කාටත් සාධාරණ වූ කර්ම බලවේගය

කර්මය හා එය විපාකදීම පිළිබඳ සාකච්ඡා කිරීමේදී පළමුව කර්මය යනුවෙන් දේශනා කොට ඇත්තේ කුමක්ද කියා තේරුම් ගත යුතුය. කර්මය කුසල අකුසල යනුවෙන් දෙයාකාරය. අපගේ මනසේ ඇතිවන හොඳ හා නරක වශයෙන් චෛතසික පහළ වේ. ඒ අතර ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා අකුසල කර්ම වශයෙන්ද අලෝභ, අද්වේෂ, අමෝහ වැනි කුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා කුසල කර්ම වශයෙන්ද කෙටියෙන් හඳුන්වාදීමට පුළුවන. අකුසල කර්ම තුළින් දුක්ඛිත ආත්මත්, කුසල කර්ම තුළින් සුඛිත ආත්මත් ලබා දෙනු ඇත.

එහිදී කර්මය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සිත මූලික වන අයුරු වටහාගත යුතුය. එසේ වුවද එය විපාක දීමේදී එක අයුරින් සෑම කර්මයක්ම විපාක නොදෙනු ඇත. එහිදී විපාකදීම සම්බන්ධයෙන් කර්ම බල වේගය කොටස් 4කට බෙදෙනු ඇත. එනම්,

(1). දිට්ඨ ධම්ම වේදනීය කර්මය:- එනම් මේ ආත්මයේ කරන ලද කර්මයකට මෙහිදීම විපාක දීමයි. මේ ආත්මයේදී විපාක නොදුන්නොත් එය අහෝසි වෙයි. ඒක සාටක බමුණා, සුමන මාලාකාරයා වැනි අය කුසල කර්ම වල විපාක ලැබූහ. අද සමාජයේ වුවද මවුපියන්ට තාඩන පීඩන කරන, සතුන් මරන, නොයෙක් අකුසල කරන, අයට දිට්ඨධම්ම වේදනීය කර්ම විපාක ලබාදුන් අයුරු අප දැක ඇත්තෙමු. එසේ නොවේනම් තම දූ දරුවන්ට වුවද එහි විපාක ලබා දෙනු ඇත. තම සම්පත් වලට හෝ එම විපාකය ලැබෙනු ඇත.

(2). උප්පජ්ජ වේදනීය කර්මය:- එනම් දෙවන භවයේ විපාක දෙන කර්මයි. මෙසේ විපාක දෙනු ලබන්නේ කුසල පක්ෂයෙන් නම් අෂ්ට සමාපත්තිත් අකුසල පක්ෂයෙන් නම් පඤ්චානන්තරීය කර්මත් බව දක්වා තිබේ. නොපිරිහුණු ධ්‍යාන ඇත්තන් බඹලොව ඉපදීම ආනන්තරීය කර්ම කළ වුන් අපායෙහි ඉපදීම ද ඒකාන්තයෙන් වන්නේය. එක් සමාපත්තියකින් බඹලොව උපන් කල්හි අනික් සමාපත්ති අහෝසි කර්ම වේ.

(3). අපරාපරිය වේදනීය කර්මය:- එනම් කවදා හෝ කොතැනකදී හෝ විපාක දෙන කර්මයි. ඒ සම්බන්ධව ධම්ම පදයේ පාප වග්ගයේ 12 වෙනි ගාථාව ඉතා වැදගත් වේ.
න අන්තලික්ඛේ න සමුද්ද මජඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත්තට්ඨිතො මුඤ්ච්‍යෙ පාප කම්මා
එහි අදහස වන්නේ අහසේ සිටියත්, මහ මුහුද මැද සිටියත්, ගිරි ගුහාවක සැඟවී සිටියත් කර්ම විපාකයෙන් නිදහස් වීමට අපහසු වන බවයි. සුනීත, සෝපාක වැනි අය රහත් වූයේ එහි කුසල් පැත්ත දියුණු කිරීමෙනි. මුගලන් තෙරුන්, චක්ඛුපාල තෙරුන්, වැනි උතුමන්ට වුවද අකුසල විපාක විඳින්නට ලැබුණේද මෙම අපරාපරිය වේදනීය කර්මයට මුහුණ දීමට සිදු වීමෙනි.

