මරණාසන්න මොහොත උපන් මොහොතට වඩා වැදගත්
මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්.
අපි කවුරුත් මරණයට තැති ගන්නා පිරිසක් ලෝකයේ ජීවත්වන සැම ජීවියෙක්ම හැම මොහොතකම මරණ භයින් තැති ගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අදහන පිරිසක් හැටියට බෞද්ධයන් වන අප පමණක් නොව ලෝකයේ ජීවත්වන වෙනත් සෑම ආගමික භක්තිකයන් විතරක් නොවෙයි. කිසිදු ආගමක් අදහන්නේ නැති නිදහස් මත දරන වෙනත් ජන කොටස් පවා මරණය අත්දැකීමෙන් දැන හඳුනාගෙන ඒ කවුරුත් මරණයට භයෙන් ජීවත්වෙනවා. ඒනිසාම බුදුරජාණන් වහන්සේත් පැහැදිලිව දේශනා කරලා තිබෙනවා සියලු සත්වයෝ මරණයට භය වීම සාධාරණ දහමක් බව (සබ්බේ තසන්ති දණ්ඩස්ස) සබ්බේ භායන්ති මච්චුනො–) අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනා මරණය පිළිබඳ නිරන්තරයෙන් තැති ගෙන ජීවත්වෙනවා කියන මේ දහම පුහුදුන් අප සැම දෙනාටම රහසකුත් නොවේ.
▬▬▬▬▬ සිතිවිලිවලින් පෙළෙමින්
ඒ විතරකුත් නොවෙයි. මරණයට දැන් අප කිට්ටු වෙනවා. දැන් අප ලෙඩ රෝගවලින් පෙළෙනවා. වයසටත් දැන් ගිහිල්ලා කියා සිතන බොහෝ දෙනෙක් අපේක්ෂාවන් හෙවත් අසහනකාරි සිතිවිලිවලින් පෙළෙමින් දුක් විඳිනවා. මානසික වශයෙන් අසහනයට පත්වෙනවා. තමන්ගේ සිත්වල බලපවත්නා රාගාදි අකුසලයන් බහුල වශයෙන් ක්‍රියාත්මකවීම මෙයට හේතුවයි. ඉතාමත් බරපතළ ලෙස සමීපව ආදරයෙන් වෙළිලා අඹුසැමි ජීවිත ගත කරන අය තුළ මෙය වඩාත් දැඩි වෙන අවස්ථා තිබෙන්නට පුළුවනි. ධනවත්ව විශාල මිල මුදල්, රන් රිදී, මුතු මැණික් වැනි වස්තූන් ගොඩගසාගෙන ඒවාට ඇලුම්කරන අයටත් මෙය දැඩි ලෙස බලපානවා. කුමක්ද? කියනවා නම් මම මැරුණාට පස්සේ මේ ධනයට කුමක් වෙයිද, මේ මගේ ව්‍යාපාරයට මොනවා වෙයිද? මගේ ආදරබර භාර්යාව වෙනත් පුරුෂයෙකු හා හාද වී කම්සැප විඳියිද? මගේ දරුවන් මගේ ව්‍යාපාර කටයුතු කාබාසිනියා කර ගනිවීද? මේ වාගේ විවිධ විපරීත අදහස් ඇතිවන්නේ අප යම් යම් දේ පිළිබඳ දැඩි බලාපොරොත්තු ඇති කරගෙන ජීවත්වීම නිසයි. මෙය මානසික වෛද්‍යවරයෙකුගේ පැත්තෙන් බැලුවොත් මානසික රෝගී තත්වයක්. බුදුදහමේ එන කරුණු අනුව බැලුවොත් අප තවදුරටත් යම් යම් දේ පිළිබඳ දැඩි ලෙස අල්ලා ගැනීමක්. සසර දිග් වීමට හේතුවක්. ඇත්තෙන්ම මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්. ඒ වුණත් එම අදහස සිහිනයක් පමණක් වන්නේ අප ජීවත් වෙන හැම විටම ඇති කරගෙන තිබෙන බලාපොරොත්තු අපේක්ෂාවන් අප තුළ ගොඩක් තහවුරු වෙලා තිබෙන නිසයි.
