Showing posts with label අපාය ගැන විස්තරයක්. Show all posts
Showing posts with label අපාය ගැන විස්තරයක්. Show all posts

ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව - ඉඳුරන්හි අනියත බව

වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේŠ - 01-15-2014, 02:31 PM


~ අද වැනි දිනක දෙසු ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව - ඉඳුරන්හි අනියත බව ~

තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ සේක. අවිද්‍යාන්ධකාරයෙහි ගැලී වාසය කරන පෘථග්ජන සත්ත්වයාට සසර කතරින් එතෙරවීම උදෙසා ඒ ශ්‍රී සද්ධර්මය අමෘතයක් බඳු විය. උරුවේල කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන් දමනය කොට
උතුම් රහත්ඵලයෙහි පිහිටුවීම උදෙසා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව වූයේ ආදිත්ත පරියාය සූත්‍රයයි.

සත්ත්වයෙකු සිත හා කය යන කොටස් දෙකින් යුක්තය. සිත උපකාර කොට කයත්, කය උපකාරක කොට සිතත් පවතී. කයට කිසිදු දැනුමක් නොමැති නිසාවෙන් හුදකලාව කිසිදු කාර්යයක් සිදුකළ නොහැකිය. කයින් සිත පහවූ කල කය නිශ්චලය. සෑම ක්‍රියාවක් උදෙසාම උපකාරක වන්නේ සිතය. (මනෝ පුබ්බංග මාධම්මා) කය වූ කලි සිතට වාසස්ථානයකි. කයෙහි තිබෙන්නා වූ විවිධ උපකරණයන්ගෙන් විවිධ ක්‍රියා සිදුකරනු ලබයි. ඇස නමැති උපකරණයෙන් බලනු ලබන අතර රූප දකී. කන නමැති උපකරණයෙන් ඇසීම සිදුකරයි. නාසය නමැති උපකරණයෙන් ගඳ සුවඳ දැන ගනී. දිව නමැති උපකරණයෙන් රස විඳී. කය නමැති උපකරණයෙන් පහස ලබයි. මේ ආකාරයට කයෙහි පිහිටි ඉන්ද්‍රියයන් ක්‍රියා කරමින් අරමුණ ලබාගනිමින් ඊට අනුරූප කුසල අකුසල ක්‍රියාවන් සිදුකරනු ලබයි.


මේ අයුරින් අනන්ත භව සංසාරේදී ඉන්ද්‍රිය මගින් ලබාගන්නා අරමුණු ඔස්සේ ක්‍රියාකරමින් ඇලෙමින්, ගැටෙමින් උපේක්‍ෂාවෙන් විදීම් ඇතිකරගෙන දීර්ඝ ගමනක යෙදී වාසය කරනු ලබයි. කයෙහි පවත්නා වූ මෙම උපකරණ නම් වූ ඉන්ද්‍රියයන් හේතුකොට ගෙන සත්ත්වයා පේ‍්‍රත, තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකකට පත්කොට දුක්වේදනා විඳීමට සලස්වනු ලබයි. නොමැති නම්, එසේ දුක ඉපඳවීමට උපස්ථම්භක වූ ඉන්ද්‍රියෝ විසින්ම දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම යන සුගති භූමියකට පත්කොට අප්‍රමාණ සැප විඳීමටද සලස්වනු ලබයි. ඒ අනුව සත්ත්වයාගේ භව ගමනට මාර්ගය සකස් කිරීම උදෙසා ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යන ඉන්ද්‍රියෝ ප්‍රමුඛතම වන්නාහ.


බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදී මෙසේ වූ ඉන්ද්‍රියන් දෙස බැලිය යුතු ආකාරය, නුවණින් ක්‍රියා කළ යුතු අයුරු මනාව පැහැදිලි කොට වදාළ සේක.


“මහණෙනි, ආදිත්ත පරියාය නම් වූ දහම්නය දේශනා කරමි. මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙන් චක්ඛු ඉන්ද්‍රිය පිරිමදින ලද්දේ මැනවි. එනම්, ඉතා දරුණු වේදනාවක් විඳීමින් ඇස රත්වූ යකඩයකින් පිරිමැදීම සුදුසුවෙත්, නමුදු ඇසින් දකින රූපයෙහි නිමිති වශයෙන් ගෙන බැඳීමක්, ඇලීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. ඇස නිමිති කොටගෙන ලබන ලද්දාවූ රූපයට බැඳීමෙන් වාසය කොට එම නිමිත්තෙන්ම මරණය සිදුවුවහොත් එම කර්ම විඥානය හේතුකොටගෙන මරණයෙන් පසු නරකයෙහි, තිරිසන් ලෝකයෙහි යන ගති දෙකින් එක්තරා ගතියකට පත්වන්නේය.


සත්ත්වයා උපත ලද දවසේ පටන් මරණ මංචකයට පත්වන තුරු ජීවත්වන කාලය තුළ ඇස මුල් කොටගෙන විවිධ වස්තූන් පුද්ගලයන් රූප වශයෙන් රස විඳී. ඇලීමක් ඇතිකරගනී. තමා වසඟයට නතුකර ගැනීමට උත්සුක වෙති. එම පි‍්‍රය වූ දසුන් පිළිබඳව මනසිකාරයෙන් යුක්තව වාසය කරනු ලබයි. එහි අසාර ස්වභාවය නොදැක රූපය පිළිබඳව ඇලීමෙන් හෝ ගැටීමෙන් යුක්තව සිට දුගති භූ®මියට පා තබනු ලබයි. සාමාන්‍ය ලෞකික ලෝකය තුළ විවිධ ප්‍රශ්න ගැටීම් ආදිය ඇතිවීම උදෙසා මෙම ඇසින් දකින රූපය පිළිබඳ ඇතිවන ඇලීම බලවත් වී ඇත්තේය. තරුණ, තරුණියන් අතර ගැටීම් ඇතිවීමටත්, අවසානයේ ජීවිතය පවා විනාශ කරගනු ලබන තත්ත්වයට පත්වන්නේද යථාර්ථවාදී දැක්ම නොමැති නිසාවෙනි.