(4). අහෝසි කර්මය:- දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම අහෝසි කර්ම බවට පත් වේ. අහෝසි කර්මවල ස්වභාවය වන්නේ තමන් කරන ලද කුසල කර්ම බලගතු නම් සුළු සුළු අකුසල කර්මවලට විපාක දීමට අවස්ථාවක් නොලැබීමය. උදාහරණයක් වශයෙන් අටමහා කුසල්වලට අයත් පළමු පින්කම වන කඨින චීවර පූජාවක් වැනි ඉතා බලගතු කුසල ක්‍රියාවක් සිදු කරගෙන ඇති කෙනෙකුට තමා අතින් සිදු වී ඇති සුළු සුළු අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් උදා නොවීමය.
කර්ම බලවේගය ගත් කල්හි එයට සාපේක්ෂව තවත් කරුණු 4ක් ඇත. සියල්ල කර්මයට බාර දීමට සිතන අය අවබෝධ කර ගත යුතු වන්නේ සියල්ල කර්මයෙන්ම සිදු නොවන ආකාරයයි. ඒවා නියාම ධර්ම වශයෙන් හඳුන්වා ඇත. ඒ අතර උතු නියාම වශයෙන් ඍතු වලට අනුව යම් යම් දේවල් සිදු වීමත්, බීජ නියාම වශයෙන් ගස් වැල් හා සත්වයින් විවිධ අයුරින් පෙනී සිටීමත්, චිත්ත නියාම වශයෙන් සිතේ ස්වභාවයට අනුව යම් යම් දේවල් සිදු වීමත්, ධම්ම නියාම වශයෙන් මේ ස්වභාව ධර්මයට අනුව යම් යම් දේවල් සිදු වීමත් දැක්වීමට පුළුවන. නමුදු අප තේරුම් ගත යුත්තේ නියාම ධර්ම අතරින් කර්ම නියාමයම බලවත් බවයි.
කර්මය විපාක දීම කාටත් පොදු වූ ධර්මතාවයක් බව බුදු දහමට අනුව අවබෝධ කර ගත යුතුය. බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන්ට ද එම කර්ම බලවේගයෙන් ගැලවීමට පුළුවන් කමක් නොලැබුණි. ඒ අතර බුද්ධ චරිතයේ සිදුවීම් දෙස අවධානය යොමු කිරීමෙන් ඒ පිළිබඳ හොඳින් අවබෝධ කර ගත හැකිය. බුදු රජාණන් වහන්සේට ජීවිතයේ යම් යම් අවස්ථාවල මුහුණ පාන්නට සිදු වූ සිදුවීම් වලටද කර්මය බලපා ඇත.
බුදුරජාණන් වහන්සේට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට හේතු වූ අකුසල කර්මය පිළිබඳ විමසීමේදී කාශ්‍යප බුදුරදුන් කල ජෝතිපාල නම් මානවකව ඉපිද සිටි කාලයේ දී කාශ්‍යප බුදුරදුන් දැක මේ මුඩු ශ්‍රමණයාට බුදු බව කොයින්ද එය පරම දුර්ලභ එකකැයි යනාදී වශයෙන් බැන වැදුන සේක. එහි විපාකයක් වශයෙන් අන්තිම ආත්ම භවයේදී සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට හේතු විය.
චිංචිමානවිකාවගෙන් බුදුරජාණන් වහන්සේට චෝදනා ලැබෙන්නට හේතු වූ අකුසල කර්මය වන්නේ පෙර අප බෝධිසත්වයන් වහන්සේ ශුද්‍ර කුලයක ඉපිද මුලානී නම් දූර්තයෙක්ව අප්‍රසිද්ධව වාසය කළේ ය. එකල්හි සුරභි නම් පසේ බුදුරජාණන් වහන්සේ යම් කිසි කාරණයක් සඳහා ඔහු වෙත පැමිණියේ ය. හෙතෙම පසේ බුදුරදුන් දැක මේ ශ්‍රමණයා දුස්සීලයෙකැයි ද පවිටු අදහස් ඇත්තෙකැයි ද යනාදී වශයෙන් බැන වැදුන සේක.
