වා තිබෙන්නේ මේ කය වහා බිඳී යන මැටි බඳුනක් ලෙස දැන මේ සිත වටිනා අලංකාර නගරයක් ලෙස රැකගත යුතු බවයි. එසේ සිදුකොට ප්‍රඥාව නමැති අසිපතෙන් පහර දී මේ සිත අවුල් කරන රාග, ද්වේෂ, මෝහා දී කෙළෙස් සතුරන්ගෙන් මනා ලෙස රැකගත යුතු බවයි. එසේ රැකගත් සිත ආරක්ෂා කරගත යුතු බවයි. නගරූපම සූත්‍රයේදී අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගොස්, සදා සැනසිලිදායක නිවනට පත්වීමට කැමැති, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු ධර්ම රාජ්‍යයක් ගොඩනගා ගත යුතු අන්දම මනා ලෙස උන්වහන්සේ විස්තර කර තිබේ. එමෙන්ම මංගල සූත්‍රයේදී උන්වහන්සේ දක්වා තිබෙන්නේ ධර්මයේ හැසිරීමට නම් පතිරූප දේශයක, එනම් ඊට උචිත පරිසරයක් ඇති රාජ්‍යයක වාසය කිරීම අත්‍යශව්‍ය බවයි.

පතිරූප දේශයක් ලෙස ගැනෙන්නේ සාමකාමී, සෞභාග්‍යවත් රාජ්‍යයකි. මෙහිලා එවැනි රාජ්‍යයක ස්වභාවය බුදුවදනට අනුකූලව විග්‍රහ කර ගැනීම අතිශයින් වැදගත් වනු ඇත. බුදුරදුන් දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය තුළින් මැනවින් දක්වා ඇති අන්දමට රාජ්‍ය බලය හැඳින්වෙන්නේ ‘ඉන්ද්‍රඛීලය’ ලෙසිනි. මේ උත්තරීතර වූ ‘රාජ්‍ය බලය’ , මුළු මහත් ලොව පුරා, ධාර්මිකව, පතුරුවා හරින බෞද්ධ පරමාදර්ශය සක්විති රජුය. චක්කවත්තී සීහනාද ආදී සූත්‍රයන්හි දැක්වෙන ලෙස මේ ධාර්මික සක්විති රජු සතුව සුවිශාල ඇත්, අස්, රිය, පාබල චතුරංගනි සේනාවක් පවතී. සප්තරත්නය පෙරටුව රාජ්‍ය කරන මේ සක්විති රජු වෙත මේ හමුදාවේ සියලුම අවශ්‍යතා සංතෘප්ත කොට ඔවුන් යහපත් මානසිකත්වයකින් තබා ගැනීමේ යුතුකම පැවරේ.

බෞද්ධ දේශපාලන දර්ශනයට අනුව දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් දෙසූ ලෙස තම රාජ්‍යයේ වෙසෙන සියලු සත්ත්වයින්ට ආරක්ෂාව, රැකවරණය සැලසීමට පාලකයා බැඳී සිටින අතර එය ඔහුගේ පරම යුතුකම වෙයි. ඒ උදෙසා මනා සන්නද්ධ බලයක් තිබිය යුතු අතර ඇතැම් සාමවාදීන් කියනා අයුරින් ‘නහී වේරේන වේරානී’ ධර්මය දේශනා කොට හමුදා විසුරුවන්නැයි බුදුරදුන් කිසිදු විටෙක රජුන්ට අනුශාසනා නොකළ සේක. දැහැමින් සෙමින් රාජ්‍ය පාලනයෙහි යෙදෙන මෙබඳු සක්විති රජෙකු, ‘කේතුමතී නගරය’ අගනුවර කොට රජකම් කරන කාලෙක අනාගතයේදී මෛත්‍රී සම්බුදුරජාණන්වහන�� �සේ පහළ වන බැව් අනාගත වංස දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ අනාවැකියක් දේශනා කොට ඇත .

