බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ (සක්වළ සක්මන)

පෙරට යාමත්, වීර්ය වැඩීමත්, නිරෝගී වීමත්, යථාවබෝධයත් හා චිත්ත ඒකාග්‍රතාවයත් ‘සක්මනේ අනුසස්’ වේ. එහෙයින්, දිනෙන් දින රටින් රට සිට “සක්වළ සක්මන” ට එක්වන ප්‍රඥාවන්තයෝ බොහෝ වැඩි වෙති. එනම්, සසරක් තුළ දකින සක්වළ අසිරිය, වසරක් තුළ අප ඔබට සමීප කරන බැවිනි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල, මහ නා හිමියෝ සියවස් සපිරි ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන සක්වළ සක්මනේ නමවැනි පියවරයි මේ.
මහනායක හාමුදුරුවනේ, ටෙලිපති ක්‍රියාවලියට අනුව, අපි මියගිය අය සිහිකර පින් දුන්නාම ඒවා ඔවුන්ට ලැබෙනවාද? 

නිවන් දැකපු, පිරිනිවන්පාපු උතුමන් හැර සෙසු මිය ගිය සියලු දෙනාම මේ විශ්වයේ කොහේ හෝ කුමන ස්වරුපයකින් හෝ සිටිය යුතුයි. එසේ චුත නොවී සසර සැරිසරන අය අරමුණුකොට ගෙන පුණ්‍යානුමෝදනා එක් කිරීමෙන් ඇතිවන චිත්ත (චේතනා) තරංග ශක්තියෙන් ඒවා ඔවුන් කරා ගමන් කරනවා. දැන් රූපවාහිනී සම්පේ‍්‍රෂණාගාරයකින් අවකාශයට එක් කළ තරංග, සැතපුම් දස දහස් ගණනාවක් දුර තියෙන රූපවාහිනි යන්ත්‍රවලට ඇසට පෙනෙන ද්‍රව්‍යමය (Wireless) සම්බන්ධයක් නොමැතිව ග්‍රහණය කරගනු ලබනවා. මෙවැනි අජීවි වස්තුවලට පවා අවකාශයට එක්කරන දුරස්ථ තරංග ග්‍රහණය වෙනවා. පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා කරා වුවද භෞතික තරංග ද්‍රව්‍යමය සම්බන්ධයකින් තොරව ගමන් කරනවා. මීටත් වඩා ඉතා සක්‍රීයව ආධ්‍යාත්මික තරංග විශ්වයේ ගමන් කරන බව නූතන පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා. හැබැයි සත්ව ආත්ම භාවවල (තිරිසන් යෝනිවල උපත ලැබූ) දිවිගෙවන අයට නම් පින් අනුමෝදන් වීම සක්‍රීය ලෙස සිදු වෙන්නේ නැහැ.පේ‍්‍රත , භූත, පිසාච කුම්භාණ්ඩ ආදි අමනුෂ්‍ය ආත්ම භාවවල පසුවන අයට සාපේක්‍ෂව එවැනි තිරිසන් ආත්මවල සිටින අය අතර ඇති කරන සන්නිවේදන ශක්‍යතාව ඉතාම අල්පයි. මෙවැනි දුරස්ථ සබැඳියාවන් හේතුවෙන් ඇතැම්විට, සම්පේ‍්‍රෂණ අවහිරතා හා බාධාවන් වැනි කාරණාවනුත් ඔය අතර තිබෙන්නට පුළුවන්. 

එතකොට, එක් එක් ආත්මභාවවල සත්වයන් ඉපදී මරණයට පත්වෙන්නේ කොහොමද?