එහි විපාකයක් වශයෙන් අප බුදුරජාණන් වහන්සේට චිංචිමානවිකාවගේ චෝදනා වලට මුහුණ පෑමට සිදු විය. බුදු රජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් පෙළීමට හේතු වූ අකුසල කර්මය වූයේ පෙර අප බෝධිසත්වයන් වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක්ව උපන් සේක. හෙතෙමේ රෝගයකින් පෙළෙන සිටු පුත්‍රයෙකුට පිළියම් කරන්නේ පොරොන්දුව ඉටු නොවූ හෙයින් වෙනත් බෙහෙතක් ඔහුට දී වමන කළේය. එහි විපාකයක් වශයෙන් අප බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා නොහොත් ලේ අතීසාරය නම් රෝගය ඇති විය.
මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේත් විවිධ කර්ම විපාකවලට මුහුණ පෑවානම් පුහුදුන් වැසියාට එය සාමාන්‍ය දෙයකි. එය කර්ම බලවේගය මතම සිදු වන බව පැහැදිලි වේ. එසේ නම් බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේලාටත් කර්ම විපාක පොදුවේ බල පෑවානම් පුහුදුන් සාමාන්‍ය පුද්ගලයින් පිළිබඳ කවර කතාද, අද සමහර දෙනෙක් අකුසල් කර්ම රැස් කරන්නේ කවදාවත් විපාක නොදෙන ආකාරයෙන්ය.
රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළු සිතම දූෂිත කරගෙන එය ශාරීරික වශයෙන් ඔප් නංවාගෙන කර්ම රැස් කරනු ඇත. අකුසල් කිරීමේ දී එය මී පැණි සේ සිතුවද එය විපාක දීමේ දී ඇඬූ කඳුලින් යුක්තව විඳීමට සිදු වන බව අවබෝධ කර ගත යුතුය. එසේ සිතා අප නිරතුරුවම කුසල ක්‍රියා සිදු කිරීමටත් අකුසල ක්‍රියා නොකිරීමටත් වග බලාගත යුතුය. චේතනාවම කර්මය වන බැවින් චේතනාව පිරිසුදු කොට ගෙන දුර්ලභව ලැබූ මිනිසත් බව අර්ථවත් කර ගැනීමත් මෙලොව යහපත් කර ගැනීමටත්, පරලොව දුක් නැති කර ගැනීමටත්, එතැනින් නොනැවතී උතුම් නිවනින් සැනසීමටත් අප සියල්ලෝම අධිෂ්ඨාන කර ගනිමු.


ගලගෙදර රතනවංශ හිමි.
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී

මුදුන පිටුවෙන්

ප.ලී. : රේරුකානේ චන්දිවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයේ පිටු අංක 178 සිට 189 දක්වා කර්මය පිලිබඳව මෙයටත් වඩා පැහැදිලි ඉතාම හරවත් විස්තරයක් තිබේ.. එම පොතද පරිශීලනය කිරිමෙන් මේ පිලිබඳ පුලුල් අවබෝධයක් ලබාගත හැක.

1 comments (+add yours?)

Rasika nilantha said...

සාධු සාධු සාධු !!
ලොව සියලුසත්වයනට උතුම් චාතූරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ වේවා!!

Post a Comment