මොනයම් හේතුවක් නිසා හෝ මේ ‘රාජ්‍ය බලය’ නම් ඉන්ද්‍රඛිලය බිඳ වැටුණහොත් ඒ හා සමඟම ඊට පහළ මට්ටමේ ඇති දස්සුඛීලය එනම් දාසයන්ගේ බලය නොඑසේ නම් සූත්‍ර අටුවාවේ කියැවෙන ලෙස චෞරයන්ගේ බලයෙහි නැඟීම ඇතිවේ. (දස්සු ඛීලයන්ති චෝර ඛීලං) අප රටේ පසුගිය කාලයේ පැවති තත්ත්වයට මෙය අදාළ කරගතහොත් රට තුළ ත්‍රස්තවාදී බලයේ නැඟීමෙන් පෙනී ගියේ ඉන්ද්‍රඛීලයේ, නොහොත් රාජ්‍ය බලයේ බිඳ වැටීම හා දස්සු ඛීලයේ නැඟීමයි.

මෙහිදී රජුගේ කාර්යභාරය සලකා බැලීම වැදගත් ය. අග්ගඤ්ඤ සූත්‍රයෙහි දක්වන ලෙස මහා සම්මතයෙන් තෝරාගත් රජුගේ කාර්යභාරය, ගර්භා කළ යුත්තන්ට ගර්භා කර, පිටුවහල් කළ යුත්තන් පිටුවහල් කර, දණ්ඩනය ක්‍රියාත්මක කර, සමාජයේ ‘’නීතිය හා සාමය” සුරක්ෂිත කිරීමයි. එසේ කළ යුත්තේ දසරාජ ධර්මයන් හි දස සක්විති වත් මත පිහිටාය. එනම් ධර්ම රාජ්‍යයක් තුළදී රජු ඉතා ධාර්මිකව, පරමාදර්ශී ආධ්‍යාත්මික ගුණ වගාවකින් හා නොකැළැල් පෞරුෂයකින් යුතු චරිතයක් වීම අතිශයින් වැදගත් ය. ‘යථා රාජා තථාපජා’ ජනතාව හැඩ ගැසෙන්නේ රජුට අනුකූලවය. ‘සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති’ නායකයා සෘජුව යන විට සියල්ලෝම සෘජුව යති. රාජ්‍ය පාලනය තුළ පහත සඳහන් දස රාජ ධර්මයන් හා දස සක්විතිවත් අන්තර්ගත විය යුතුය. මේ දසරාජ ධර්මයෝ ජාතක පාලියේදී තථාගත සම්මා සම්බුදුරජාණන් විසින් දේශනා කොට අනුදැන වදාළ සේක.

ඒවා නම්
1. දානය,
2. පරිත්‍යාගය,
3. ශීලය,
4. තපස,
5. අහිංසාව,
6. අක්‍රෝධය,
7. සෘජුභාවය,
8. මෘදුභාවය,
9. ඉවසීම,
10. අවිරෝධතාව යන ඒවාය.

දානය - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්‍රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.

පරිත්‍යාගය - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.

සීලය - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි.

මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.

තපස - ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ.

මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.

අවිහිංසාව - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.

කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.

අක්‍රෝධය - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි.

සෘජුභාවය - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි.

විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්‍රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.

මෘදුභාවය - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.

ඉවසීම (ක්ෂාන්තිය) - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.

අවිරෝධතාව - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

01. පවතින නීති නොකැඩීම, විශේෂයෙන් නීති සම්පාදනය කරන පාලකයන් හා නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් නීති නොඩකමින් ඒවා රැකගත යුතුය. නීති සම්පාදනය සදාචාරාත්මකව පංච ශීලය මත විය යුත්තේ ය. ශාසනයේ ආයුෂය විනය බවත්, රජයක ආයුෂය නීතිය බවත් බුදුරදුන් දක්වා ඇත. එහෙයින් දැහැමි පාලකයා සියල්ලටම ඉහළින් නීතිය රජ කරවිය යුතුවේ. නීතියේ අපක්ෂපාතිත්වය හා සාධාරණත්වය තහවුරු කරමින් එහි රැකවරණය සියල්ලන්ට සමව සැලැසිය යුතුය.

02. සමාජයේ සිටින වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතුය. ඔවුන්ගේ උපදෙස් ගරු කළ යුතුය.

03. සමාජයේ සිටින කාන්තාවන්ට මනා ආරක්ෂාව හා රැකවරණය සැළසිය යුතුවේ.

04. පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සිවුපසයෙන් සහ අනෙකුත් අවශ්‍ය උපස්ථාන කළ යුතුය. ඔවුන්ගේ් ධර්මානුශාසනා සැළකිල්ලට ගත යුතුය.

