බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයෙහි විශිෂ්ටත්වය



බුදුරජාණන් වහන්සේගේ අසහාය පෞරුෂයෙහි ලක්ෂණ විවිධ සන්දර්භයන් ඔස්සේ විමර්ශනයට හසු කළ හැකි ය. අපමණ වූ කලෙකට වරක් ලොව පහළ වන එබඳු වූ මහ පුරුෂ ශ්‍රේෂ්ඨතමයෙකුගේ අගය නම් කෙලෙස පමණ කළ හැකි වේද? නොහැක් කේ ම ය. බුදුගුණ වර්ණනා විෂයයෙහි වුවද යෙදෙන ගුණපද මගින් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය විශද කෙරේ. එහිදී අනුගාමිකයන් විසින් සම්මා සම්බුද්ධො, විඡ්ඡාචරණ සම්පන්නො, සුගත, තථාගත, සනරාමර, ලෝක සිවංකර, දිපතෝත්තම, “වදතං පවරො” ආදී වූ ගුණ විශේෂයෙහිලා බුදුහු අනුපම කළහ. උන්වහන්සේ වනාහි ත්‍රිවිධ විලාසයන්ගෙන් ප්‍රමුඛ වූහ. එනම්,

ගඪඝ රූප විලාසය
ගඪඪඝ දේශනා විලාසය
ගඪඪඪඝ වාග් විලාසය

බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය අතිශයින් සිත්කලුය. මනබන්දනීය ය, ළගන්නාසුලුය, චිත්තප්‍රසාදවහ ය. මිනිස් සමාජයෙහි ඔවුනොවුන් අතර අන්තර් සබඳතා පවත්නා ගැනීමෙහිලා ඈත කලෙක පටන් ම නොයෙකුත් උපාය මාර්ග අනුගමනය කළ බව මානව සමාජ විද්‍යාඥයින් සහ භාෂාවේදීන් අදහස් දක්වා ඇත. එහෙත් වසර දෙදහස් හයසිය වසරකට මත්තෙහි ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා ලෙසත් භාෂාවේදියා, සමාජ විද්‍යාඥයා, මනෝ විද්‍යාඥයා ලෙස උන්වහන්සේව හඳුනාගැනීමෙහිලා පෙළ දහමින් හමුවන සාක්ෂ්‍යයන්හි කිසිදු ඌණතාවක් නොමැත. ලොව සාමාන්‍ය වූ ලෞකික විෂයීය දැනුම, අවබෝධය ඉක්ම වා ලූ ශාස්තෘවරයෙකු අධ්‍යාත්මික උතුමෙකු, අසාහය වීරයෙකු, පුරුෂ ශ්‍රේෂ්ඨයෙකු, වශයෙන් ලොව විද්වතුන් අතරෙහි උන්වහන්සේ සම්පූජිතය.

රිස් ඩේවිඩ්සන් නම් විද්වතා විසින් වරෙක “බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍යයේ හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත අලංකාරවත් සාරගර්භ කරුණු අභිබවා යන වෙනත් කිසිම ආගමික ඉගැන්වීමක් නැතැ”යි ප්‍රකාශ කළේ එබැවිනි. “සබ්බදා සබ්බ සත්තානං හිතාය ච සුඛාය ච” බොහෝ වූ පුහුදුන් ලෝක සත්වයන්ට හිත සුව සලසාලනු වස් බුදුවරු ලොව පහළ වෙති. බුද්ධ නම් “බොධෙතා පජායති බුද්ධො” 1 යන අර්ථ දැක්වීමට අනුව ප්‍රජාවට ධර්මය අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වේ.
මෙම ධර්ම සන්නිවේදනම ය පරමාර්ථය සාක්සාත් කරනු වස් වාග් විලාසය මහෝපකාරී වේ. මජ්ඣිම නිකයේ උදුම්බර සීහනාද සූත්‍රයෙහි බුදුවරයෙකුගේ මුඛ්‍ය කාර්යභාරය අවධාරණය කෙරේ. එම කාර්යයෙහිලා වාග් විලාසය අනුපමය වූ සබැඳියාවක් දක්වයි. එනම්,
බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති. තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති. දන්තො සො භගවා දමතාය ධම්මං දෙසෙති. සන්තො සො භගවා සමතාය ධම්මං දෙසෙති. පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බාණාය ධම්මං දෙසෙති.

බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයෙහි විශිෂ්ටත්වය විශද වූයේ දේශනාවන්හි යම් යම් පැහැදිලි කිරීම්වල දී ය. එබැවින් දේශනා විලාසය ද මෙහිදී ප්‍රස්තුත මාතෘකාව හා බැඳී පවතී. බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයා වෙත නිවන අරමුණු කරගෙන අනුශාසනා කළහ. එබැවින් අනුගාමිකයෝ රත්නත්‍රයෙහි ශ්‍රද්ධා සම්පන්න වූහ.

“යථා යථා බො භික්ඛවේ භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති. උත්තරුත්තරිං පණිත පණිතං
කණ්හ සුක්ක සප්පටිභාගං; තථා තථා සො තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං
ධම්මෙසු නිට්ඨං ගච්ඡති. සත්ථරි පසීදති. සම්මා සම්බුද්ධො භගව; ස්වාක්ඛාතො
භගවතා ධම්මො; සුපටිපන්නො සංඝොති. 3
මහණෙනි තථාගතයන් වහන්සේ යම් යම් ආකාර වූ භික්ෂුනට දම් දෙසති. මතු මතුත් ප්‍රණිත වූ කලු සුදු හෙවත් කුසල අකුසල ධර්මයන් කොටස් කර ධර්ම දේශනා කරේ ද? ඒ ආකාරයෙන් ඒ භික්ෂුව එම ධර්මය මනා සේ දැනගෙන ධර්මය පිළිබඳ නිගමනයකට එළඹෙයි. ශාස්තෘන් වහන්සේ කෙරෙහි පහදියි. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මනා සේ ධර්මය දේශනා කරන ලදී. සංඝයා මනා පිළිවෙත්වලට පිළිපන්නේ ය.

බුදුහු ස්වකීය ශ්‍රාවකයාගේ චරිත හා චිත්ත ස්වභාවය මෙන් ම බුද්්ධි මට්ටම අනුව දම් දෙසුහ. දේශනා ක්‍රම භාවිත කළේ ද ඔවුනට යථා යෝග්‍ය පරිදි ම වේ. සාමාන්‍ය අනුශාසනා ක්‍රමය වූයේ අනුපුබ්බි කතා ක්‍රමයයි. එනම් දාන කතා, සීල, සග්ග කතා, කාමානං ආදීනවං ආදී ආකාරයෙන් අනුපිළිවෙළින් ප්‍රතිපදා මග පැහැදිලි කර දුන්හ. බුදුහු ස්වකීය වචන භාවිතය හෙවත් කතා ව්‍යවහාරය භාෂණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස උපකරණ අර්ථයෙන් සත්‍යය වුද නිරවද්‍ය වූ ද අර්ථසම්පන්න ලෙස ද භාවිත කළහ. එහෙත් ලෝක ව්‍යවහාරයෙහි භාෂණය පස් ආකාරයකට යොදා ගත් බව පෙළ දහමෙහි පැහැදිලි ය. ඒ අනුව,
1. කාලෙන අකාලෙන – කාලයට ගැලපෙන සහ කාලයට නොගැලපෙන භාෂණය
2. භූතෙන අභූතෙන – ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශනව භාෂණය සහ අභූතය හෙවත් අසත්‍යය
3. සණ්හෙන එරුසෙන – මෘදු ප්‍රකාශණ සහ රළු ප්‍රකාශන
4. අත්ථ සංහිතෙන අනත්ථ සංහිතෙන – අර්ථවත් ප්‍රකාශන සහ අනර්ථවත් ප්‍රකාශන
5. මෙත්ත චිත්තෙන දෙසන්තරො - මෙත් සහගත වචන සහ ද්වේශ සහගත වචන භාවිතය
සමාජයක් තුළ පුද්ගල සංවර්ධනය සහ සමාජ සංවර්ධනය අපේක්ෂා කරන්නේ නම් මේ අතුරෙන් කාලයට ගැළපෙන, සත්‍යවාදී වූ, මෘදු මොලොක්, පි‍්‍රයශීලී, අර්ථවත්, මෛත්‍රී පූර්වංග වචනය ම සාධනීය වේ. බුදුරජාණන් වහන්සේගේ අසහාය පෞරුෂ ලක්ෂණ සම්භාරය ම නිසා ශ්‍රාවකයා උන්වහන්සේ වෙත ශ්‍රද්ධා සම්පන්න වූයේ ය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හෙවත් කතා කළේ “හිතානුකම්පි සම්මා සම්බුද්ධො යදඤ්ඤමනුසාසති” (සංයුක්ත නිකාය, පළමු පණ්ණාසකය) යනුවෙන් දැක්වෙන පරිදි නිරන්තරයෙන්ම හිතවත් බවින් යුතු වූයේ ම අනුකම්පා සහගතභාවයෙනි.

