බුදු රජාණන් වහන්සේ සහ අශ්වයන් හීලෑ කරන්නකු වූ කේශි අතර පැවැති සාකච්ඡාව
“එන්න පින්වත, ඔබ මෙහි පැමිණීම කොතරම් හොඳ ද! අසුන් ගත මැනැවි.” “
එසේ ය ස්වාමීනි, තකහනියක් ම ඔබ වහන්සේ බැහැදැකීමට පැමිණියෙමි. ඔබ වහන්සේගේ ඇසුර මහත් පි‍්‍රය උපදවන බවක් දැනෙයි.”
“පින්වත, ඔබ බොහෝ දුර-බැහැර සිට පැමිණ සිටින බව ඔබේ විඩාබර මුහුණින් පෙනෙයි.”
“නැත නැත ස්වාමීනි, මම මේ කෝසල ජනපදයේ ම පදිංචි අයෙක් වෙමි.”
“පින්වත, ඔබේ නම කුමක් ද?”
“ස්වාමීනි, මම ‘කේසී’ නම් වෙමි. වඩාත් පැහැදිලි ව පවසන්නේ නම්, ‘කේසී අස්සදම්මසාරථි’ නම් වෙමි.”
“එසේ නම් පින්වත, ඔබ අශ්වයන් හික්මීමෙහි සමර්ථයෙක් විය හැකි ය.”
“එසේ ය ස්වාමීනි, මම අශ්වයන් හීලෑ කිරීමෙහි මහත් සමර්ථයෙක් වෙමි. රජතුමාගේ අශ්වයන් හීලෑ කරන්නේ ද මම යි.”
“එසේ නම් කේසිය, හීලෑ නොවූ අශ්වයකු පළමුකොට ම ඔබ හීලෑ කරන්නේ කෙසේ ද?”“
ස්වාමීනි, හීලෑ බවට පත් නොවූ තරුණ අශ්වයකු හීලෑ කිරීමට ඉතා මෘදු මොළොක් පිළිවෙතක් අනුගමනය කරන්නෙමි. එලෙස මෘදු මොළොක් ක්‍රමයට හීලෑ කිරීමට අපහසු වුව හොත් එයට වඩා තද පරුෂ ක්‍රමයට හීලෑ කරමි.”
“තද පරුෂ ක්‍රමයට හීලෑ කිරීමට ද අපහසු වුව හොත්?”
“එසේ හීලෑ කිරීම අපහසු වුව හොත් මම එම ක්‍රම දෙක ම අනුගමනය කර හීලෑ කරන්නෙමි. එනම් මෘදු මොළොක් ක්‍රමයට සහ තද පරුෂ ක්‍රමය යන ක්‍රියාමාර්ග දෙක ම අනුගමනය කරන්නෙමි.”
“කේසිය, ඉදින් ඔබේ අශ්වයා එම ක්‍රම තුන අනුව ද හීලෑ කිරීමට අසමත් වුව හොත් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක් ද?”
“භාග්‍යවතුන් වහන්ස, එම ක්‍රියා පිළිවෙත් තුන අනුව අශ්වයා හීලෑ කිරීම අපහසු නම් හාත්පසින් ම වෙනස් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නෙමි.”
“එය කුමන ක්‍රියා පිළිවෙතක් ද පින්වත?”
“මගේ ආචාර්ය පරම්පරාවට අපකීර්තියක් වීමට ඉඩ දිය නොහැකි ය. එබැවින් හිමියනි, මම එම අශ්වයා මරාදමන්නෙමි. එය යි මා අනුගමනය කරන ක්‍රියා පිළිවෙත.
“ස්වාමීනි, මා ‘අශ්වදම්මසාරථි’ යනුවෙන් හඳුන්වන්නාක් මෙන් ඔබ වහන්සේ ද ‘පුරිසදම්මසාරථි’ නමින් හඳුන්වන බව මම අසා ඇත්තෙමි. මම අශ්වයන් දමනය කරන අයුරු ඔබ වහන්සේට පැවැසුවෙමි. එබැවින් ස්වාමීනි, ඔබ වහන්සේ පුරුෂයන් දමනය කරන අයුරු මට පැහැදිලි කර දෙනු මැනවි.”
“හොඳයි පින්වත, මම පැහැදිලි කර දෙන්නෙමි. කේසිය, මම ද ඔබ මෙන් ම මෘදු මොළොක් වචනයෙන් පුරුෂයන් දමනය කරමි. එසේ ම තද පරුෂ භාවයෙනුදු දමනය කරන්නෙමි. මෘදු මොළොක් භාවයෙන් සහ තද පරුෂ භාවයෙන් ද පුරුෂයන් දමනය කරන්නෙමි.”
“භාග්‍යවතුªන් වහන්ස, මම අසා ඇත්තෙමි. ඔබ වහන්සේ ‘ආලවක’ නම් රුදුරු යක්ෂ සේනාධිපතියා මුදු මොළොක් වචනයෙන් ම දමනය කළ බව අසා ඇත්තෙමි.”