  සත්වයින් කරන කියන කර්ම විපාකවලට අනුවයි විවිධ ආත්මභාවවල ඔවුන් උපත ලබන්නේ. තිරිසන් යෝනිවල විඳීය යුතු, පේ‍්‍රත විෂයෙහි විඳියයුතු දෙව් බඹලෝකවල විඳිය යුතු සහ මනුෂ්‍ය ලොව විඳිය යුතු ආදි වශයෙන් කර්ම විපාක පිළිබඳව දීර්ඝ ලෙස අංගුත්තර නිකායේ, දුක්ක චතුක්ක නිපාතවල විස්තර වෙනවා. මෙලෙස විවිධ ආත්මභාවවල උපත ලබන අයගේ ආයු කාලයන් තීරණය වෙන්නේත් , ඔවුන්ගේ කර්ම ශක්තිය අනුවයි. සාමාන්‍යයෙන් අප මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120 ක් යැයි කියනවා. නමුත්, අප හැමෝටම මේ ආයු කාලය ගත කරන්න බැහැ. කෙනෙකු මව්කුස තුල සිටින අවස්ථාවේදී මෙලොව එළිය නොදැකම මිය යනවා. තව කෙනෙකු ඉපදී මෙලොව එළිය දැක තත්පර, විනාඩි, පැය, දින සහ මාස කිහිපයක් ජීවත්වී මරණයට පත් වෙනවා. තවත් අය අවුරුදු ගණන් ජීවත් වෙනවා. අප ගෞතම බුදුරදුන්ගේ කාලයේ වැඩ සිටි ‘බක්කුල මහ රහතන් වහන්සේ’ අවුරුදු 160 ක් ආයු වැළඳුවා. අවුරුදු 120 ට වඩා ආයු වැළදු තවත් මහ තෙරණුවෝ පිළිබඳ විස්තර බුදුදහමේ දැක්වෙනවා. ඒ වුණාට අද දවසේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100 සීමාවට ඇවිත් තිබෙනවා. මෙහෙම ගිහිල්ලා මෛත්‍රි බුදුරදුන් පහළ වීමට කලින් මිනිසාගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙන කාලයක් ඉදිරියේදී උදාවෙනවා. පෙර භවයේ ණය ගෙවන බල්ලන්, බළලුන් ගොණුන්, බූරුවන් හා අලින් ආදී සතුන් ඇතුළු අවශේෂිත තිරිසන් සතුන්ගේ ආයුෂත් ක්‍රමයෙන් අඩු වෙමින් කල්ප විනාශයේදී ඔවුනුත් විනාශ වී යනවා. 

එහෙමනම් ,පේ‍්‍රත භූතාත්මවල ආයු කාලයන්හිත් යම් සීමාන්තික බවක් සිදුවිය හැකිද? 

නැහැ. මුගලන් තෙරුන් කළ වාර්තාවක් ඇසුරෙන් සකස් වූ “පේ‍්‍රතවත්ථු” නමින් ප්‍රධාන ග්‍රන්ථයක් ත්‍රිපිටකයේ තිබෙනවා. බුදුරදුන්ගේ අනුමැතිය ගෙන කළ බුද්ධ භාෂිතයක් බඳු මෙහි පේ‍්‍රතයන් පිළිබඳ බොහෝ විස්තර දැක්වෙනවා. මේ කොයි තැනකවත් පේ‍්‍රතාත්මවල ආයු කාලය පොදුවේ නිශ්චිතව මෙපමණයි කියා දක්වා නැහැ. එය තීරණය වෙන්නේ, ඔවුන්ගේ කර්ම විපාක අනුවයි. පාරාජිකා පාළියේ චතුත්ථ පාරාජිකාවෙහි මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් පිළිබඳව එන විවරණවල බොහෝ කාලයක් මිනිසුන්ට නොපෙනෙන ශරීරවල දුක්විඳිමින් සිටින පේත්‍රාත්ම විශාල ගණනක තොරතුරු අනාවරණය කෙරෙනවා. එලෙස දුක් විඳින කාලය ඇතැම්විට, කල්පවලින් පවා දැක්වෙනවා. කල්පයක් කියන්නේ, ගණන් කරන්න බැරි තරම් අති දීර්ඝ කාල පරාසයකටයි. කල්පය ගැන ඉදිරි කල්ප විග්‍රහයේදී ඔබට දැන ගත හැකියි.  

හොඳයි, බිම්බිසාර රජුගේ 8400 ක් ඥාති පේ‍්‍රතයන්ට කල්ප හතකටත් වඩා වැඩි කාලයක් දුක් විඳීමට සිදු වුණා නේද? 