බුදුරජාණන් වහන්සේගේ දේශනයක් ශ්‍රාවකයා ශ්‍රවණය කළේ එහි ගැබ් වූ අපමණ වූ දයාව කරුණාව අන්තර්ගත වූ හෙයිනි. බුදුරදුන්ගේ දේශනයන්හි හුදෙක් අර්ථ සහ ශබ්ද මාධුර්යය පමණක් ම නොව, මානවවාදී සියලු සත්වයන් කෙරෙහි වූ ලතෙත් බවින් පරිපූර්ණ විය.

“යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයංගමා පොරි බහුජන කාන්තා බහුජන මනාපා තථාරූපං වාචං භාසිතා හොති”
ඒ බැව් “නේලා” නිර්දෝෂී “හදයංගමා” සිත් ඇද ගන්නා සුළු “පෙමනීය” ඇල්ම ඇති කරන “පොරී” ව්‍යක්ත “බහුජන තණ්හා” බොහෝ දෙනා කැමැති වූ “නෙල ගලා” කෙල තොලු නොවූ යනාදී වූ හැඳින්වීම් මගින් පැහැදිලි වේ.

මෙමගින් යමෙකු තවෙකෙකු සමඟ කතා බහ කිරීමේ දී වචනයෙහි පැවැතිය යුතු ආචාර සමාචාර ස්වභාවය පැහැදිලි කර ගත හැකි ය. පුද්ගලයාගේ භාෂණයෙහි කෙල තොලු බව හෙවත් බොහෝ කොට අනෙකට අවස්ථාවක් නොදී කතා කිරීම මෙන්ම වාචාල බව ශික්ෂිත වූයේ නොවේ. එබඳු පුද්ගලයා බෙහෙවින්ම පිරිහෙන අයෙකු වේ. “සභාසීලී” යනුවෙන් පරාභය සූත්‍රයෙහි පිරිහෙන කරුණු අතර මෙය විග්‍රහ කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනය හෙවත් වාග් විලාසයෙහි ස්වලක්ෂණ “සො ධම්මං දෙසෙති. ආදි කල්‍යාණංමඡ්ඣ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ඡනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං” මුල මැද අග යහපත් වූ සියලු ආකාර වූ ව්‍යඤ්ජනා ශක්තියෙන් හෙබි අර්ථවත් වූ සත්වයාගේ පාරිශුද්ධිය හෙවත් නිර්වාණාබෝධයට හේතු වන භාෂාණයයි.

“බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසගේ බුද්ධිමය හා චර්යාමය පරිපූර්ණ පෞරුෂයත්, නිවේදක පිරිසගේ අරමුණ වන බොහෝ දෙනාගේ හිතසුව පිණිස යන අරමුණත්, සන්දේශය වන මුල මැද අග සම්පූර්ණ වූ යථාර්ථවාදී ධර්ම විග්‍රහයත්, මාධ්‍ය වන පුද්ගලාන්තර සහ සමූහ සන්නිවේදන ක්‍රමත්, එහි ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රාවක පිරිස තුළ ඇති වූ සාධුවාදී චර්යාමය වෙනසත්, සලකා බැලීමෙන් සාර්ථක සන්නිවේද ක්‍රම විධ්‍යාවත් සම්භාවිතා කර ඇති බව“ උගතුන් අදහස් දක්වා ඇත.