චක්ඛුන්ද්‍රිය දෙස බැලිය යුතු ආකාරයෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සෝතින්ද්‍රිය දෙස බලන අයුරුය. “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණූ යුගලකින් සොතින්ද්‍රිය පිරිමදින ලදදේ මැනවි. කනින් දත යුතු ශබ්දයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නොම මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණාවූ හෝ කර්මවිඥානය සිටුයේ කලුරිය කරන්නේ නම්, නිරයත්, තිරිසන් ලෝකයත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේය “


මෙලොව ජීවත්වන සත්ත්වයා කන මුල් කොටගෙන විවිධ වූ ශබ්ද අසති. පි‍්‍රයවචන, සුවපත් වූ වචන, සුඛර වූ වචනවලින් යුක්ත යහපත් ශබ්ද අසති. එම ශබ්ද කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇතිකරගනී. එමෙන්ම ඇණුම්, බැණුම් ගෙරවුම් ආදී අපි‍්‍රය සහගත වචන වූ අයහපත් ශබ්දද අසති. එම සුඛර සුමට නොවූ ශබ්ද කෙරෙහි ගැටීමක් ඇතිකර ගනී. එම නිසාවෙන් ක්‍රෝධය, ද්වේෂය ,වෛරය ආදි ක්ලේශ ධර්මයන්හි නිමග්නව වාසය කොට නරකයෙහි උපත ලබති. මෙසේ දුර්ලභ වූ උත්තරීතර වූ මනුස්ස සම්පත්තිය ලැබ ඊළඟ ආත්මභාවය දුගතිගාමී වීමට ශබ්දය අනුගත වනවාට වඩා ගිනිදැල් සහිත තියුණූ යහුලකින් කපා දැමීම සුදුසු බව දේශිතය.


සෝතේන්ද්‍රියෙන් අනතුරුව ඝානේන්ද්‍රිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක. නාසය වනාහි ගන්ධය ලබන්නා වූ ශාරිරික උපකරණයයි. නාසය, ගඳ, සුවඳ දෙපාර්ශ්වයටම අනුගත වේ. ඉතා මිහිරි සුවඳක් දැනේනම් ඒ කෙරෙහි ඇලීමක්, බැඳීමක් ඇතිකරගනී. එය සුවඳ නැවත නැවත විඳීමට රුචිකරයි. ප්‍රාර්ථනා කරයි. අමිහිරි පිළිකුල් සහගත දුගඳ කෙරෙහි ගැටීමක් ඇතිකරගනී.


“මහණෙනි, හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු නියනකින් ඝානේන්ද්‍රිය ගලවා දමන ලදදේ මැනවි. නැහැයෙන් දත යුතු ගන්ධයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසු නොවේ . “ එම කර්මවිඥානයෙන් කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන දෙගතියට පැමිණෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.


ජීවයක පැවැත්මට උපකාරක වන ප්‍රමුඛතම සාධකය ආහාරය නිසාවෙන් (සබ්බේ සත්ථා ආහරට්ඨිතිකා) උපතේ සිට මරණය දක්වාම ආහාරගැනීම හේතුවෙන් දිව පිනවීම සිදුකරනු ලබයි. සෑම වීර්යයක්ම දරමින් ආර්ථිකව ගොනුකර ගනුයේ ආහාරය උදෙසාය. විවිධ වූ වර්ණයෙන්, වයනයෙන්, රසයෙන් යුක්ත වූ ආහාර ලබාදෙමින් දිව පිනවීම උදෙසා උත්සුක වෙති. කොපමණ රස වින්දද, ඇතිවීමක් තෘප්තිමත් බවක් නොමැත. තමන් තුළ පවත්නා වූ සාරධර්ම , ගුණධර්ම සාධුක වූ ක්‍රියාවන් පවා මැඬලමින් ආහාර ලබාගැනීමට ආර්ථිකය ගොඩනගන පුද්ගලයන් නැතුවාම නොවේ.


දිව හා සම්බන්ධ රසාංකුරයන් ,හෝමෝනයන් සකස් වී ඇත්තේ රසය පිළිබඳව සංවේදනයන් ලබා තෘප්තිමත් වීම උදෙසාමය. ආහාර ජීවිත පැවැත්ම උදෙසා පාදක කර ගනු මිසක ආහාරය පිළිබඳව ගිජු බවකින් යුක්තව දිව පිනවීමේ අධිකතර ආශාවෙන් යුක්තව වාසය කරන්නේ නම් පේ‍්‍රතලෝක වැනි දුගතිගාමී උත්පත්තින්ට පිවිසෙන්නේ නිරායාසයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදි වදාළේ


“මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණූ සැතකින් ජීවිහින්ද්‍රිය කපන ලදදේ මැනවි. දිවෙන් දත යුතු රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසු නොවේ. නිමිති ආස්වාදයෙන් බැඳුණු කල කර්ම විඥානය හේතු කොටගෙන නිරය හෝ තිරිසන් ලෝකය ස්පර්ශ කරනු ලබන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක.”


