මිගලුද්දක ප්‍රේත වස්තුව

කූඨාගාර ප්‍රාසාද වල දිගු ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දර විදිහට වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා.
ඒ රැය ගෙවී ගියාට පස්සේ හිරු උදාවෙනකොට ඔබව සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත් වෙනවා.
ඔබ විසින් කයෙන් වචකයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ?මොනවගේ කර්මයක විපාක නිසාද මේ වගේ දුකට පත් වුනේ?

“මං හිටියේ රජගහ නුවර ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ.
මං හිටියේ මුව වැද්දෙක් වෙලා. මං දරුණුයි. සංවරකමක් තිබුනේ නෑ. නමුත් මගේ යාළුවෙක් හිටියා හරි සුහදයි. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඒ භික්ෂුව මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වූවා.

‘ළමයෝ පව් විතරක් කරන්ට එපා! අපායේ යන්ට එපා!’ කියලා. මරණින් මත්තේ සැප ලබන්ට කැමති නම් ඔය දුස්සීල වූ ප්‍රාණවධයෙන් වෙන් වෙන්න.”

මගේ සැප කැමති, මා කෙරෙහි අනුකම්පා කරන ඒ භික්ෂුවගේ වචනය මං අහලා, ඒ සියළු අවවාද මං කලේ නෑ.

බොහෝ කාළයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුව මං හිටියේ.
ඒ මහා ප්‍රඥාවන්ත උපාසක තුමා ආයෙමත් මට අනුකම්පා කරලා සීල සංවරයෙහි මාව පිහිටෙව්වා.

‘ඉතින් නුඹ දවල් කාළයේ සතුන් මරනවා නම්, අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා! කියලා’

ඉතින් මං දවල් කාළයේ සතුන් මරලා රෑට සතුන් මැරීමෙන් වෙන්වෙලා සංවර වුනා.

ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙනවා. දවල්ට දුක් අනුභව කරනවා.
ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා, දවල්ට බල්ලන් බද්ධවෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කර ගෙන කනවා.

යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ සාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි.

Reply With Quote

0 comments (+add yours?)

Post a Comment