බුදුරදහු ගේ වාග් විලාසය මතු වූයේ ධර්ම සන්නිවේදන විෂයෙහි ය. එබැවින් බුද්ධ දේශනාව නූතන සන්නිවේදන සිද්්ධාන්ත සියල්ල ම කැටි වූ අනභිභවනීය දේශනා මාර්ගයක් බව ගම්‍ය වේ. බුදුහු රාහුල පොඩි හාමුදුරුවන් අමතා කුසල අකුසල ධර්මය පදනම් කරගෙන දේශනා කළ කරුණු වලින් වුවද පැහැදිලි වනුයේ භාෂණයෙහි පැවතිය යුතු මූලික අභිමතාර්ථ වේ. “න අත්තව්‍යාබාධාය සංවත්තෙය්‍ය න පරව්‍යාබාධාය සංවත්තෙය්‍ය න උභයවය්‍යාබාධාය සංවත්ත්‍යෙ” මෙමගින් තමාට, අනුනට, උභය හෙවත් දෙපාර්ශවයට ම අහිත අයහපත අනර්ථය පිණිස ඉවහල් වන වචනය කතාව හෙවත් භාෂණය අතහැරිය යුතු යැයි අවවාද කළහ. තවද “සම්පජාන මුසාවාද ලජ්ජා” යනුවෙන් දැන දැන බොරු කීම වනාහි අධ්‍යාත්මික හිස් බවක් හෙවත් ලැජ්ජා විය යුතු කරුණකැයි දැක් වූහ.

ශාස්තෘවරයෙකු වශයෙන් ලෝක ඉතිහාසයෙහි බුදුරජාණන් වහන්නේ වනාහි අතිශයින් සුවිශේෂීය. උන්වහන්සේගේ වාග් විලාසය හෙවත් වචනය ශබ්දය හෙවත් ස්වරය අංග 08 කින් යුක්ත වූයේ ය. ධර්මය සන්නිවේදනයෙහිලා බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය ප්‍රධානතම මාධ්‍යය වූයේ එහෙයිනි. උන්වහන්සේගේ වචනයෙහි ශික්ෂිත වූයේ මනුෂ්‍යයන් පමණකුදු නොව; දෙව් බඹුන් මෙන් ම තිරිසන් සතුන් පවා එම හඬෙහි සුශික්ෂිත වූයේ ය. සුමංගල විලාසිනි අටුවාවේ පැණෙන විග්‍රහයකට අනුව බුදු වදන “විස්සටිඨ” සිනිඳු බව “මඤ්ඡු” මිහිරි බව “විඤ්ඤෙය්‍ය” පහසුවෙන් අවබෝධ වන බව “සවණීය” සවන් දීමට පි‍්‍රය බව “අවිසාරී” නොවිසුරුණු හෙවත් නිරවුල් බව “බින්දු” පරිපුර්ණත්වය හෙවත් ඒකමිතිය “ගම්භීර” ගැඹුරු බව “නින්නාද” 10 පිළිරැව් දීම හෙවත් පැතිරෙන බව යනාදී වූ මෙම ලක්ෂණ ධර්ම සන්නිවේදකයෙකු සතුව පැවතීම කෙතරම් අගනේ ද? මෙයට වඩා වූ පුද්ගලයෙකුගේ වචන භාවිතයෙහි පැවතිය යුතු නිරවද්‍යභාවය නම් කුමක්ද? ලෝක ව්‍යවහාරය තුළ ලෞකික ලෝකෝත්තර කවර වූ අර්ථ සිද්ධියක් සලසනු වස් බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය කෙතරම් සුවිශේෂී බවින් යුක්තදැයි සිතා බැලිය යුතුය.
නූතන කළමනාකරණ සංකල්පයන්හි භාවාත්මක බුද්ධිය මෙහෙයවීම මූලික ව මානව සම්පත් කළමනාකරණය, පුද්ගලාන්තර සබඳතා තහවුරු කිරීම, පිරිස් පාලනය යනාදියෙහිලා පූර්වෝක්ත කරුණුවල උපයෝගීතාව සිතා බැලිය යුතු ම ය.