05. පවතින පූජනීය ස්ථානයන්ට රැකවරණය සැළසිය යුතුය.

06. රටේ පාලකයන් නිතර රැස්විය යුතුය.

07. රටේ පාලකයින් සමගිව රැස්වී සමගිව වැඩ කටයුතු කර සමගිව විසිර යා යුතුය. සමගිව රැස් වී කරන සාකච්ඡා වලින් බැසගන්නා නිගමන ක්‍රියාත්මක කිරීමට සමගිව පෙනී සිටිය යුතුය.

‘සමගිය බලය වේ’ යන්න අවිරෝධතා ගුණයේ හරයයි. බෞද්ධ ජාතක කථාවක දී වැද්දාගේ දැලට හසු වූ වටු කුරුල්ලන් ඉන් මිදුනේ සියල්ලන් එකතු වී දැල ඔසවාගෙන ගිය, සමගියේ මහිමයෙනි. පසු කලෙක විනාශ මුඛයට පත් වූයේ වාද විවාද වල පැටලී සමගිය බිඳ වැටීමෙනි. ‘නැඟී සිටිය හැකි එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී’ යැයි ගීයක කියැවෙන්නේ ද මේ සදාතනික දහමයි. ‘සමගිය’ රකින්නට නම් එකිනෙකා අනෙකාට මිතුරු සිතින් ගරු කළ යුතුමය. කෙළෙහි ගුණ නොදන්නා ගුණ මකුවන්, පාවා දෙන්නන් සිටිත්නම්, එබඳු තැනක සමගිය නොරැකේ. සියල්ලන් එකා වෙනුවෙනුත්, එකා සියල්ලන් වෙනුවෙනුත් කටයුතු කළ යුතුය.

තවද රාජ්‍ය පාලකයනට උපකාරී වන දස සක්විතිවත් මේවාය. (චක්කවත්තී සීහනාද සූත්‍රය - දීඝ නිකාය)

01. ධර්මය ඇසුරු කර ගනිමින්, ධර්මයම ගරු කොට ගනිමින්, ධර්මයම කොඩියක් කොට ගෙන, ධර්මයම අධිපතිබවෙහි තබා අඹුදරු ආදී අභ්‍යන්තර ජනයා පිළිබඳව,

02.ඒ අයුරින්ම අනුගත වෙසෙන ක්‍ෂත්‍රීය ජනයා පිළිබඳවද.

03. ඒ අයුරින්ම බ්‍රාහ්මණ ගෘහපති ජනයා පිළිබඳවද,

04. ඒ අයුරින් නියම් ගම් ජනපද වැසි ජනයා පිළිබඳවද

05. ඒ අයුරින් මහණ බමුණන් පිළිබඳවද

06. ඒ අයුරින්ම මෘග පක්ෂීන් පිළිබඳවද ධාර්මික රක්ෂාවරණ සැලසීම (මේ දහම අනුව යමින් පෙර දැහැමි සිංහල රජවරු මාඝාතය පනවා රටෙහි සතුන්මැරීම සපුරා තහනම් කළ අවස්ථාවන් මහාවංශයෙහි කියැවේ. ඒ අනුව හුදු මානව අයිතීන් නොව සියලු සත්ත්වයන්ගේ අයිතීන් සුරැකීමට බුදුදහම අනුබල දේ. බුදුදහම වඩාත් අනුබල දෙන්නේ තම අයිතීන් වෙනුවෙන් කේවල් කිරීමට නොව, නොපැකිළ තම යුතුකම් ඉටු කිරීමටය. සමාජයේ සියල්ලන් යුතුකම් මනාව ඉටු කරන්නේ නම්, අයිතීන් නිරායාසයෙන්ම සුරක්ෂිත වේ.