▬▬▬▬▬ නකුල පිතා
මේ සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දවස සිදුවීමක් දැන් මතකයට නඟා ගනිමු. මෙයින් කියැවෙන්නේ නකුල පියා ගැනයි. නකුල පිතූ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයකුත් දේශනා කරලා තිබෙනවා. එමෙන්ම මේ නකුල පියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වන දිනයේදී ම නකුල මාතාවත් සමඟ එනම් තමන්ගේ ආදරණීය භාර්යාවත් සමඟම සෝවාන් ඵලයට පත් ධාර්මික උවසුවෙක්. මේ දෙපළම ඉතා හොඳ ධාර්මික අඹුසැමි ජීවිතයක් ගත කළ දෙදෙනෙක්. ඒ විතරක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කර ඇදහිය යුතු උපාසකයන් අතර නකුල පියා ශ්‍රේෂ්ඨතමයා බවට පත් කළ කෙනෙක්. පසු දිනක නකුලපියාගේ නිවසෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට මහා දානයක් පිළිගන්වා අනතුරුව එකත් පසෙකට වූ මේ උපාසකතුමන් නකුල උපාසිකාවන් දෙස යොමු වී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස,මේ කියන නකුල උපාසිකාව මගේ පි‍්‍රයභාර්යාව මා හා සරණ පාවාගත් දින සිට මේ භද්‍රයෞවනයෙහි සිටි මා මේ වනතුරු මනසින්වත් වෙනත් කාන්තාවක් පිළිබඳ කිසිදු හැඟීමක් ඇති වූයේ නැහැ. අප ඉදිරි භවයේදීත් ඔවුනොවුන් දැකීමට කැමැත්තෙන් ජීවත්වෙන්නෙ” මෙසේ තම භාර්යාව පිළිබඳ ආදරබර සබැඳියාව බුදුරජාණන් වහන්සේට මේ උපාසකතුමා පෙන්වා දුන්නා. නකුල මාතාවත් සෝවාන් ඵලයට පත් උපාසිකාවක් වුවත් නකුල පියාට ඒ කී ආකාරයෙන්ම මහත් වූ බැඳීමකින් තමයි විවාහ දිවිය ගෙව්වේ. එමෙන්ම මේ දෙපළම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ භක්තියකින් වගේම වරක් භේසකලා වනයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේට පළමු වරට දුටු අවස්ථාවේ සිට ම බුදුරජාණන් වහන්සේගේ දෙපා මතවැටී ඇඬු කඳුළින් වැඳ වැටුණේ තම දෙපළගේ දරුවෙකු යන හැඟීමෙන් බුදුරජාණන් වහන්සේට මහත් දරු සෙනෙහසක් පාමිනුයි. මේ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ මේ දෙපළගේ අතීත භවයන් මෙනෙහි කරන්නට වුණාම උන්වහන්සේට පෙනී ගියේ පෙරභවයන් ගණනාවක ම මේ දෙපළ තමන් වහන්සේට මව හෝ පියා වෙලාත් තවත් බාප්පා හෝ පුංචි අම්මා , මහප්පලා හෝ මහම්මා වෙලා සසර ඉපදී ඇති බවයි. මේ ආකාරයෙන් මේ සසර දීර්ඝ කාලයක් තුළ පැවැති මේ සෙනෙහස මේ භවයෙහිද තිබෙන ආකාරයයි. මේ නිසා මේ ශාසන ඉතිහාසයෙහි නකුල මවත් නකුල පියාත් සුවිශේෂ බෞද්ධ චරිත දෙකක් බවට පත්වෙනවා.
▬▬▬▬▬ නකුල මවගේ කලණමිතු ඔවදන්
ඒක එහෙම වුණත් සෝවාන් ඵලයට පත්ව සිටි මේ නකුල පියා මරණ මංචකයට වැටුණ අවස්ථාව උදා වුණා. අන්න ඒ අවස්ථාවේ බුද්ධිමත් වූ සැදැහැති සෝවාන් ඵලයෙහි ද පිහිටා සිටිය නකුල මාතාව තම ස්වාමිපුරුෂයාට කරන අවවාදය කොතරම් බුද්ධිමත් ලක්ෂණවලින් යුක්ත ද යන්න අපට පැහැදිලි වෙනවා.මේ අවවාද වලින් කියැවෙන අර්ථය අද දවසේ දහසකුත් බලාපොරෙත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන සසර කල් යවන අපට හුඟක් වැදගත් වෙනවා. දැඩිව රෝගීව මරණමංචකයට පත්ව සිටින තම ස්වාමිපුුරුෂයා ළඟට ඇය ගියේ තවත් ඇය ගැන වෙනත් රාගාශි‍්‍රත හැඟීමක්වත් තම පුරුෂයාට ඇති වුවහොත් එයද ඔහුගේ සසර දුක විඳීමට හේතුවන බව තේරුම් ගෙන බව අපට පේනවා.ඇය තම ස්වාමිපුරුෂයාට කියනවා පින්වත් ස්වාමීනි , නුඹ දැන් බොහොම අසාධ්‍ය තත්වයෙන් තමා පසුවන්නේ, අප හැම දෙනා වගේ නුඹත් මෙලොව අත්හැරදාලා පරලොව යනවා. ඒක කාටවත් වළක්වාලන්නටත් බැහැ. හැබැයි අප මිය යන අවස්ථාව වෙනකොට අප තවදුරටත් අපේක්ෂාවන් ඇති කරගෙන තෘෂ්ණාවෙන් හෝ වෙනත් අකුසල සිතිවිලිවලින් පෙළෙමින් කලුරිය කිරීම සසර දුක් ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා මොන විදියකින්වත් දැන් මේ භවයෙහිදී ඇලීම් බැඳීම් හා බලාපොරොත්තු ඇති කර ගන්න එක කොහොමත් සුදුසු දෙයක් නොවෙයි. මෙවැනි අවස්ථාවක නුඹට විවිධ සිතිවිලි ඇතිවෙන්නට පුළුවනි. නුඹට එන්නට ඉඩ තිබෙන සිතිවිලි මෙන්න මේ වගෙයි . ‘මම මියගියාට පස්සේ මගේ මේ භාර්යාව