බුදුහු වනාහි “යථාවාදී තථාකාරී තථාවාදී” වූයේ යමක් කියන්නේ ද එසේම කරන්නේ වේ. එසේ ම යමක් කළේ ද නොසඟවා එය කියන්නේ ම ය. මෙම පිළිවෙත උන්වහන්සේ වැනි වූ නායකයෙකු ගේ අනුත්තර බුදු ගුණයක් මැවේ. “යො වදතං පවරො මනුජේසු” බැවින් බුදුහු ලෝකයේ කතා කරන මිනිසුන් අතර අග්‍ර වූයේ ම ය; උතුම් වූයේ ම ය. උන්වහන්සේ ආගන්තුකයින් පිළිගැනීමෙහි ආචාර සමාචාර පැවතුම්වලින් යුක්ත වූහ. එහිදී “පුබ්බභාසී” ආගන්තුකයාට පළමු කතා කොට, පිළිගැනීම් සහිත කතාබහෙන් යුක්ත වන සේක. අනෙක් තැනැත්තා කතාකරන තුරු නිහඬ නොවී, පළමු ව කතා කොට වෙහෙස කරන සේක. “සම්මොදකො” පැමිණි අය සමඟ සතුටු සාමීචි කතා බස්හි පිළිසඳරෙහි යෙදෙති.

උන්වහන්සේ වනාහි ලෝක සත්වයාට උභයාර්ථ සිද්්ධිය අරමුණු කරගත් කතාවෙන් පමණක් යුක්ත වන සේක. තවද සවන්දෙන්නාට සතුට උපදවන සිහි කටයුතු වචන පමණක් ම දෙසූහ. “සමෙමාදනීයං කතං සාරාණීයං විතිසාරෙත්වා” “සඛිලො” හමුවීමට පැමිණියේ කවරකු වුවද ඔහු සමඟ මෘදු මොළොක් කනට මිහිරි පි‍්‍රය කතා ඇත්තේ ම වූහ. බුදුරදුන් පවා යහළුවෙකු මෙන් ඔහුට ඇහුම්කන් දුන්හ. බුදුහු සාරා සංකෙය්‍ය කප් කෙලක් මුළුල්ලෙහි කළ ආර්්‍ය පර්යේෂණයෙහි ආධ්‍යාත්මිත විපුල ඵලය ස්වකීය ලෝකාර්චර්යාවෙහි නොවක් ව භාවිත කළහ. බුදුරදුන්ගේ භාෂණයෙහි සුවිශේෂී වූ ලක්ෂණ රැසක් පෙළෙහි සඳහන් වේ. එනම්,

1. කල්‍යාණ වාචො - යහපත් වචන ඇති
2. කල්‍යාණ වාක්කරණො - යහපත් වූ වචන උච්චාරණ්‍ය කර කතා කරන
3. පොරියා වාචාය – ව්‍යක්ත වූ උසස් ශිෂ්ට නාගරික වචන කතා කරන
4. විස්සට්ඨාස - විශ්වාසවන්ත ස්ථිර සුමට වචන ඇති බව
5. අනෙලගලාය - කෙළ තොළු බවෙන් තොර වූ
6. අත්ථස්ස විඤ්ඤාපනියා - අර්ථයෙන් යුක්ත වචන කතා කරන

බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසීමට කොපමණ දෙනා කෙතරම් සතුටු වුවත්, බුදුහු දේශනා කළේ තමන් වහන්සේ දත් දෙයින් ඉතාම ස්වල්ප වුවකි. නඛසිකා සූත්‍රයෙහි දැක්වෙන තොරතුරු අනුව උන්වහන්සේ නිය පිටට ගත් පස් ප්‍රමාණය උපමාවට ගෙන දේශනා කළේ අල්ප කරුණු පමණක් දෙසූ බවය. එබඳු ම අවස්ථාවක් සිංසපා වනයෙහි දී ඇටේරිය කොළ අතට ගෙන දැක්වීමෙන් කළ දේ්ශනය ද වැදගත් වේ. දෙසූ ධර්ම කරුණු අතෙහි ඇති ප්‍රමාණය මෙනැයි ද, නොදෙසූ ධර්ම කරුණු භූමියෙහි වැටී ඇති සහ ගස්වල ඇති ප්‍රමාණයට ද වඩා යැයි දැක්වීමෙන් පැහැදිලි කළහ. මෙම කරුණු දැක්වීම නම් නිවන අවබෝධ කර ගැනීමේ සත්වයාගේ උපයුක්තාව සලකා ඇති බවය.