“එසේ ය කේසිය, මෘදු මොළොක් අයුරින් පුරුෂයන් දමනය කිරීම සඳහා මම මෙබඳු ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමි. ඒ කෙසේ ද යත්? මම ඔවුන්ට මෙසේ අනුශාසනා කරමි: ‘පින්වත, කාය සුචරිතය මෙබඳු ආකාර වෙයි. කාය සුචරිතය මෙබඳු ආකාර වෙයි. වචී සුචරිතයෙන් යුක්ත වුව හොත් එයින් මෙබඳු යහපත් විපාකයක් අත් කරගත හැකි ය. එසේ ම වචී සුචරිතය මෙබඳු ආකාර වෙයි. වචී සුචරිතයෙන් යුක්ත වුව හොත් මෙබඳු ආකාර යහපත් විපාක අත් කරගත හැකි ය. මනෝ සුචරිතය මෙබඳු ආකාර වෙයි. මනෝ සුචරිතයෙන් යුක්ත වුව හොත් මෙබඳු ආකාර යහපත් විපාක අත් කරගත හැකි ය. දෙවියෝත් එලෙස සුචරිතයෙන් යුක්ත වන්නා හ. මනුෂ්‍යයෝත් ඒ අයුරින් සුචරිතයෙන් යුක්ත වන්නා හ,’ යන මේ ආකාරයට කරුණු පහදා දෙමි.”
“වැටැහිණි ස්වාමීනි, එසේ නම් ඔබ වහන්සේ පරුෂ භාවයෙන් මිනිසුන් දමනය කරන ආකාරයත් දැනගැනීමට කැමැත්තෙමි. එය ද පහදා දුන මැනැවි.”
“පින්වත් කේසිය, ‘කාය දුශ්චරිතය මෙසේ වන්නේ ය. කාය දුශ්චරිතයෙන් යුතු පුද්ගලයාට ලැබෙන විපාකය මෙබඳු වන්නේ ය. වාග් දුශ්චරිතය මෙසේ වන්නේ ය. වාග් දුශ්චරිතයෙන් යුක්ත පුද්ගලයාට ලැබෙන විපාක මෙබඳු වන්නේ ය. මනෝ දුශ්චරිතය මෙබඳු වන්නේ ය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත පුද්ගලයාට ලැබෙන විපාක මෙබඳු වන්නේ ය. මනෝ සුචරිතය මෙබඳු වන්නේ ය. මනෝ සුචරිතයෙන් යුක්ත පුද්ගලයාට ලැබෙන විපාක මෙබඳු වන්නේ ය.’ මෙලෙසින් පැහැදිලි කරන මම එතෙකින් නොනැවැතී තවදුරටත් කරුණු පැහැදිලි කරන්නෙමි. ‘නිරය මෙබඳු ආකාර
වෙයි. තිරශ්චීන යෝනිය මෙබඳු ආකාර වෙයි.
පේ‍්‍රත යෝනිය මෙබඳු ආකාර වෙයි. මනෝ සුචරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. මනෝ දුශ්චරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. කාය සුචරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. වචී දුශ්චරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය. වචී සුචරිතය මෙසේ ය. එහි විපාක මෙසේ ය.’ යනාදි වශයෙන් කරුණු විස්තර කර දෙන්නෙමි.”
“ඉදින් ස්වාමීනි, යම් හෙයකින් ඔබ වහන්සේ වදාළ ක්‍රම තුනෙන් ම මිනිසකු දමනය කිරීමට නොහැකි නම් ඔබ වහන්සේ කුමන පියවරක් ගන්නා සේක් ද?”
“එසේ නම් කේසිය, මම එම පුද්ගලයා මරාදමන්නෙමි.”
“තථාගතයන් වහන්ස! ඔබ වහන්සේ මේ කුමක් වදාරන්නෙහි ද? බුදු බව ලැබූ උතුමන්ට ප්‍රාණඝාතය කැප නැහැ නො වේ ද ස්වාමීනී?”
“පින්වත් කේසිය, එය සත්‍යයකි. ඉහත සඳහන් කළ ක්‍රම තුනෙන් ම එම පුද්ගලයා හදාගැනීමට නොහැකි වුව හොත්, හික්මවාගැනීමට නොහැකි වුව හොත්, මම එම පුද්ගලයාට තව දුරටත් අවවාද නොකරමි; අනුශාසනා නොකරමි. ඔහු අවවාද අනුශාසනා නොකළ යුත්තකු වශයෙන් සලකා අත්හැරදමමි. ඔහු ආශ්‍රය කරන අනෙකුත් බුද්ධිමත් පිරිස ද අවවාද අනුශාසනා නොකළ යුත්තකු වශයෙන් සලකා ඔහු අත්හැරදමනු ඇත. පින්වත, මා විසිනුත්, මගේ ශ්‍රාවකයන් විසිනුත්, කෙනකු වෙන් කිරීම, කොන් කිරීම, අවවාද නොකර අත්හැරීම ආර්යය විනයට අනුව මරාදැමීමක් වශයෙන් සැලැකෙයි. එය ආර්ය විනයට අනුව දිය හැකි බරපතළ ම දඬුවම වන්නේ ය.”
“එසේ ය ස්වාමීනි, වැටහිණි ස්වාමීනි, යටිකුරු කළ දෙයක් උඩුකුරු කළ නියාවෙන් අඳුරෙහි සිටියකුට පහනක් දැල්වූ නියාවෙන්, දෙනෙත් නොමැත්තකුට දෙනෙත් ලද නියාවෙන් සියල්ල පැහැදිලි කරගතිමි. ස්වාමීනි, මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් වන්නෙමි. සාදු! සාදු! සාදු!”
Us ON ► මුදුන (Muduna)
Labels:
බුද්ධ චරිතය
Subscribe to:
Post Comments (Atom)
0 comments (+add yours?)
Post a Comment