නකුල මාතාවට මේ දරුවන් ටික රැක බලාගෙන ඉදිරි කාලය ගත කරන්නට හැකියාවක් නැති වේවි. මට වගේ කපු කටින්නට එළුලොම් සපයා ගෙන ඒවායින් පලස් ආදිය කරලා ඒවා මිල කරලා යමක් උපයා ගන්නටත් නකුල මාතාවට නො හැකි වුණොත් අනේ,ඇය කොහොමද, මේ දරුවන් ටික රැකබලාගෙන ඇති දැඩි කරන්නේ කියා සිතේවි. කවදත් මගේ මේ භාර්යාව මා මිය ගියාට පස්සේ මෙච්චර කාලයක් එකට ආදරයෙන් බ්‍රහ්මචර්යාවද රකිමින් ජීවත් වූ වත් මා නැති නිසා මා වෙනත් පුරුෂයන් සොයා ගොස් සතුටු වේවි” කියා සිතලා ඒ ගැන කුකුසක් ඇති කරගන්නටත් එපා. එයත් සසරට මහ දුකක්. මා මේ වර්ෂ දාසයක සිට රැක්ක බ්‍රහ්මචරියාවේ කිසිදු වෙනසක් මොන විදියකින්වත් ඇතිවන්නේ නැහැ. තවත් නුඹට සිතෙයි. “මා මළපසු මේ නකුල මාතාව බුදුරජාණන් වහන්සේ දකින්නට නො යාවි, භික්ෂූන් වහන්සේලා දකින්නට විහාරයට නො යාවි” මෙහෙම සිතන්නටත් එපා. මම එතකොට වැඩියෙන් මත් විහාරස්ථානයට ගිහින් බුදුන් දකිනවා. මහා සංඝයා වහන්සේ දකිනවා. තවත් නුඹට සිතන්නට පුළුවනි. “මා මැරුණාට පස්සේ මේ මගේ නකුල මාතාව ශීලය මනාව නො රකියිද? එහෙම හිතන්නටත් එපා. මම මේ සුදුවත් දරමින් සිල් පුරන අනික් උපාසක උපාසිකාවන් වගේ නෙවෙයි. ඊට වඩා තරමක් වෙනස්ව මහත් සැලකිල්ලකින් සිල් ආරක්ෂා කරන තැනැත්තියක්. එහෙම නුඹට සැකයක් තිබෙනවා නම් අපි මේ ළඟ සුසුංමාරගිිරියෙහි භේසකලා වනයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගනිමු. තවත් හිතෙන්නට පුළුවනි.”මේ මගේ නකුල මාතාව මා මළ පසු සිතේ සමාධියක් ඇති කරගන්නට නො හැකිව දැන් මේ වෙනකොටත් තිබෙන චිත්ත සමථය පලුදු කර ගනීවි.ආධ්‍යාත්මය බිඳ වැටේවි” කියලා එහෙම හිතන්නට එපා. මමත් සේ සුදුවත් හැඳගෙන සිල් සමාදන් වෙලා චිත්ත සමථය ඇති කරගන්නට භාවනාවෙහි යෙදෙන අනිත් සිල් පූරණ භාවනා කරන උපාසක උපාසිකාවෝ වගේ නෙමෙයි. ඒ ගණයට දාලා හිතන්නට එපා. ඊට වඩා වෙනස් ආධ්‍යාත්මයක් තිබෙන කෙනෙක්. තවත් නුඹට සිතෙන්නට පුළුවනි. “මේ නකුල මාතාව ‘දැනටමත් ඇගේ දියුණු වී පවතින ධර්මවිනය පිහිට කොට මමය මාගේය කියන මේ දැකීමෙන් මිදිලා බුද්ධාදී උතුමන් ගැන නොබිඳෙන සැදැහැ ඇතිව ඒ කරුණු ගැන සැක හැරලා, වෙනත් පිහිටක්, වෙනත් දහමක් වැරදි ලෙස අදහන තත්වයකටවත් පත් වෙයිද?”කියා සිතාගන්නටත් පුළුවනි”.මේ විදියට ඔබ හිතලා සසර දුකක් කර ගන්න එපා. මම මේ දක්වා වැඩූ ආර්ය ගුණබලයෙන් ඔබට රෝගී තත්වය තරමක් යටපත් කරගෙන නැඟිට සිටින මට්ටමට සත්‍යක්‍රියා කරනවා කියා ඇය අධිෂ්ඨාන කළා. ඒ අවස්ථාවේ ඇයගේ ඒ සත්‍යක්‍රියාවෙන් නකුල පියා සයනයෙන් නැඟී සිටියා.
▬▬▬▬▬ බුදුරදුන් හමුවීම
මෙතෙක් ඇති වූ මේ සැක දුරු කර ගැනුමට බුදුරජාණන් වහන්සේ දකින්නට කතිකා කර ගෙන භේසකලා වනයට ගියේ බුදුරජාණන් වහන්සේ හමුවන්නටය, මෙසේ ගිය මේ දෙදෙනා මේ ගැටලුව උන්වහන්සේට ඉදිරිපත් කළ විට බුදුරජාණන් වහන්සේ වදාරනවා “නකුල පියාණෙනි,මේ නකුල මාතාව නුඹට ලැබුණේ නුඹේ මහත් වාසනා ගුණයක් නිසයි. නුඹට අනුකම්පාවෙන් ඔය ලබා දුන් අවවාද අදහා ගන්න. ඇය වෙනත් සුදුවත් හැඳගෙන සිල් පුරණ අය හා සමකරලා සිතන්න එපා. ඇය සුවිශේෂ උපාසිකාවක් කියලා. ඒ නිසයි නුඹට ලැබුණ මහත් ලාභයක් මේ නකුල මාතාව කියලා මම කියන්නේ.”
දැන් මේ කියපු නකුල මාතාව මිය යන්නට සූදානම් වන ස්වාමි පුරුෂයාට මොන තරම් කල්‍යාණ මිත්‍ර ගුණ ඇති තැනැත්තියක් වූවා දැයි සිතා බැලීමයි අපට වැදගත් වන්නේ. ඇය උතුම් භාර්යා ගුණ ඇති පුුරුෂයාට මාතුසම. එහෙම නැත්නම් මවක් වගේ, සඛීසම මිතුරියක් වගේ. දාසිසම, දාසියක් වගේ, භගිනිසම, සහෝදරියක් වගේ උතුම් ගුණ ඇති භාර්යාවක් නොවේද? මරණාසන්න අයෙකුට පහළ විය හැකි ඔවැනි සිතිවිලි අප ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඇති වෙලා අපේ සසර ගමනත් දිගුවන්නට පුළුවන් නිසා අප කවුරුත් බොහොම සීරුමාරුවෙන් පරිස්සමෙන් මෙම භවයෙහි සුවිශේෂ කල්‍යාණ මිත්‍ර භජනයට යොමුවීමේ වැදගත්කම මෙයින් හොඳට ම අපට පැහැදිලි වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
.