“මහණෙනි කුමක් මවිසින් වෙසෙනින් දැන නොදෙසූ දෙය ම ඉතා මම බොහෝ ය. දෙසූ දෙය ඉතා ස්වල්ප ය. මහණෙනි කුමක් හෙයින් එසේ නොදෙන ලද ද? මහණෙනි; මෙය වැඩදායක නොවේ. මහ බඹසරට හේතු නොවේ. විරාගය සම්බෝධිය සඳහා ඉවහල් නොවේ. නිර්වාණාබෝධය සඳහා නෙවෙයි. එහෙයින් නොදෙසුවෙමයි” 12 යනුවෙනි. මේ අනුව පැහැදිලි වනුයේ බුදුහු වචන පරිහරනය කළේ ඉතාම යෝග්‍ය අවස්්ථාවෙහි පමණක් බව ය.

දීඝ නිකායේ “ලෝහිච්ච” සූත්‍රයෙහි දැක්වෙන පරිදි “බුදුන් වහන්සේගේ දේශනයන් කෙතරම් අර්ථවත් වී ද යත් එසේ ම කෙතරම් පරමාර්ථයට අනුකූල වූයේ ද යත් එම දෙසුම අසා ඇතැම් අය තම ජීවිතය පරිහානියෙන් වලක්වා ලූ ශ්‍රේෂ්ඨතමයා යැයි බුදුන් වහන්සේ පැසසුමට ලක් කරති.” 13
සමකාලීන භාරතීය සමාජයෙහි වෙනත් ආගමික කණ්ඩායම් රැසක් විසූහ. බුදුහු ඔවුනොවුන් සමග අතිශයින්ම සුහදශීලී වූයේ මිත්‍රභාවය ද ආගමික සහනශීලී බවින් ද යුක්ත වූහ. බුදුරජාණන් වහන්සේ තම ආරාමය වෙත පැමිණෙනු දුටු කල්හි ශාස්තෘවරයා හෙවත් ප්‍රධානියා තම ගෝල පිරිසව නිශ්ශබ්ද කර ගත්හ. “අප්ප සද්දා භොන්තො; හොන්තු මා භොන්තො, සද්දමකස්ස අයං සමණො ගොතමො ආගච්ඡතී. සො බො පානායස්මා අප්පසද්ද කාමො, අප්පසද්ද විනීතො, අප්පසද්දස්ස වණ්ණවාදී, අප්ප සද්දං පරිස” විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤෙය්‍යාති.” 14

පින්වතුනි නිශ්ශබ්ද වන්න. කිසිදු ශබ්දයක් නොගන්න. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙහි වඩිති. උන්වහන්සේ නිශ්ශබ්දතාවයට කැමැති කෙනෙකි. නිශ්ශබ්දතාවයෙන් හික්මුණු අයෙකි. නිශ්ශබ්දතාවයෙහි ගුණ කියන කෙනෙක්, මේ පිරිස නිශ්ශබ්ද බව දැනුනොත් උන්වහන්සේ මෙහි පැමිණෙන්නාහයි දැන ගන්න.
උන්වහන්සේගේ කාලය ගත වුණේ නිහඬව ගස් ගල් යට කල් ගෙවමින් නොවේ. ඉහත සංවදයෙන් වුවද අන්‍යාගමිකයන් පවා උන්වහන්සේ කතාබහ කරන ආකාරය දැන සිටිය හ. සූත්‍ර පිටකයෙහි දීඝ නිකායේ උදුම්බරික සීහනාද සූත්‍රය ට අනුව බුදුරජාණන් වහන්සේ විවේකය, නිශ්ශබ්දතාවය අගය කරන බව කියැවෙන සංවාදයක් සන්ධාන නම් ගෘහපතියා සහ නිග්‍රෝධ නම් පරිබ්‍රාජකයා අතර ඇති වේ. මෙහිදී නිග්‍රෝධ පිරිවැපියා බුදුරජාණන් වහන්සේගේ නිශ්ශබ්දතාවය අවිචාරවත් ව විවේචනය කරයි.