 ඔව්. ඵුස්ස බුදුරදුන් දවස (අටවිසි බුදුවරුන්ගෙන් 21 වැන්නා) මහ සඟරුවනට වැළදීම සඳහා රජ මැඳුරේ සකස් කෙරෙන දානයන් සඟුන් වැළදීමට පෙර වරින් වර හොරෙන් අනුභව කිරීමේ හා දන්හලට ගිනි තැබීමේ මහා පාප කර්මය පළ දෙමින් ඔවුන් පේ‍්‍රතයන් වී උපන්නා. ඵුස්ස බුදුරදුන් වැඩ සිටි මධ්‍ය මණ්ඩ කල්පයේ සිට විපස්සි බුදුරදුන් (සාර කල්පය) සිඛී බුදුරදුන් (මණ්ඩ කල්පය) වෙස්සභූ බුදු රදුන් (මණ්ඩ කල්පය –ii) කකුසඳ බුදුරදුන් (මෙම මහ භද්‍ර කල්පයේ පළමු අනතඞ කල්පය) කෝණාගමන බුදුරදුන් (මේ මහා භද්‍ර කල්පයේ දෙවන අනතඞ කල්පය) සහ කාශ්‍යප බුදුරදුන් (මෙම අනතඞ කල්පයට පෙර පැවති අනතඞ කල්පය) මෙන්ම අප ගෞතම බුදුරදුන් දක්වා වූ බුද්ධාන්තර කල්ප හතක් ඇතුළු බුද්ධ ශූන්‍ය (එකඳු බුදුවරයෙකු හෝ පහළ නොවන) කල්ප ද පසු කරමින් එම කර්ම විපාකය ඔවුන්ට ගෙවීමට සිදු වුණා. වරක් කාශ්‍යප බුදුන් සමීපයට ගොස් එම කර්ම විපාකයෙන් තමන්ට මිදීමට අවශ්‍ය බව ඔවුන් සැලකර සිටි විට මීළඟ බුදුන් (සිද්ධාර්ථ ගෞතම) දවස සිය ඥාතී බිම්බිසාර රජු තම මියගිය ඤාතීන් අරමුණූ කොට දෙනු ලබන දානයේ අනුහසින් පේ‍්‍රතාත්මභාවයෙන් මිදීමට අවස්ථාව උදාවන බව කාශ්‍යප බුදුරදුන් දේශනා කොට තිබෙනවා. එම දානය දෙන දින උදාවන තුරු, දින ගණිමින් ඉතා දීර්ඝ කාලයක් දුක් විඳිමින් සිටි බිම්බිසාර රජුගේ සිය ඥාති පේ‍්‍රතයන් විවිධ අයුරින් පෙනී සිටිමින් රජුට එය දැන වීමට නොයෙක් උත්සාහ කෙරුවා. මේ පිළිබඳව අප බුදුරදුන් ගෙන් බිම්බිසාර රජු විමසා සිටීමෙන් අනතුරුව ඊට අවශ්‍ය කටයුතු යොදනු ලැබුවා.  
ඒ වුණාට ,අදටත් බටහිර රටවල තම මියගිය ඥාතීන්ට හා හිතවතුන්ට පින් අනුමෝදන් කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්නේ නැහැනේද? 

 ඔව්. එංගලන්තය ප්‍රමුඛ බොහෝ බටහිර රටවල පේ‍්‍රත, භූත දෝෂ අපේ රටවලට සාපේක්‍ෂව ඉතා වැඩි වශයෙන් වාර්තා වෙන්නේ මේ නිසා විය හැකියි.ඒ රටවල පේ‍්‍රත භූත කරදරවල තරම කොතරම්ද කියනවා නම්, ඇතැම් මන්දිර, මං මාවත්, පාසල් හා දේවස්ථාන පවා මේ නිසා වසා අතැහර දමා ජනශූන්‍ය වූ අවස්ථා පිළිබඳව අනන්තවත් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් වීදියේ, භූතයන්ගෙන් ශාස්ත්‍ර කියන ආයතනත් පවත්වා ගෙන යනවා.පේ‍්‍රත,භූත දෝෂ, කරදර ඇතුළත් බටහිර භූත නිකායේ සතිපතා පුවත්පත් හා සඟරා , වාර ප්‍රකාශන නිකුත්වෙනවා. බටහිර චිත්‍රපට නාට්‍ය කථාවලට පේ‍්‍රතාත්ම භූතාත්ම යොදා ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවීමටත් මෙවැනි කාරණා හේතුවිය හැකිය. එංගලන්තයේ මයිකල් ගොර්ස් නමැති ලේඛකයා මෙවැනි අත්භූ®ත භූත තොරතුරු දහසකට වඩා එකතු කොට පොතක් පවා පළ කර තිබෙනවා. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාත් ““World of Strange Powers”” සහ ““Mysteris From Atlantis to Zombies “ යන පර්යේෂණ ග්‍රන්ථ මගින් ලෝකයේ සිදු වූ සත්‍ය භූත සිදුවීම් රැසක් ඡායාරූප ඇසුරෙන් විග්‍රහ කර තිබෙනවා. ඒ වගේම දේව, යක්‍ෂ,පේ‍්‍රත හා අවතාර මේ සියලු මිය ගිය ආත්මභාව පොදුවේ භූතාත්ම වශයෙන් අපි හඳුන්වනවා.

 
සාකච්ඡා සටහන
චාමික මුණසිංහ
(B. A. (Hon), M. A.)

0 comments (+add yours?)

Post a Comment