බුදු රදුන් බමුණන්ට බමුණන් පෙන්වූ සැටි!




බුද්ධ කාලීන ඉන්දියාවේ ආගමික තලයේ ඉහළින් සිටි බ්‍රාහ්මණයන්ට අභියෝගයක් වූයේ බුදු දහම ය. බුදු රජාණන් වහන්සේ ඔවුන්ගේ මත බිඳ-හෙළා, ඔවුන් සැබෑ බ්‍රාහ්මණයන් නොවන බව ද වදාළහ. මේ ලිපිය ඒ පිළිබඳ ව ලියැවුණකි.

“රාගාදි කෙලෙසුන්ගෙන් මිදුණ, ශීලාදි ගුණයන්ගෙන් පිරිපුන් යමෙක් නැවත නූපදින තත්ත්වයට පත් ව සිටී ද හෙතෙමේ බ්‍රාහ්මණ නම් වෙති” යි බුදුන් වහන්සේගේ ඉගැන්වීම විය. මහා බ්‍රහ්මයා ලෝකය මැවූ බවටත් ලෝකය පාලනය කරනු ලබන්නේ ද මහා බ්‍රහ්මයා විසින් බවටත් මූඪ විශ්වාසයක් බමුණන් තුළ මුල් බැසගෙන තිබුණේ බුදුන් වහන්සේ ලොව පහළ වීමට ද වසර දහස් ගණනකට පෙර සිට ය. පිරිසිදු පුද්ගලයා යන අදහසක් ‘බ්‍රාහ්මණ’ යන වචනයේ ඇතැ යි ද බමුණන්ගේ පිළිගැනීම වූ අතර, ඒ නිසා බ්‍රාහ්මණ වංශිකයන්ට අන් සියල්ලන් ම ගරු කළ යුතු ය යන මතයක් ඔවුන් තුළ තිබුණු බව ඉතා පැහැදිලි ය.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දවස භාරත සමාජයේ ඉහළින් ම වැජඹුණ ජන කොට්ඨාසය වූයේ බමුණෝ ය. විවිධ පිළිවෙත් අනුගමනය කළ බමුණෝ ධර්ම ශාස්ත්‍ර හැදෑරීම් හා ඉගැන්වීම්,

යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම්, නක්ෂස්ත්‍රය යනාදිය පිළිබඳ ව ගැඹුරු අත්දැකීමක් ඇත්තෝ වූ හ. එමෙන් සමාජය තුළ අනුශාසකයන් වශයෙන් පෙනී සිටීම ද ඔවුන්ගේ චාරිත්‍රයක් විය. බමුණන්ට ම ආවේණික වූ තවත් ධර්මතාවක් ද ඔවුන’තර විය. එනම්: තම පරම්පරාවන්හි ආදි ම පුරුෂයන් ගෞරවයෙන් හා භක්තියෙන් සිහි කර, ඔවුන් පිළිබඳ ව මතු පරපුරට කරුණු කියා දීම ය.

ඒ අතර රාජ රාජ මහාමාත්‍යාදීන්ට පුරෝහිතකම් කළෝ ද බමුණෝ ම වූ හ. එහෙත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් වූයේ බමුණු පවුලක උපන් තරමින් යමකු බ්‍රාහ්මණයකු නොවන බව ය.

අනෙක් අතට බුදුන් වහන්සේගේ ධර්මය භාරත ජන සමාජයේ බහුතරයක් දෙනා පිළිගත් නමුදු බුදුන් වහන්සේටත් උන් වහන්සේගේ ධර්මයටත් විරුද්ධ ව කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයක් ගෙන ගිය පිරිසගෙන් වැඩි දෙනෙක් වූයේ බමුණෝ ය.

එදා භාරතයේ විසූ බමුණු සමාජයේ බලවතුන් කොටසක් බුදු රජාණන් වහන්සේ කෙරෙහි නොසතුටින් පසු වුව ද මුහුකුරා ගිය නැණ-නුවණ ඇති ඇතැම් බුද්ධිමත් බමුණෝ බුදුන් වහන්සේ දෙසූ ධර්මය යථාවබෝධයෙන් පිරික්සා බැලීමට උනන්දුවක් දැක්වූ හ. ඔවුහු බුදු රජාණන් වහන්සේ සොයා ගොස් ප්‍රශ්න විචාළහ; ධර්මය පිළිබඳ ව සැක ඇති තැන් විමසා ඒවා නිවැරදි කරගත්හ. බුදු රජාණන් වහන්සේ ද ඔවුන්ට කරුණු කියා දී ධර්මයෙන් ම අනුශාසනා කළ සේක. එලෙස බුදුන් වහන්සේ බැහැදැකීමට ගිය කෙබඳු තරාතිරමක බ්‍රාහ්මණයකු වුව ද බුදුන් වහන්සේත් උන් වහන්සේගේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයත් ගැන පැහැදී මිස නොපැහැදී ආපසු ගියේ නැත. ඒ හැම කෙනෙක් ම බුදුන් වහන්සේ ඉදිරියෙහි චතුරාර්ය සත්‍යය අවබෝධ කළ, නිවන් මඟට පැමිණි ශ්‍රාවකයෙක් ම වූ හ.