“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වාද විවාදයට අකැමැති කෙනෙක්. උන්වහන්සේ වාද කරන්නේ නිශ්ශබ්දව ද? කතා නොකර සාකච්ඡා කළ හැක්කේ ද? උන්වහන්සේ ගේ සාකච්ඡාව කවුරුන් සමග ද? කුමන කරුණු ද? උන්වහන්සේගේ කාලය ප්‍රඥාව ගෙවෙන්නේ පාලු තැන්වල ද? උන්වහන්සේ මා සමග වාදයට පැමිණියොත් එතුමන්ගේ හිස් බව මාගේ එකම එක ප්‍රශ්නයකින් ඔප්පු කර පෙන්වමි” 15 යි යනුයි. බුදුහු කවර හෝ දේශනාවක් කරනු ලැබුවේ පුද්ගල ශාන්තිය ;වනුවෙනි. උන්වහන්ස් වෙත වාදයෙහි යෙදී කවරෙකුවත් පරාජය කිරීමට හෝ තමන් වහන්සේගේ දේශනාව හුවා දැක්වීමට හෝ කිසිත් වුවමනාවක් නොවුණි. ස්වකීය වචනය ශ්‍රාවකයාගේ සන්තානයෙහි නිවීම අරමුණු කරගත් වුවක් ම විය.

“බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනයෙහි ලා සිය කාර්යභාරය කෙතරම් උතුම් ආකාරයෙන් සිදු කර තිබේ ද? වරක් දෙකක් දේශනා කිරීමෙන් කාර්ය ඉටු නොවී යැයි ශ්‍රාවකයා අතහැර දැමීමක් නැත. එකම දේ නැවත නැවත පැවසීමෙන් ශ්‍රාවකයා දිරි ගැන් වේ. විවිධ දේශනා ක්‍රම (අනෙක පරියායෙන ආචික්ඛාමි) භාවිත කිරීමෙන් ද නීරස බව මග හැර වේ.” 16

බුදුරජාණන් වහන්සේ ගේ වාග් විලාසය හෙවත් භාෂණය වඩාත් මතු වූයේ දේශනා විලාසය හා ප්‍රතිබද්ධවය. එහිදී අනුශාසනා ප්‍රාතිහාර්යය උන්වහන්සේගේ කථනයෙහි පරමාර්ථ අරමුණු සාක්සාත් කළ වග ප්‍රත්‍යක්ෂය. “මෙසේ සිතන්න. මෙසේ නොසිතන්න. මෙසේ මෙනෙහි කරන්න. මෙය දුරලන්න. මෙයට පැමිණ වසන්න. යනුවෙන් අනුශාසනා කරමි. “අහං හි බ්‍රාහ්මණ ඒවමනුසාමි. ඒවං විතක්කෙථ. මා ඒවං විතක්කයිත්ථ. ඒවං මනසිකරෝථ. මා ඒවං මනසිකරිත්ථ. ඉදං පජහථ. ඉදං උපසම්ඡ්ඡ විහරථ.” 17
බුදුරජාණන් වහන්සේ වාග් විලාසය: රාග රක්ත නොවූ යේ, ද්වේශ විමුක්ත වූයේ, මෝහයෙන් මූඪ නොවූයේ ම ය. එසේම අර්ථ ගම්භීරතාවයෙන් යුතු වූයේ, එහි අර්ථ විපරිත නොවේමැයි. උන්වහන්සේගේ වචනය නිශ්චිත අරුත් ප්‍රතිපාදනය කෙරෙයි. එම වචන ශ්‍රවණය කිරීමෙන් කිසිසේත් ශ්‍රාවකයාගේ මානසික වශයෙන් හෝ චර්යාමය වශයෙන් විපරිත නොවේ. බුද්ධ දේශනාවෙහි කවර වූ සම්මුති දේශනා පරමත්ථ දේශනා, ආනුපුබි කතා සාමුක්කංසික දේශනා, සංඛිත්තෙන දේශනා විත්ථාර දේශනා, නෙය්‍යත්ථ සුත්ත (දේශනා) නීතත්ථ සුත්ත (දේශනා), පරියාය දේ්ශනා, නිරිපරියාය දේශනා ආදී වූ ක්‍රමවේදයන් හි වාග් විලාසය හෙවත් භාෂණය නිවන අරමුණ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයෙහිලා අභිප්‍රාය වූවකි. උන්වහන්සේ භාවිත කළ ලෞකික අර්ථයෙන් මෙන්ම ලෝකෝත්තර අර්ථයෙන් යුක්ත කුමන වචනයක් වුවද මනා ශික්ෂණයෙන් සුභාසිත ය.