අනතුරුව භාග්‍යවතුන් වහන්සේ කායේන්ද්‍රිය පිළිබඳව දේශනා කොට වදාළ සේක. උපන් සත්ත්වයා කයට සැප පහසුව ලබාදීමට රුචි වෙයි. තම තත්ත්වය,තරාතිරම ,ගෞරවය හා උසස් සාමජ තත්වයද පවා පහතට හෙළමින් කාය සන්තර්පණයෙහි නිමග්න වෙති. කය සැරසීම උදෙසා විවිධ ආලේපන, විවිධ සුවඳකර දේ, වස්ත්‍ර ආදියට කෙතරම් මුදලක් වියදම් කරමින් කායික ඔපය වඩවයිද?


භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ, “මහණෙනි, ඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත සැනෙකින් කායින්ද්‍රිය සැසදමන ලද්දේ මැනවි. කයින් දත යුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම සුදුසුසු වේ. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්ම විඥානය සිටුයේ එසමයෙහි කලුරිය කොට නිරයත්, තිරිසන් යෝනියත් යන දෙකෙහි එක්තරා ගතියකට පැමිණෙන්නේය “


ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළේ, නින්දට බැසගැනීම සුදුසු බවත්, එතුළින් ජීවිතයන්ගේ වධබව, විඵලබව, මුළාබව, ඇතිවන්නේ යැයි කියන ලද බවය. මේ වනාහි මනෝන්ද්‍රිය පිළිබඳව වූ විමසුමකි. මනසට නතුවන අරමුණු නිශ්ඵල නම්,ඇලීම් බැඳීම් ඇතිකරන සුළු නම්, මනස නිදාගැනීම සිදුකරන්නේ නම් සුදුසු බව එනයින් පැහැදිලි කොට ඇත්තේය.


මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඇස, කන නාසය , දිව , ශරීරය, මනස යන ඉන්ද්‍රිය මුල්කොට අරමුණු ගැනීම නිසා එයින් සිදුවන අනිටු විපාක පිළිබඳව පිළිවිසීම සිදුකරනු ලබන අතර එම අරමුණුවල ඇලී ගැටී බැඳී වාසය කිරීම නිසා විඳින්නට සිදුවන කර්ම විපාකයන්ට වඩා එම ඉන්ද්‍රියෝ කපා දැමීම සුවර බව, යහපත් බව, පෙන්වා වදාළ සේක. ඉන්ද්‍රියන්, හා ඉන්ද්‍රිය ගෝචර අරමුණු පිළිබඳව නුවණින්, ප්‍රඥාවන්තව නොදකින්නේ නම් එයින් අත්වන ඉරණම ඉතා භයානකය. දුර්ලභව ලබාගන්නා වූ මිනිස් ජීවිතය සතර අපා දුකකට පැමිණවීම ට සමත්වන්නේය.


අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු මෙම ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව නුවණින් සලකන අයුරු පෙන්වා වදාළ සේක. ගිනිදැල් සහිත වූ රත්වූ යකඩයකින් ඇස පසන්නා ලබන කල, ඒකාන්තයෙන් ඇස අනිත්‍යයයි, රූපය අනිත්‍යයි, චක්ඛු, විඤ්ඤාණය අනිත්‍යයි, ඇසෙන් ලබන පහස අනිත්‍යයි, ඇසේ පහස නිසා ලබන සුව හෝ දුක් හෝ නොදුක් වූ වේදනාව අනිත්‍යයි මෙනෙහි කරන්නේය .


පඨවි, ආපෝ, තේජේ,වායෝ යන සතරමහා භූතයන්ගෙන් නිර්මිත ඇස වෙනස්වන සුළුය. උපත ලබන මොහොතේදී පිවිතුරු බවින් යුක්ත වන්නාවූ ඇස වයස මුහුකුරා වැඩෙත්ම තියුණු බවින් යුක්තවේ. අනතුරුව අනිත්‍යතාව පදනම් කොට අවසානයේ පෙනීම හීනවන තත්වයට පත්වේ. මෙසේ ඇස වනාහි වෙනස්වන සුළු දෙයකි.අනිත්‍යයයි දකී. යමක් අනිත්‍ය තත්වයෙන් යුක්තවේද එය දුකකි. (යද නිච්චං තං දුක්ඛං) දුක්ඛ වූ සැමදේ මමය,මාගේය, මගේ ආත්මයය කියාගත නොහැක. තම වසඟයෙහි පැවැත්විය නොහැකිය ලෙස ත්‍රිලක්‍ෂණ වශයෙන් විදර්ශනා ඥානයෙන් යුක්තව ඉන්ද්‍රිය සහ අරමුණු දෙස නුවණ යොදවා බලනු ලබයි.


අනතුරුව ශ්‍රෝතය, ඝානේන්ද්‍රිය ,ජීවිහේන්ද්‍රිය, කායින්ද්‍රිය, මනේන්ද්‍රියයෙහි අනිත්‍යතාව මෙනෙහි කරන ලෙස දේශනා කොට වදාළ සේක, ශබ්ද, ගන්ධ, රස , පහස, යන්නෙහි අනියත ස්වභාවය දකිමින් විඤ්ඤාණයන්හිද අනිත්‍යතාව දකින ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. විඤ්ඤාණය තුළින් හටගන්නා වූ සම්පස්සය හෙවත් ස්පර්ශය අනිත්‍යය. එම සමසපස්සයන් නිසා හටගන්නා සෝත වේදනා, ඝාණ වේදනා,ජීව්හා වේදනා,කාය වේදනා, මනෝ වේදනා අනිත්‍ය බව මෙනෙහි කරන ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අමතා දේශනා කොට වදාළ සේක.