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
Source: https://www.facebook.com/muduna/
බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ (සක්වළ සක්මන)
මහනායක හාමුදුරුවනේ, ටෙලිපති ක්‍රියාවලියට අනුව, අපි මියගිය අය සිහිකර පින් දුන්නාම ඒවා ඔවුන්ට ලැබෙනවාද?
නිවන් දැකපු, පිරිනිවන්පාපු උතුමන් හැර සෙසු මිය ගිය සියලු දෙනාම මේ විශ්වයේ කොහේ හෝ කුමන ස්වරුපයකින් හෝ සිටිය යුතුයි. එසේ චුත නොවී සසර සැරිසරන අය අරමුණුකොට ගෙන පුණ්‍යානුමෝදනා එක් කිරීමෙන් ඇතිවන චිත්ත (චේතනා) තරංග ශක්තියෙන් ඒවා ඔවුන් කරා ගමන් කරනවා. දැන් රූපවාහිනී සම්පේ‍්‍රෂණාගාරයකින් අවකාශයට එක් කළ තරංග, සැතපුම් දස දහස් ගණනාවක් දුර තියෙන රූපවාහිනි යන්ත්‍රවලට ඇසට පෙනෙන ද්‍රව්‍යමය (Wireless) සම්බන්ධයක් නොමැතිව ග්‍රහණය කරගනු ලබනවා. මෙවැනි අජීවි වස්තුවලට පවා අවකාශයට එක්කරන දුරස්ථ තරංග ග්‍රහණය වෙනවා. පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා කරා වුවද භෞතික තරංග ද්‍රව්‍යමය සම්බන්ධයකින් තොරව ගමන් කරනවා. මීටත් වඩා ඉතා සක්‍රීයව ආධ්‍යාත්මික තරංග විශ්වයේ ගමන් කරන බව නූතන පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා. හැබැයි සත්ව ආත්ම භාවවල (තිරිසන් යෝනිවල උපත ලැබූ) දිවිගෙවන අයට නම් පින් අනුමෝදන් වීම සක්‍රීය ලෙස සිදු වෙන්නේ නැහැ.පේ‍්‍රත , භූත, පිසාච කුම්භාණ්ඩ ආදි අමනුෂ්‍ය ආත්ම භාවවල පසුවන අයට සාපේක්‍ෂව එවැනි තිරිසන් ආත්මවල සිටින අය අතර ඇති කරන සන්නිවේදන ශක්‍යතාව ඉතාම අල්පයි. මෙවැනි දුරස්ථ සබැඳියාවන් හේතුවෙන් ඇතැම්විට, සම්පේ‍්‍රෂණ අවහිරතා හා බාධාවන් වැනි කාරණාවනුත් ඔය අතර තිබෙන්නට පුළුවන්.
එතකොට, එක් එක් ආත්මභාවවල සත්වයන් ඉපදී මරණයට පත්වෙන්නේ කොහොමද?
සත්වයින් කරන කියන කර්ම විපාකවලට අනුවයි විවිධ ආත්මභාවවල ඔවුන් උපත ලබන්නේ. තිරිසන් යෝනිවල විඳීය යුතු, පේ‍්‍රත විෂයෙහි විඳියයුතු දෙව් බඹලෝකවල විඳිය යුතු සහ මනුෂ්‍ය ලොව විඳිය යුතු ආදි වශයෙන් කර්ම විපාක පිළිබඳව දීර්ඝ ලෙස අංගුත්තර නිකායේ, දුක්ක චතුක්ක නිපාතවල විස්තර වෙනවා. මෙලෙස විවිධ ආත්මභාවවල උපත ලබන අයගේ ආයු කාලයන් තීරණය වෙන්නේත් , ඔවුන්ගේ කර්ම ශක්තිය අනුවයි. සාමාන්‍යයෙන් අප මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120 ක් යැයි කියනවා. නමුත්, අප හැමෝටම මේ ආයු කාලය ගත කරන්න බැහැ. කෙනෙකු මව්කුස තුල සිටින අවස්ථාවේදී මෙලොව එළිය නොදැකම මිය යනවා. තව කෙනෙකු ඉපදී මෙලොව එළිය දැක තත්පර, විනාඩි, පැය, දින සහ මාස කිහිපයක් ජීවත්වී මරණයට පත් වෙනවා. තවත් අය අවුරුදු ගණන් ජීවත් වෙනවා. අප ගෞතම බුදුරදුන්ගේ කාලයේ වැඩ සිටි ‘බක්කුල මහ රහතන් වහන්සේ’ අවුරුදු 160 ක් ආයු වැළඳුවා. අවුරුදු 120 ට වඩා ආයු වැළදු තවත් මහ තෙරණුවෝ පිළිබඳ විස්තර බුදුදහමේ දැක්වෙනවා. ඒ වුණාට අද දවසේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100 සීමාවට ඇවිත් තිබෙනවා. මෙහෙම ගිහිල්ලා මෛත්‍රි බුදුරදුන් පහළ වීමට කලින් මිනිසාගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙන කාලයක් ඉදිරියේදී උදාවෙනවා. පෙර භවයේ ණය ගෙවන බල්ලන්, බළලුන් ගොණුන්, බූරුවන් හා අලින් ආදී සතුන් ඇතුළු අවශේෂිත තිරිසන් සතුන්ගේ ආයුෂත් ක්‍රමයෙන් අඩු වෙමින් කල්ප විනාශයේදී ඔවුනුත් විනාශ වී යනවා.