පෙළෙහි හමුවන දුක්ඛ, සුඛ, උපෙක්ඛා, නිබ්බාණ, පටිච්ච සමුප්පාද, බුද්ධ, කම්ම, විපාක, ආදිනව, ආනිසංස, කුසල, අකුසල, පුඤ්ඤ, පාප, සච්ච, පාරගත, සංසාර, කත පුඤ්ඤ, ලෝභ, දෝස, මෝහ, ධම්ම, චරණ, අරහ ආදී වූ ධර්ම විවරණ වෙනත් භාෂාවක වචනවල අදහස් මගින් නිවැරදිව ම අවබෝධ කර ගැනීම දුෂ්කර ය. තමන් වහන්සේගේ දේශනාවෙහි අනන්‍යතාව ආධ්‍යාත්මික ලක්ෂණය එයයි.
බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයෙහි අර්ථ හා ධර්ම ගම්භීරතාවය අතිශයින් ම විශිෂ්ටය. බුදුහු ස්වකීය දේශනය මගින් ශ්‍රාවකයාගේ සුඛාවබෝධය සඳහා විවිධ ක්‍රමෝපායයන් අනුගමනය කළහ. එහිදී උපයෝගී කර ගත් උපමා, කතන්දර, පියවර ක්‍රමය, විභජන ක්‍රමය, ප්‍රායෝගික ක්‍රමය, පැවරුම්, අභ්‍යාස, ක්‍රියාකාරකම්, ගවේෂණය, ආදර්ශන, භූමිකා රංගනය, සංවාද, සාකච්ඡා, දේ්ශනා ක්‍රමය, බුද්්ධි කලම්භන, ප්‍රශ්නෝත්තර ආදී වූ ක්‍රම වේදයන්හි නිදසුන් ගෙන සලකා බැලූ කල්හි වාග් විලාසයෙහි අපූර්වත්වය විශිෂ්ටත්වය මොනවට විශද වේ.

ඒ ඒ ප්‍රස්තුතයෙහිලා ඊට යෝග්‍ය වූ වාග් මාලාව, ව්‍යවහාර ශෛලීන්, ශබ්ද ඝටනය මගින් උන්වහන්සේගේ වාග් විලාසය සුසැදුණි. ලෝකයේ පහළ වූ ශාස්තෘවරුන්ගේ දේ්ශනා සලකා බලත් ම චතුරාර්ය සත්‍යය නිශ්‍රීත උන්වහන්සේගේ අනුශාසනය හුදු විශ්වාසයෙන් පිළිගැනීමෙන් තොර වූයේ, සාක්ෂ්‍යය නිදසුන් සහිතව ම අතිවිශිෂ්ට ය. බුදුරජාණන් වහන්සේගේ භාෂණය, කතා ව්‍යවහරය හෙවත් වාග් විලාසය විශිෂ්ට ය; ශ්‍රේෂ්ඨතම ය.
.
මොරටුමුල්ල
ශ්‍රී බෝධිරුක්ඛාරාම වාසී,
පැපිළියානේ සුමිත්ත හිමි

Source: https://www.facebook.com/muduna/

0 comments (+add yours?)

Post a Comment