මෙසේ නුවණින් යුක්තව දකින්නා වූ ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය ස්වරූපය දැක කලකිරීමට පත්වන්නේය. එම කලකිරීම තුළින් ඇලීමක් ඇතිකර නොගනී. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල මිදුනේයැයි දැන ගනී. ජාතිය ක්ෂය කරයි. බඹසර වැස නිම කරන ලද්දේය. මේ භවය මිස තවත් භවයක් නැත්තේ යැයි දැන ගනී. තණ්හක්ඛය,මොහක්ඛය,දෝසක්ය සංඛ්‍යාත උතුම් විමුක්ති රසයෙන් පරික්ෂිප්ත වුනාවූ නිවනින් නිවී සැනසෙති.


මෙලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අනිත්‍ය වූ ඉන්ද්‍රියන් පිළිබඳව ආර්ය උත්තමයකු දැකිය යුතු ආකාරය, විමසිය යුතු ආකාරය, විචක්ෂණය කළ යුතු ආකාරය පෙන්වා වදාළමින් සසර දුගතියට යන මාර්ගය වසා සුගතිභූමියට පිළිපන් මාර්ගය පෙන්වා දෙමින් ජටිල පිරිස රහත්ඵලයට පත්කිරීම උදෙසා උක්ත ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව කරුණාවෙන් දේශනා කොට වදාළ සේක. මෙවන් වූ දහමට පිළිපන්ව අනිත්‍ය වූ ඉඳුරන් කෙරෙහි නොඇලි නොගැටී නිත්‍ය සුඛ ප්‍රණීත නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව සැමසතට උදාවේවා!


ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

බුදුසරණ අන්තර්ජාල කලාපය - මොරගොල්ලාගම උපසමා සිල්මාතාව

මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන

මේ උදා වූ හිරුගොත් වංශයේ උපන් තුන් ලොවක් සනහා වදාළ අප මහා ගෞතම මුනිරජුන් සම්මා සම්බුද්ධත්වයට පත් වී ගෙවී යන 2600 වසරයි.2600 වන ඒ උතුම් වස්සාන සමය ද නොබෝ දා ගෙවී අවසන් විය.බිනර පුන් පොහෝ දිනයෙන් අවසන් වූ වස් තුන් මස පුරාවට ලක්වාසී මෙන් ම ලෝවාසී බොදු ජනයා අනේකවිධ පින් සිතුවිලි සිත් සතන් තුළ ජනිත කරගනිමින් ජීවිත සන්තානය උදෙසා මහානීය වූ පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගන්නට විය.ලක්දිව පුරා විසිරී පැතිර පවතින්නා වූ වෙහෙර විහාරස්ථාන ඇසුරු කරගනිමින් පළමු කඨින චීවරය හේවිසි හඬ මධ්‍යයේ, අලි ඇතුන් පිරිවැරූ මහා පෙරහරින්, සැදැහැතියන්ගේ සාදු හඬ මධ්‍යයේ වැඩමවා තුන් ලොව පුද සත්කාර ලබන්නට සුදුසු වූවන් අතරින් අග්‍ර වූ තුන් ලොවක් දිනූ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම පූජා කරන්නට විය. 

අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් උපදවන කඨින චීවර පූජාව පිළිබඳ තොරතුරු සඳහන් කළේ ලියන්නට යන ලිපියට නිමිත්තක් ලෙසයි.වසර 5කට පෙර සිදු වූ සිදුවීමක් නැවත ආවර්ජනය කරන්නට මෙම බිනර පුන් පොහෝ දිනය උපකාර විය.කඨින චීවර පූජාව සිදුවන සෑම වසරක ම ඔක්තෝම්බර් මාසය උදාවන විට නිසැකයෙන් ම මා හට එක කරුණක් සිහිපත් වේ.එය සිදු වී වසර කීපයක් ගත වුවත් අදටත් ඒ සිදුවීම මා මනැසේ සිතුවමක් සේ ඇදී යයි.බොහෝ මිනිසුන්ගේ ජීවිතවල සිදුවන සිදුවීම් ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත ඉරණම ම වෙනස් කරන්නට සමත් වේ.මෙහි සටහන් වන්නේ ද එවැනිම තවත් සත්‍ය සිදුවීමකි.මෙහි සටහන් වූ කථාව අප සැමදෙනාගේ ම ජීවිත යහපත් කරවන්නට ඉමහත් රුකුළක් වනු ඇත. 
මෙම කථාවේ කථානායකයා බදුල්ල ප්‍රදේශයේ බොහෝ දෙනා දන්නා හඳුනන කෙනෙකි.ඔහු දරුවන්ට කාරුණික පියෙක්, බිරිඳට දයාබර සැමියෙක් වුවා සේ ම ඥාතීන්ට විසල් නුග රුකක් විය.නමුත් තරුණ වියේ දී ඇසුරු කරන්නට වුණ පාපී මිත්‍රයන් නිසා ඔහු තදින් ම මත්පැනට ඇබ්බැහි වූවෙකි.දිවියේ මැදි වියේ පසු වුවත් බලවත් ව බීමට ඇබ්බැහි වූ ඔහුට කොතෙකුත් මත්පැන් බීමේ ආදීනව පැවසුව ද ඉන් මිදීම අපහසු කරුණකි.
අප සැමදෙන ඔහුට කරුණු කාරණා පවසමින් ආදීනව පසක් කර දෙන්නට උත්සුක වූයේ ඔහු අපගේ ළඟ ම ඥාතියෙක් වූ නිසාවෙනි.
"ඔය බීම දැන්වත් නවත්තන්න.බීවොතින් යන්න වෙන්නේ අපායේ තමයි.බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවනේ.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළොත් නිරයට යන්න වෙනවා කියලා...." 
එවිට ඔහුගේ මුවින් පිටවන්නේ මත්පැනට ඇබ්බැහි වූ බොහෝ අය ලබා දෙන පිළිතුර ම ය.
"ඔය පොඩ්ඩක් බිව්වා කියලා අපායේ යන්නේ නෑ.බුදුහාමුදුරුවෝ කිව්වේ මද පමණින් බොන්න කියලා.අප උඹලට කලිනුයි පන්සල් ගියේ.අපත් ඔය ධර්මය දන්නවා.මං බිව්වා කියලා යුතුකම් පැහැර හරින් නෑනේ.අනික කාටවත් කරදරයක් කරන්නෙත් නෑනෙ."
එසේ කියා නිරයට විහිළු ද කරයි. 
"හා...බලා හිටපල්ලකෝ අපි අපායට ගිහින් යමපල්ලොන්ටත් ගහල එන්නේ.අපිට කොහෙත් එකයි."
එවිට කටපියාන පැත්තකට වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වන්නේ නැත.භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම පැවසූවේ සත්‍යක් ම ය.මේ ධර්මය සවනතට ඇසුනේ නැත්නම් මිනිසුන් විනාශ වෙනවා ම යි.
කාලය වේගයෙන් ගෙවී යන්නට විය.ඒ 2006 වර්ෂය යි.ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වූ ඔහුට එම වසරේ කඨින පින්කම භාර වුණි.කෙතරම් වැරදි කළත් සසරේ කළ පිනට බෞද්ධ පවුලක උපන් ඔහුට මේ අවස්ථාව ඔටුනු පැළදුවා හා සමාන විය.දිවා රෑ ඔහුගේ සිතේ රැඳී තිබුනේ කඨින පින්කම යි.නිතර ම කථාව ද පළමු කඨින චීවරය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ගැනයි.කඨින චීවරය හිසේ තියා ගෙන හේවිසි හඬ මධ්‍යයේ මහා පෙරහරින් පන්සලට යන අන්දමත් එය භාග්‍යවත් අරහත් මුනිඳුන් උදෙසා පූජා කරන අන්දම ඔහුට මැවී පෙනෙන්නට විය.අගෝස්තු මාසය උදා විය.කඨින පිනකමට තව ඉතිරි ව ඇත්තේ සති කීපයක් පමණි.
හදිසියේ ම එක් රාත්‍රියක එක් රාත්‍රියක ඔහු බලවත් ව අසනීප විය.පපුව අල්ලමින් කෙඳිරි ගාන්නට විය.නිවැසියන් ඒ රාත්‍රියේ ම ඔහුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි.වෛද්‍ය වාර්තා ද ඊ. සි. ජි වාර්තා ද අනුව රෝගය තරමක් බරපතළ බව සොයා ගත්තේය.වෛද්‍ය මතය වූයේ දින කීපයක් රෝහලේ රැඳී සිටිය යුතු බව ය.තනියට ඔහුගේ සොහොයුරෙකු ද ළඟ නවත්වා අපි නිවසට ගියෙමු.
රාත්‍රී 2ට පමණ ඔහු හදිසියේ අවදි වූයේ ළඟහුන් තම සොහොයුරාගේ අත ද අල්ලා ගනිමිනි.ඇඟ සීතල වෙන බව පවසනවාත් සමඟ ම ඇස් උඩ ගියේය.පපුවෙන් අමුතු ශබ්දයක් ද ආයේ ය.හුස්ම ගැනීම ද නතර විය.මුසල අනතුරක සේයා දුටු සොයුරා වෛද්‍යවරුන් කැඳවන්නට විය.වෛද්‍යවරුන් විනාඩි 10ක් පමණ උත්සහ කළ ද ඔහුගෙන් පිළිතුරක් නැත.වෛද්‍යවරුන් උත්සහය අත හැරියේ 'දැන් වැඩක් නෑ' කියමිනි.ඥාති සොයුරාට දැන් මුළු ලොව ම අමතක ය.තම සොයුරා මිය ගිය පුවත නිවසට දැන්විය යුතුය.දැන් ඔහු කළයුත්තේ කුමක් ද කියා සිතා ගත නො හැකිව දෙලොවක් අතර තනි වී ඇත. 