එහෙමනම් ,පේ‍්‍රත භූතාත්මවල ආයු කාලයන්හිත් යම් සීමාන්තික බවක් සිදුවිය හැකිද?
නැහැ. මුගලන් තෙරුන් කළ වාර්තාවක් ඇසුරෙන් සකස් වූ “පේ‍්‍රතවත්ථු” නමින් ප්‍රධාන ග්‍රන්ථයක් ත්‍රිපිටකයේ තිබෙනවා. බුදුරදුන්ගේ අනුමැතිය ගෙන කළ බුද්ධ භාෂිතයක් බඳු මෙහි පේ‍්‍රතයන් පිළිබඳ බොහෝ විස්තර දැක්වෙනවා. මේ කොයි තැනකවත් පේ‍්‍රතාත්මවල ආයු කාලය පොදුවේ නිශ්චිතව මෙපමණයි කියා දක්වා නැහැ. එය තීරණය වෙන්නේ, ඔවුන්ගේ කර්ම විපාක අනුවයි. පාරාජිකා පාළියේ චතුත්ථ පාරාජිකාවෙහි මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් පිළිබඳව එන විවරණවල බොහෝ කාලයක් මිනිසුන්ට නොපෙනෙන ශරීරවල දුක්විඳිමින් සිටින පේත්‍රාත්ම විශාල ගණනක තොරතුරු අනාවරණය කෙරෙනවා. එලෙස දුක් විඳින කාලය ඇතැම්විට, කල්පවලින් පවා දැක්වෙනවා. කල්පයක් කියන්නේ, ගණන් කරන්න බැරි තරම් අති දීර්ඝ කාල පරාසයකටයි. කල්පය ගැන ඉදිරි කල්ප විග්‍රහයේදී ඔබට දැන ගත හැකියි.
හොඳයි, බිම්බිසාර රජුගේ 8400 ක් ඥාති පේ‍්‍රතයන්ට කල්ප හතකටත් වඩා වැඩි කාලයක් දුක් විඳීමට සිදු වුණා නේද?
ඔව්. ඵුස්ස බුදුරදුන් දවස (අටවිසි බුදුවරුන්ගෙන් 21 වැන්නා) මහ සඟරුවනට වැළදීම සඳහා රජ මැඳුරේ සකස් කෙරෙන දානයන් සඟුන් වැළදීමට පෙර වරින් වර හොරෙන් අනුභව කිරීමේ හා දන්හලට ගිනි තැබීමේ මහා පාප කර්මය පළ දෙමින් ඔවුන් පේ‍්‍රතයන් වී උපන්නා. ඵුස්ස බුදුරදුන් වැඩ සිටි මධ්‍ය මණ්ඩ කල්පයේ සිට විපස්සි බුදුරදුන් (සාර කල්පය) සිඛී බුදුරදුන් (මණ්ඩ කල්පය) වෙස්සභූ බුදු රදුන් (මණ්ඩ කල්පය –ii) කකුසඳ බුදුරදුන් (මෙම මහ භද්‍ර කල්පයේ පළමු අනතඞ කල්පය) කෝණාගමන බුදුරදුන් (මේ මහා භද්‍ර කල්පයේ දෙවන අනතඞ කල්පය) සහ කාශ්‍යප බුදුරදුන් (මෙම අනතඞ කල්පයට පෙර පැවති අනතඞ කල්පය) මෙන්ම අප ගෞතම බුදුරදුන් දක්වා වූ බුද්ධාන්තර කල්ප හතක් ඇතුළු බුද්ධ ශූන්‍ය (එකඳු බුදුවරයෙකු හෝ පහළ නොවන) කල්ප ද පසු කරමින් එම කර්ම විපාකය ඔවුන්ට ගෙවීමට සිදු වුණා. වරක් කාශ්‍යප බුදුන් සමීපයට ගොස් එම කර්ම විපාකයෙන් තමන්ට මිදීමට අවශ්‍ය බව ඔවුන් සැලකර සිටි විට මීළඟ බුදුන් (සිද්ධාර්ථ ගෞතම) දවස සිය ඥාතී බිම්බිසාර රජු තම මියගිය ඤාතීන් අරමුණූ කොට දෙනු ලබන දානයේ අනුහසින් පේ‍්‍රතාත්මභාවයෙන් මිදීමට අවස්ථාව උදාවන බව කාශ්‍යප බුදුරදුන් දේශනා කොට තිබෙනවා. එම දානය දෙන දින උදාවන තුරු, දින ගණිමින් ඉතා දීර්ඝ කාලයක් දුක් විඳිමින් සිටි බිම්බිසාර රජුගේ සිය ඥාති පේ‍්‍රතයන් විවිධ අයුරින් පෙනී සිටිමින් රජුට එය දැන වීමට නොයෙක් උත්සාහ කෙරුවා. මේ පිළිබඳව අප බුදුරදුන් ගෙන් බිම්බිසාර රජු විමසා සිටීමෙන් අනතුරුව ඊට අවශ්‍ය කටයුතු යොදනු ලැබුවා.
ඒ වුණාට ,අදටත් බටහිර රටවල තම මියගිය ඥාතීන්ට හා හිතවතුන්ට පින් අනුමෝදන් කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්නේ නැහැනේද?