07. රට තුළ අදැහැමි ක්‍රියා නොසිදුවන ලෙසට කටයුතු යෙදීම

08. රටෙහි ධනය නොමැති අයට ධනය ලැබෙන පරිදි කටයුතු යෙදීම

09. සිත දියුණු කිරීමෙහි යෙදුණු, මදයෙන්, ප්‍රමාදයෙන් වැළකුණු මහණ බමුණන් වෙත කලින් කල එළඹ, යහපත අයහපත පිණිස හේතුවන කරුණු විමසා දැන ගැනීම

10. අකුසල් බැහැර කර කුසල් සමාදන්ව ඒ අනුව පැවතීම

මේ ලෙස දැහැමින් සෙමින් රට කරවන පාලකයන්ට, සම්දිටු දෙවියන්ගේ ආශිර්වාදයද ලැබී බාධා ජය ගත හැකිවේ. සප්ත අපරිහාණීය ධර්මයන්හිදී සමගියෙන් රැස්වන පාලකයින්ට එම රැස්වීමක් අතරමඟදී පිටව යා හැකි අවස්ථාවක් වශයෙන් දක්වා තිබෙන්නේ රාජ්‍යයෙහි සතුරු උවදුරක් පැන නැඟී ඇති විටෙකයි. එහිදී එම රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන්නවුන්ට රැස්වීම අතරවාරයේ වහා නැඟිට යා හැකි බව දැක්වේ. ඉන් හැඟෙන්නේ රාජ්‍ය පාලකයින් ආරක්ෂාව සම්බන්ධ අප්‍රමාදීව පියවර ගත යුතු බවයි. නොඑසේනම් සතුරු ආක්‍රමණයකදී හෝ ත්‍රස්තවාදී කැරැල්ලකදී සැඟව බියගුළුව පලායාම කිසිසේත් බුදුදහම අනුමත කරන්නේ නැත. ආක්‍රමණික හෝ ත්‍රස්තවාදී සතුරෙකු ඉදිරියේ සමාජයක් ලෙස යටත්වීම සිදුකළ හැකි නොවේ. ප්‍රශ්නය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි නම්, නොබා පෙරළා පහර දිය යුතුය. ජනතාවගේ අයිතිය නිදහස රැකගත යුතුය.

මේ හා බැඳි ගාථා ධර්මයක් අපවත්වී වදාළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් චිරචිත ‘බුද්ධ නීති සංග්‍රහය’ නමැති ග්‍රන්ථයේ 46 වන පිටෙහි 86 වන ගාථාව ලෙස සඳහන්ය. එම බුදුවදන මෙසේය.

86. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මෝන න සුභාසිතං නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සොච සබ්භි න රඤ්ජති (8 නි දීපී ජාතකය)

මෙම ගාථා ධර්මයේ සිංහල අර්ථය නාහිමියන් එම පොතෙහි මෙසේ සඳහන් කර ඇත. දුෂ්ඨයාට පරාක්‍රමයම යෙදිය යුතුව.

දුෂ්ඨයාට කාරණයක් නැත. ධර්මයක් නැත. යහපත් චචනයක් නැත. කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කතා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමයම යෙදිය යුතුය. පුරා අවුරුදු විසි පහකට අධික කාලයක් මෙරටෙහි පැවැති ම්ලේච්ඡ කොටි කුරිරු ත්‍රස්තවාදයට විසඳුම් සෙවීමේදී මෙම ගාථා ධර්මයේ අරුත මැනවින් දැක ගත හැකි විය.

එනම් ජනාධිපතිතුමන්ගේ අභීත සේනාධිනායකත්වයෙන�� �, ආරක්ෂක ලේකම්තුමන්ගේ මගපෙන්වීමෙන්, අප වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා එක්ව, අභීතව යුද වැද, ත්‍රස්තවාදය නිසි ප්‍රතිකාර මඟින් සුව කෙරුණි. ඒ උදෙසා මානුෂික නීතියට ගරු කරමින් නිසි යුදමය බලය යෙදවුණි. ඉන්ද්‍රඛීලය නැතිනම් රාජ්‍ය බලය නැවතත් තහවුරු කෙරුණි.

මේ සූත්‍රය අනුව යමින් දස්සුඛීලය මුලිනුපුටා දැමීමට නම් මූලික වශයෙන් සිදුකළ යුත්තේ සංවිධිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීමයි. ඒ තුළින් සංවර්ධනයේ ප්‍රතිලාභ සියල්ලන් අතර බෙදී යාමට සලස්වා සමාජ අසහනය පිටු දැකිය යුතු වෙයි.

කොළඹ සරසවියේ නීති පීඨයේ ලලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා විසින් මීට කලකට ඉහත බුදුසරණ පුවත්පතට සපයන ලද ලිපියකින් උපුටාගන්නා ලදි

0 comments (+add yours?)

Post a Comment