ඒත් අසාමාන්‍ය වාසනාවක් රෝගියා සොයා පැමිණෙමින් තිබුණේ ය.රාත්‍රී සේවයට වාර්ථා කළ නවක වෛද්‍යවරියක් හදිසියේ ම රෝගියා ළඟට දිව ආවා ය."ඉක්මනට ඔය මනුස්සයා ව අනිත් පැත්ත පෙරළන්න." හදිසියේ පැමිණි වෛද්‍යවරිය එක්වර ම රෝගියා ව මුනින් අතට පෙරළුවේ ය.එතෙක් නිසොල්මනේ සිටි රෝගියා එක්වර ම හුස්මක් පිට කරන්නට විය.නැවතත් ඔහුට වගා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය.දින කීපයක් පියවි සිහියක් නොමැතිව විටින් විට සිහිමූර්ඡා වෙමින් සිටි ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණේ ය.
නිවසට පැමිණි ඔහු දැන් අත්භූත අමුතු කථාවක් පවසන්නට විය.කාටවත් නො තේරෙන මේ කථාව ඇසීමට මම නො ඉවසිලිමත් වීමි.
අසනීපයේ වේදනාව අමතක කරමින් ඔහු කථාව ඇරඹීය.
"මගේ ඇඟ එකපාරට ම සීතල වුණා.එතකොට ම හුස්ම ගන්න අමාරු වුණා.එකපාරට ම ඔක්කොම අඳුරු වුණා.පාවෙලා වගේ අඳුරු තැනකට මාව ඇදිලා ගියා.එක පාරට ම කවුදෝ යක්කු දෙන්නෙක් වගේ මහා භයානක දෙන්නෙක් ඇවිත මාව අල්ල ගත්තා.ඒ අය ළඟ ආයුධත් තිබුණා.ඒවා නිතරම වෙනස් වෙනවා.මම කෑ ගහලා දඟලන්න පටන් ගත්තා.එතකොට මගේ අත් තදින් ගැට ගහලා අඳුරු තැනකට මාව ඇදගෙන ගියා.මම ඒ බැමි ලිහා ගන්න,ලිහා ගන්න ආයෙත් ඒ අය මාව බඳිනවා.ඒ බැඳපු විදියට තාමත් මගේ අත් දෙක රිදෙනවා."
ඔහු තම අත් පෙන්වමින් එසේ පැවසුවේ අප කවුරුත් තැති ගන්වමිනි.
"ඊට පස්සේ මාව ඇදගෙන එක තැනකට එක්කන් ගියා.මම කොච්චර කෑ ගැහුවත් කාටවත් ඒක ඇහෙන් නෑ.එතැන තව ගොඩක් අය හිටියා.මම එතැන ඉඳන් හයියෙන් කෑ ගැහුවා.මම මිනිසුන්ට කරපු උදව් සිහි කර කර කෑ ගැහුවා.ඒත් කවුරුත් ඒවා අහන් නෑ.අන්තිමට මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.එතකොට දැක්කා ඔටුන්නක් දා ගත්ත මහ ලොකු කෙනෙක් ව.එයා හරි භයානක පාටයි.එතැන මම වගේ ම අසරණව කෑමොර දෙන ගොඩක් අය හිටියා."
මේ කියන්නේ අපාය ගැන විස්තරයක්වත් ද? ඒ ඔටුනු දරන්නේ යම රජුන්වත් ද? මගේ සිත දැන් සූත්‍ර පිටකයේ, මැදුම් සඟියේ දේවදූත සූත්‍රය වෙත ඇදී යයි.බුදු සමිඳුන්ගේ ගම්භීර දේශනාවක් වන එහි නිරයේ විස්තර ඇතුළත් වේ.අතිශය භයානක දුකින් පිරුණු නිරයේ විස්තර උන්වහන්සේ නුවණින් දැක වදාළේ මහා කරුණාවෙන් ම ය.එම උතුම් සූත්‍ර දේශනාවේ දී නිරි සතා නිරයට ගිය විට යමපල්ලන් යම රජු වෙතට ඔහුව ඇදගෙන යන බවත් යම රජුන් මුණ ගැසෙන බවත් ඔහුගෙන් ප්‍රශ්න අසන බවත් සඳහන් ය.එසේ නම් මොහු දැක ඇත්තේ යම රජුන් ද?මා සිත දැන් කුහුලින් වෙලී යයි.ඔහු නැවතත් කථාව ඇරඹීය.
"ඊට පස්සේ මම හයියෙන් කෑ ගහන්න වුණා.මට යන්න දෙන්න කිව්වා.ඒත කවුරුත් ඒක අහන් නෑ.හැම තැනින් ම එන්නේ විලාප හඬ." 
අහෝ! මිනිස් ලොව සිටිය දී කුසලයේ නො යෙදීමේ විපාක කෙතරම් බියකරු ද? ඒවා විපාක දෙන විට විඳින්නට වන්නේ තනිව ම ය.එවිට ළඟ සිටි ඥාතීන් යහළුවන් කිසිවෙක් නැත.දැන් ඔහුට ද එසේ ම ය.උදව්වට කිසිවෙක් නැත.ළඟින් සිටි පාපී මිත්‍රයන් ද නැත.කුමක් කරන්න ද? දැන් ඔහු පමා වැඩි ය.
ඒත් ඔහුට එකවර ම යමක් මතක් වූයේ ය.ඒ ඔහු ආසාවෙන් ම සිටි දෙයයි.ඒ ඔහු නිතර නිතර සිහින මැවූ පන්සලේ කඨින පින්කම යි.ඔහු මහා හයියෙන් හඬනගා කෑ ගැසුවේ ය.
"මට යන්න දීපල්ලා...මට කඨින පින්කමට යන්න ඕන.මට යන්න දීපල්ලා.....මට කඨින පින්කමට යන්න ඕන....."
එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.
"උඹ භය වෙන්න එපා....උඹව යව යි...."
ඔටුනු පලන් පුද්ගලයා තමන් වගේ ම පැමිණි පිරිසගෙන් යමක් අහනවා දැන් ඔහුට පෙනෙයි.ක්‍රමයෙන් ඔහුගේ වාරය ද එළඹුණේ ය.ඉදිරියට රැගෙන ගිය ඔහු දැන් ඔටුනු පලන් පුද්ගලයා ඉදිරිපිට ය.
"මට යන්න දෙන්න.මට කඨින පින්කමට යන්න ඕන.අනේ! මට යන්න දෙන්න...."
ඔටුනු පැලඳූ පුද්ගලයා ඔහු අමතන්න ට විය.
"මම උඹට යන්න දෙනවා.උඹට එන්න තව කල් තියෙනවා.උඹ කඨින පින්කමට පලයන්...."
දැන් නම් මා හට යමක් පැහැදිළි ය.මොහු මේ කියන්නේ ඒකාන්තයෙන් ම නිරයේ විස්තරය යි.ඔටුනු පලන් පුද්ගලයා යම රජු විය යුතු ම ය.
එතැන් පටන් ඔහු ජීවිතයේ දකින අතිශය භයානක ම දසුන දකියි.යමපල්ලන් දැන් ඔහු ඇදගෙන යන්නේ නිරය මැදින් ය.
ඔහුට දැන් ඉදිරියෙන් පෙනෙන්නේ විසල් පොලිමකි.ගැහැණුන් ද පිරිමින් ද දුකින් පිරුණු මුහුණින් එහි එහි රැඳී සිටියි.යමපල්ලන් දෙදෙනෙක් ඔවුන් ව කොටස්වලට වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.ප්‍රාණඝාත කළ අය වෙන වෙන ම වෙන් කරයි.සොරකම් කළ අය වෙන වෙන ම වෙන් කරයි.වැරදි කාම සේවනය කළ අය වෙන වෙන ම වෙන් කරයි.බොරු කියූ අය වෙන වෙන ම වෙන් කරයි.මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කළ අය වෙන වෙන ම වෙන් කරයි.