ඔව්. එංගලන්තය ප්‍රමුඛ බොහෝ බටහිර රටවල පේ‍්‍රත, භූත දෝෂ අපේ රටවලට සාපේක්‍ෂව ඉතා වැඩි වශයෙන් වාර්තා වෙන්නේ මේ නිසා විය හැකියි.ඒ රටවල පේ‍්‍රත භූත කරදරවල තරම කොතරම්ද කියනවා නම්, ඇතැම් මන්දිර, මං මාවත්, පාසල් හා දේවස්ථාන පවා මේ නිසා වසා අතැහර දමා ජනශූන්‍ය වූ අවස්ථා පිළිබඳව අනන්තවත් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් වීදියේ, භූතයන්ගෙන් ශාස්ත්‍ර කියන ආයතනත් පවත්වා ගෙන යනවා.පේ‍්‍රත,භූත දෝෂ, කරදර ඇතුළත් බටහිර භූත නිකායේ සතිපතා පුවත්පත් හා සඟරා , වාර ප්‍රකාශන නිකුත්වෙනවා. බටහිර චිත්‍රපට නාට්‍ය කථාවලට පේ‍්‍රතාත්ම භූතාත්ම යොදා ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවීමටත් මෙවැනි කාරණා හේතුවිය හැකිය. එංගලන්තයේ මයිකල් ගොර්ස් නමැති ලේඛකයා මෙවැනි අත්භූ®ත භූත තොරතුරු දහසකට වඩා එකතු කොට පොතක් පවා පළ කර තිබෙනවා. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාත් ““World of Strange Powers”” සහ ““Mysteris From Atlantis to Zombies “ යන පර්යේෂණ ග්‍රන්ථ මගින් ලෝකයේ සිදු වූ සත්‍ය භූත සිදුවීම් රැසක් ඡායාරූප ඇසුරෙන් විග්‍රහ කර තිබෙනවා. ඒ වගේම දේව, යක්‍ෂ,පේ‍්‍රත හා අවතාර මේ සියලු මිය ගිය ආත්මභාව පොදුවේ භූතාත්ම වශයෙන් අපි හඳුන්වනවා.
සාකච්ඡා සටහන
චාමික මුණසිංහ
(B. A. (Hon), M. A.)
ආලෝකයේ වේගය හඹා යාම (සක්වළ සක්මන)
ජීවීන් බිහිවන සතර යෝනි, එම ශරීරවල ස්වභාවයන්, සුවාසූ ධර්මස්කන්ධයන් සහ ආලෝකයේ වේගය අතික්‍රමනය වීම මෙන්ම නිවහල් ජීවනාලෝකය මෙවර “සක්වළ සක්මනේ” විෂය පථය වේ. බුදු ඇසෙත්, විදු ඇසෙත් අසිරිය විනි විද දකින අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ ඤාණාලෝකයෙන් ඔබ රැගෙන යන සක්වළ සක්මනේ හයවැනි පියවරයි මේ, මහ නායක හාමුදුරුවනේ, වෙනත් ලෝකවල ජීවීන්ගේ, පහළ වීම කොහොමද සිදු වෙන්නෙ ?
ඒ, ඒ ජීව ලෝකවල පවතින ස්වභාවයන්ට අනුගතවයි, ජීවීන්ගේ පහළ වීම සිදුවෙන්නේ. දැන් අපි ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ වුණත් එකම විධියට ජීවීන් හට ගන්නේ නැහැනේ. වරක් අපේ බුදු හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට ජීවීන් උපදින සතර යෝනී පිළිබඳව විස්තර කර තිබෙනවා. එනම්, බිත්තර (අණ්ඩජ යෝනි) වලින් උපදින ජීවීන්, වැදෑමහ (ජලාබුජ යෝනි) මව්කුස ඇසුරෙන් උපදින සත්වයින්, අපද්‍රව්‍ය - තෙතමනය (සංසෙදජ යෝනි) ආශි‍්‍රතව උපදින ජීවීන් සහ අඟ පසඟ සහිතව (වැඩී) පහළ වන සත්වයින් වශයෙනුයි. කළල රූපයක් ක්‍රමිකව වැඩීමකින් තොරව ඕපපාතිකව පහළ වන ජීවී කොටස් ද මෙලෙස විවිධ ලෝකවල වෙසෙනවා.
ඒ වුණත්, භෞතික විද්‍යා ඉගැන්වීම්වලට අනුව ස්ත්‍රී, පුරුෂ සම්යෝගයක් නැතිව ප්‍රමාණාත්මක ඇසට පෙනෙන ජීවීන් හට ගන්නේ නැහැ නේද?
ඔබ ඔය කියන න්‍යායන් සක්වළ ධර්මතාවලට පටහැනියි. දැන් බලන්න, කෙකනියන් ගැබ් ගන්නේ කොහොමද කියලා. මේඝ (වැසි) ගර්ජනා හඬටයි, උන් ගැබ් ගන්නේ. ඔවුන් අතර ස්ත්‍රී වර්ගයේ සත්වයින් හැර ඔබ කියන අන්දමේ පුරුෂ වර්ගයේ සත්වයින් සමග සංවාසයක් සිදුවන්නේ නැහැ. නමුත් සොබා දහමත් සමග බැඳුනු කෙකනියනුත් (බලාක යෝනියෙහි) ගැබ් ගන්නවා. මේඝ ගර්ජනා නැතිවුණ අහසක් මතු කාලයක නිර්මාණය වුණොත් පමණයි, කෙකනියන්ගේ ගැබ් ගැනීම නතර වෙන්නේ. එතෙක් පුරුෂ සත්වයන් නැතත් කෙකනියන්ගේ ගැබ් ගැනීම සිදු වෙනවා.
එතකොට, ඕපපාතිකව උපදින්නේ, මොන වගේ සත්ව විශේෂද?