මනු ලොව මිනිසුන් දුස්සීල වී කරනා හපන්කම් සියල්ල මෙහි සටහන් වන අයුරු ඔහුට දැනෙයි.එහි කිසිවක් සැඟවිය නො හැක.සියල්ල ම එහි සටහන් ය.
එක් එක් කාණඩයට වෙන් කළ අය වෙන වෙන ම දඬුවම් සඳහා ගෙන යන බව ඔහුට මතක ය.යමපල්ලන් තවත් ඉදිරියට ඔහු රැගෙන යයි.මහා පුදුමයකි.කුඩා කල ඔහු බණට ඇසූ විසල් කටු ගස් දැන් ඔහු ඉදිරියේ ය.භයානක කටු ඇති විසල් කටු ඉඹුල් 4ක් හෝ 5ක් එහි තිබුණු බව ඔහුට මතක ය.එතැන ද මහා පෝලිමකි.ඒ පෝලිම තමන් මිනිස් ලොව සිටිය දී කර ගත්තා වූ අකුසල් කර්ම විඳවන්න ඇති පෝලිමයි.යමපල්ලන්ගේ ඇමතීමෙන් තමන් කැමති වුණත් අකමැති වුණත් කටු ඉඹුලේ නැගිය යුතු ම ය.
දැන් මගේ මුළු ඇඟ ම සීතල වී යයි.චිත්‍රපටියක රූප රාමු මෙන් මේ සිදුවීම් එකින් එක මා මනැසේ ඇඳී යයි.අප සංසාරේ කීවරක් මේ කටු ඉඹුලේ නගින්නට ඇද්ද? අපේ ළඟින් සිටි අපට කරුණාව දක්වපු අපේ අම්මලා,තාත්තලා ,ඥාතීන් කීදෙනෙක් දැන් කටු ඉඹුලේ නගිනවා ඇද්ද? අහෝ! මනුලොව සිටිය දී සැප සොයා මිනිසුන් කරනා වැරදිවල විපාක ඒකාන්තයෙන් ම භයානක ය.
අපේ කථානායකයා දැන් තව තවත් ඉදිරියට යයි.හැම තැන ම වේළී ඇඹරී ගිය දුකින් පිරුණු මුහුණු ය.නිමක් නැති විලාප හඬ ඉවසිය නො හැක.තවත් ඉදිරියට ගිය ඔහු තවත් අසාමාන්‍ය දෙයක් දකියි.
"මාව තවත් ඉස්සරහට එක්කන් ගියා.යනකොට දැක්කා බුබුළු දාන රතු පාට ගඟක් වගේ එකක්.ඒක හරි විසාල යි."
මෙතෙක් කථාව අසා සිටි මට ද මේ සිදුවීම් පිළිබඳ ව සැකයක් නො තිබුණා නො වෙයි.මා ද සොයමින් සිටියේ මෙය නිරයේ සිදුවීමක් බවට ප්‍රත්‍යක්ෂ කළ හැකි සාක්ෂියකි.බුබුළු දාන ගඟක්....එක් වරම මට මතක් වූයේ දේවදූත සූත්‍රයේ සඳහන් ලෝකුඹු නිරයයි.එහි මෙසේ සඳහන් වේ.
"ඔහු ව කකුල් උඩ අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා.එතන දී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු දේහයක් ඇතුවයි.ඉතින් ඒ පෙණ ගුළියක් බඳු දේහයකින් යුතු නිරි සතා පැහි පැහී එක වතාවක් උඩට එනවා.ආයෙමත් යටට යනවා...." 
එසේ නම්, දැන් මොහු පවසන්නේ මේ ලෝකුඹු නිරය විය යුතු ය.ජීවත් ව සිටි කල ඔහු දේවදූත සූත්‍රය කියවා නැති බව ඒකාන්ත ය.බුබුළු දමන නිරයක් ගැන ද ඔහු අසා නැති බව ඒකාන්ත ය.එසේ නම් දැන් මොහු කියන්නේ තම ඇසින් දැක්කා වූ නිරය ම යි.බුබුළු දමන ගඟක් ලෙස ලෝකුඹු නිරය දකින ඔහුගේ කථව පිළි නො ගන්නට දැන් මා හට කිසි අවකාශයක් නැත.
තව තවත් ඉදිරියට යන ඔහුට සැම තැනක ම පෙනෙන්නේ විරූපී වී ගිය මුහුණු ය.සතර අතින් ඇහෙන්නේ හද කම්පා කරන විලාප හඬයි.එක් වර ම යමපල්ලන් ඔහු බැඳි වරපට ලිහිල් කළෝ ය.'දැන් උඹ පලයන්....' කියා ඔහු ව ඉදිරියට තල්ලු කළේ ය.ඔහුට මතක එපමණකි.
දැන් මගේ ඇඟම සීතල වී ඇත.කිසිදාක නො දැනුනු අපමණ සෙනෙහසක් බුදු සමිඳුන් ගැන ඇති විය.මීට වසර 2600ට පෙර උන්වහන්සේ පැවසුවේ ඒකාන්තයෙන් ම සත්‍යක් ම යි.උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද,අනන්ත අප්‍රමාණ අභියෝග හමුවේ සිරි සඳහම් දෙසා වදාළේ ද මිනිසුන්ට අත් වන මෙම් දුක්ඛිත ඉරණම නිසා ම ය. 