බොහෝ විට එහෙම පහළ වෙන්නේ ඉතා සූක්‍ෂම ප්‍රමාණවල ශරීර කොටස් ඇති සත්ව විශේෂයි. නිරා සතුන් සහ භූත, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩාදී අමනුෂ්‍යයින් වගේම දේව, බ්‍රහ්ම කොට්ඨාසත් මේ ගණයට අයත් වෙනවා. දෙවිවරුන්ගේ මෙම ඕපපාතිකව පහළ වීම පිළිබඳව ‘සංයුක්ත අට්ඨ කථාවල’ මෙන්ම ‘යෝගාචාරභූමි’ වැනි පුරාතන ග්‍රන්ථවලද විස්තර කර තිබෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල දෙවි බඹුන්ගේ පහළවීම් පිළිබඳව දැක්වෙනවා. විශේෂයෙන් දිව්‍ය ශරීරවල සියුම් (සූක්‍ෂම) බව අංගුත්තර නිකායේ ‘සමචිත්ත’ සහ ‘හත්ථක’ වැනි සූත්‍රවල විස්තර කෙරෙනවා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ ‘කේවට්ට සූත්‍රයෙන්’ බ්‍රහ්ම කායික ලෝකවල සියුම් ශරීර පිළිබඳවත් දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා.
මෙවැනි සියුම් ශරීර ඇති ජීව ලෝක දැක ගැනීමට කුමන අන්දමේ ඤාණ ගවේෂණයක් අවශ්‍ය වෙනවාද?
දෙව්, බඹුන් දැක ගන්නට නම් අෂ්ට ඤාණය ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ, දිබ්බචක්ඛු, ඉද්ධිවිධ, චෙතොපරිය, යථාකම්මූපග, අනාගත, පච්චුප්පන්න, අතීත, පුබ්බේනිවාසානුස්සති යන ඤාණ අටයි. අපේ බුදුහාමුදුරුවන්ට තවත් ඤාණ සම්භාරයක් ඇතුළු අෂ්ට පරිවත්ත අධි දේව ඥානය පවා තිබූ බව සඳහන් වෙනවා. මේ නිසායි, බුදු රදුන් හැරුණු කොට සෘද්ධිමතුන් අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ සහ දිබ්බචක්ඛු ඤාණාලාභීන්ගෙන් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ වැනි මහ රහතන් වහන්සේ කිහිප නමක් පමණක් දෙව්, බඹුන් සමග සමීපව කටයුතු කර තිබෙන්නේ.
එසේ නම් බුදුරදුන්ගේ මහා ඤාණ සම්භාරය සුවාසු දහසක් ධර්මස්කන්ධයකට සීමා වුණේ ඇයි?
පන්සාලිස් (හතළිස් පස්) වසරක් තුළ විනය පිටකය 21, 000 ක්, සූත්‍ර පිටකය 21, 000 ක් හා අභිධර්ම පිටකය 42, 000 ක් වශයෙන් ඔබ කියපු පරිදි සුවාසූ (84,000) දහසක ධර්මස්කන්ධයක් දේශනා කොට වදාරා තිබෙනවා. සත්වයන්ට සසරින් එතර වෙන්න, මේ ධර්මස්කන්ධය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වෙනවා. නමුත්, උන්වහන්සේ සතු දැනුම හා දැක්ම ඊටත් වඩා බොහොම වැඩියි. ඒ බව සංයුක්ත නිකායේ, සිංසපා සූත්‍රයෙන් මෙසේ විස්තර කෙරෙනවා. දවසක් බුදු හාමුදුරුවෝ මහා සංඝයා පිරිවරා ගෙන වන පෙදෙසක් මැදින් චාරිකාවේ නිරත වන අතර ඇට්ටේරියා ගසක් යට විවේක සුවයෙන් වැඩ සිටි සේක. එවිට එම ගසින් බිම වැටී තිබුණ කොළ මිටියක් බුදුරදුන් අතට ගෙන මෙහෙම විමසනු ලැබුවා. ‘මහණෙනි, මේ මගේ අතේ තිබෙන කොළද වැඩි නැති නම් මේ ගසේ තිබෙන කොළ ද වඩා වැඩි’ යනුවෙන් එවිට නොපැකිලිව මහා සංඝයා ‘ගසේ කොළ ඉතා වැඩි’ යැයි තථාගතයන් වහන්සේට පිළිතුරු දී සිටියා. ඉන් පසු බුදුහාමුදුරුවෝ විසින් ‘මහෙණනි මේ ගහේ කොළ ද වැඩි, නැතිනම් මේ වනයේ කොළ ද වඩා වැඩි’ යනුවෙන් නැවතත් විමසනු ලැබුවා. එවිටත් මහා සංඝයා ‘වනයේ කොළ ඉතා ම වැඩි’යි යනුවෙන් පිළිතුරු දුන්නා. ඉනික්බිතිව, එලෙසම ‘මහණෙනි, බුදුවරු දැනගත් ධර්මය මේ වනයේ ඇති කොළ තරම් බොහෝ වැඩි බවත්, බුදුරදුන් ලොවට දේශනා කොට වදාළේ අතේ ඇති කොළ මිට මෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් විස්තර කර තිබෙනවා. ඉන් පැහැදිලි වෙනවා, බුදුරදුන් දේශනා නොකළ ධර්මය එම වනයේ කොළ තරම් ඉතා වැඩි බව. උන්වහන්සේ එසේ කළේ, ලොව්තුරා සම්මා සම්බුදු කෙනෙකු සාර සංඛ්‍යෙ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් සම්පූර්ණ කරමින් අවබෝධ කර ගත් මහා ධර්මස්කන්ධය ලෝකයාට විෂය නොවනු නිසා විය යුතුයි.
එය එකළ පැවති භක්තිවාදී බමුණු සමාජයට විෂය නොවුණත්, නවීන විද්‍යාවේ දියුණුවෙන් කෙළ පැමිණි නූතන සමාජයට නම් විෂය විය හැකියි නේද?
අදටත් භක්තිවාදී අන්තවාදී මිථ්‍යා ආගම් අදහන අන්ධ ලබ්ධිකයින්ගෙනුයි ලෝකය පිරී පවතින්නේ. නවීන විද්‍යාත්මක කැමරා උපකරණවලට ඉඳහිට දේවතා එළි හා විවිධ ආලෝක දහරාවන් සටහන් වුණාට, ඒවායේ සූක්‍ෂම භාවයන් අවබෝධ කර ගැනීමට තරම් විඥානය දියුණු කර ගෙන නැහැ. නවීන විද්‍යාවෙන් නිරූපණය වෙන්නේ, භෞතික හා යාන්ත්‍රික ඡායා දැක්මක්. නමුත්, අධ්‍යාත්මික සූපසන් දැක්මකුයි, බුදුදහමේ දැක්වෙන්නේ. විද්‍යා (ඉජඪඥදජඥ) යන වදන, බුදුදහමේ විස්තර වෙන්නේ, ‘විජ්ජා’ යනුවෙන්. බුදු දහමට අනුව ‘විජ්ජා උදපාදී’ කියන්නේ නිවැරදිව යමක් අවබෝධ කර ගැනීමටයි. නමුත් නවීන විද්‍යාවෙන් අද නිගමනය කරන හුඟක් දේවල් හෙට දවස වන විට වෙනස් වෙනවා. ඒ දේවල් පිළිබඳව නිවැරැදිව අවබෝධ කර නොගැනීම නිසායි, ඒවා කලින් කලට වෙනස් වෙන්නේ. මේ නිසා අද තියෙන්නෙත්, අවිද්‍යාව හෙවත් අනවබෝධය පිරුණු භෞතික සමාජයකුයි.
මහා විද්‍යාඥ, සාපේක්‍ෂතාවාදයේ පියා වූ ඇල්බට් අයින්ස්ටයින්ටත් වැරදුණේ මේ නිසා ද?
ඔව්, එතුමා සාපේක්‍ෂතා වාදයෙන් ලොවට අනාවරණය කළ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් සක්වළ පවතින කිනම් වස්තුවකට හෝ ගමන් කළ නොහැකිය යන අදහස පවා අද වන විට අභියෝගය ලක් වී තිබෙනවා. ලොව පිළිගත් විශිෂ්ටතම විද්‍යාත්මක නිගමනයත් වසර සියය (100) ක් ගත වීමට පෙර වෙනස් වුණා නම්, අනෙකුත් විද්‍යාත්මක නිගමන පිළිබඳ ඉතින් කවර කථා ද? ජිනීවාහි විද්‍යාඥයන් පිරිසක් කළ විස්මය ජනක සොයා ගැනීමකට අනුව, ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. මහාචාර්ය ජෙනී තෝමස් පවසන පරිදි මෙම සොයා ගැනීම නිසා භෞතික විද්‍යාවේ මූලික තේරුම් ගැනීම පමණක් නොව සක්වළ තේරුම් ගැනීමද ගැටලුවක් වී තිබෙනවා. ‘ඒක හරියට මේ සක්වළේ හැමදේම ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්. ඒ ගැන හිතන කොටත් ඔලුව අවුල් වෙනවා වගෙයි’ යනුවෙන් ඇය (මහාචාර්ය ජෙනී) විදෙස් මාධ්‍යයන්ට පවසා තිබුණා.
එහෙනම් විද්‍යාවේ නිගමන වලින් ඔලුව අවුල් නොවීමට නම්, බුදු දහමෙන් දෙන උපදේශය කුමක්ද?
ඔව්, ‘විජ්ජා චරණ සම්පන්නෝ’ යන ගාථා පාඨයෙන්ම ‘විද්‍යාව හා චරණ ධර්ම’ පිළිබඳව විස්තර කෙරෙනවා. බුදුරදුන් සොයා ගත්තා වූ සෑම දෙයක් සමඟම හැසිරීම් රටාවක් සහ චර්යාධර්ම පද්ධතියකුත් නිර්දේශ කර තිබෙනවා. එමගින් මිනිසාගේ සිතට ආධ්‍යාත්මික සුවයක් කැඳවනවා. මේ නිසා එම අවබෝධයෙන් මිනිසාට හෝ පරිසරයට හෝ විපතක්, අනර්ථයක් සිදු වෙන්නේ නැහැ. ලෝකයේ ස්වභාවය මේ බඹයක් පමණ වූ ශරීරය තුළින් අවබෝධ කරගත හැකි බවත්, එහි ලොව ඇති සියලු ධාතු කොටස් දැක ගත හැකි බවත් අංගුත්තර නිකායේ, චතුක්ත නිපාතයේ බුදුරදුන් විස්තර කර තිබෙනවා. එබැවින් බඹයක් පමණ වූ ශරීර කොටස්වලින් යුතු තමා, තමන්වම නිවැරදිව දැක ගැනීම ලෝකය දැකීමක් වැනිය යන්න එම බුද්ධ දේශනාවෙන් මොනවාට පැහැදිලි කෙරෙනවා.
අග්ග මහා පණ්ඩිත,
ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි
සාකච්ඡා සටහන
චාමික මුණසිංහ (B. A. (Hon), M. A.)
Twitter
Facebook
Flickr
RSS