මජ්ඣිම නිකායේ තුන් වන පොත් වහන්සේට අයත් දේවදූත සූත්‍රය පුරාවට ම ඇත්තේ සම්බුදු නුවණින් දුටු මෙම භයානක අනතුර ය.මිනිස් ලොව සිටිය දී අප කොතරම් පම්පෝරි ගැසුව ද,අවසානයේ දී අප සිතින් කයින් වචනයෙන් කළ කී ක්‍රියාවන් වලට විපාක විඳීමට සිදුවන්නේ අප හට ම ය.නමුත් බොහෝ දෙනා උතුම් බුද්ධ දේශනා පවා නො පිළිගන්නේ උපතින් ම අන්ධ වූ කෙනෙක් මෙලොව ඉරත් සඳත් ඇති බව නො පිළිගන්නා සේ ය.හිරු සඳු ලොව නැති බවට විශ්වාස කළ,උපතින් අන්ධයෙකුට ඇස් ලැබුණු විට ඔහු හිරුත් සඳුත් දකියි.දැන් ඔහුට එය ප්‍රත්‍යක්ෂ අවබෝධයකි.තවත් අන්ධයෙකුට ඔහුව මුලා කළ නො හැක.
සායනික මරණ ලෙස ලොව හඳුන්වන මෙවැනි මරණාසන්න අත්දැකීම් වලට ලක් වූ අය බොහෝ ඇත.බොහෝ බටහිර ජාතිකයන් ද මෙවැනි ම නිරයේ අත්දැකීම් වලට මුහුණ දෙයි.නමුත් අවාසනාවකට නිරයෙන් නිදහස් වන්නට උපකාර වන ධර්මයක් ඔවුන්ට නැත.ඒ අසරණයන් තව දුරටත් මිත්‍යා දෘෂ්ටියට ම නැඹුරු වේ.
අප බුදු සමිඳුන් ජීවමානව වැඩ සිටි කාලයේ ද මෙවැනි ම වූ අසාමාන්‍ය සිදුවීම් සිදු වූ බව විමාන වත්ථු,ප්‍රේත වත්ථු කියවීමෙන් තහවුරු වේ.එකල ද මිනිසුන් මරණාසන්න මොහොතේ එවැනි අත්දැකීම් වලට මුහුණ දුන් බව පැහැදිළි ය.වරක් ජේතවනාරාමයේ දී වයසට ගිය මිනිසෙකු අරබයා බුදුන් වහන්සේ වදාළ ගාථාවකින් ද එය පැහැදිළි වේ.
බුදු සමිඳුන්ට චීවරයක් පූජා කිරීමේ පින මතක් කර නිරයෙන් ගැලවුණු මගේ ඥාතියා දැන් දැහැමි දිවි පෙවෙතක් ගත කරන්නෙකු බවට පරිවර්තනය වී සිටියි.උදේ සවස බුද්ධ වන්දනාව ද දැන් ඔහුගේ දිවියේ ම කොටසකි.පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා දන් පැන් පුදන්න ද ඔහුට ඇත්තේ බලවත් වුවමනාවකි.කිසිවෙකුටත් සිතා ගැනීමට නො හැකි ලෙසින් ඔහු වෙනස් වී ඇත.එපමණක් ද නොව ඔහු බොහෝ දෙනෙකුට දහම් මග විවර කිරීමට ද,කුසලයේ පිහිටවන්නට ද උපකාර කරන්නෙකු වී ඇත.ඔහුගේ අත්දැකීම ඇසූ බොහෝ දෙනාගේ ජීවිත පුදුමාකාර ලෙස වෙනස් විය.
ඔහුගේ අත්භූත කථාව අවසන ඔහු තවත් අපූරු යමක් අපට කීවේ ය.මෙම කථාව අසමින් සිටි පිරිසෙන්,එය විශ්වාස නො කළ පිරිස පවා නිහඬ කළ එම වචන කීපය අප සියල්ලන් ම මොහොතක් නිහඬ කළේ ය.ඔහුගේ එම වදන් පෙළින් ම මෙම සටහන අවසන් කරමි.
"මට මතකයි මම එතකොට ඒ විරූපී වෙලා වේදනාවෙන් කෑ ගහන අය අතරේ මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් හිටියා....ඒ අය දැනට ටික කාලයකට ඉස්සර මැරිච්ච අය.අපි විනෝද වුනා වගේ ම හැම චණ්ඩි කමක් ම කළේ එකට යි.එයාලා මැරෙන්න කළින් කොච්චර චණ්ඩි වුණත්,එහේදී බේරාගන්න කවුරුවත් ම නැහැ.දරාගන්න බැරි වේදනාවකින් කෑ මොර දෙනවා.මගේ හිතට ගොඩක් ම අමාරු, මගෙත් එක්ක එකට ම හිටපු එයාලා දුක් විඳිනවා දැක්ක ම යි..." 

Source:http://keshandesilva.blogspot.com