මීට ම සමගාමී ව බුදු ඇසට හමු වූවෝ ද වූ හ. මහා කරුණා සමාපත්ති සුවයෙන් ලොව බලා වදාරන බුදු රජාණන් වහන්සේට සෝවාන් ආදි මාර්ගඵලයන්ට පිවිසීමට සුදුසුකම් ලද පින් ඇත්තෝ ද පෙනුණහ. ඔවුන් වෙසෙන තැන් සොයා වඩින බුදු රජාණන් වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කොට නිවනට යොමු කරන සේක.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ එසමයෙහි රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. රජගහ නුවර ආසන්නයේ එක්තරා නියම්ගමක් විය. මහාසාල කුලයට අයත් බමුණු කෙනෙක් එහි වෙසෙයි. ඔහු නමින් උදය බ්‍රාහ්මණයෝ ය. උදය බ්‍රාහ්මණයෝ මහා ධනවතෙකි. අන්‍යන්ට උපකාර කරන එතුමෝ පිනට- දහමට මැළි නො වූ හ. උපතින් ම බ්‍රාහ්මණ ආගම අදහන්නකු හෙයින් බුදු රජාණන් වහන්සේ සමඟ කුලුපගකමක් නැත්තා හ.

එදින අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්ති සුවයට සමවැදුණ බුදු රජාණන් වහන්සේ ලොව බලා වදාරන කල්හි මේ උදය බ්‍රාහ්මණ තෙමේ සෝවාන් වීමට පින් ඇති බව බුදු නුවණින් දුටු සේක්, කිසිදු සම්බන්ධයක් නැති නමුදු ඔහු සමඟ කතා-බස් කර දහම් දෙසීමට අවස්ථාවක් උදා කරගත හැකි හෙයින් එදින ඔහුගේ නිවෙසට පිඬු සිඟා වඩින්නට අදහස් කළ සේක; එසේ අදහස් කොට දැන-හැඳුනුම්කමක් නැතත් දවල් වී හෝ පිණ්ඩපාතය පිණිස වැඩම කළ සේක.

මෙම අවස්ථාව වන විට උදය බ්‍රාහ්මණතුමා ආලින්දයේ සැප අසුනක වාඩි වී සිටියේ ය. බුදු රජාණන් වහන්සේ තම නිවෙසට වඩිනු දුටු උදය බමුණාණෝ, ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මහරජ කෙනකුගේ එක ම පුත්‍රයෝ ය; රජකම අතහැර පැවිදි වූ කෙනෙක; කොහොම නමුත් සැලකිය යුතු කෙනෙක. රජ-සිටුවරුන්ගේ ගෞරවයට පාත්‍ර වුණ, වැඳුම්-පිදුම් ලබන උත්තම කෙනෙක; වැදගතෙක; දෙවියන් පවා ගරු කරන ශාස්තෘවරයෙක. කසාවත් පෙරවාගෙන, යාචකයකුගේ විලාසයෙන් කිසි ම හැඳුනුම්කමක් නැති ව උදෑසන ම කුමන අරමුණක් නිසා මා සොයා පැමිණෙන්නේ දැ යි මට නම් හිතාගන්නට තරම් වත් නොහැකි ගැටලුවක් ය. කම් නැත. මා නොසැලකුවොත් එය මට මදි-පුංචිකමකි,’ යි සිතී ය.

බුදු රජාණන් වහන්සේ සිටු ගෙයි මිදුලට වැඩම කිරීමත් සමඟ ම උදය බමුණාණෝ වහා හුනස්නෙන් නැඟී සිටියහ; බුදුන් වහන්සේ ගෙතුළට වැඩමවා පිළියෙල කරන ලද සුව-පහසු අසුනෙහි වඩා-හිඳුවූ හ; තමන් වෙනුවෙන් පිළියෙල වුණ ප්‍රණීත ආහාරයෙන් පාත්‍රය පුරවා එය වැස්මෙන් වසා දෑතින් ම බුදුන් වහන්සේට පිළිගන්වා වැඳ නමස්කාර කළහ. ඉනික්බිති කිසිදු කතා-බහකින් තොර ව බමුණුතුමෝ ගෙතුළට ගියෝ ය.

බුදු රජාණන් වහන්සේ මෙසේ සිතූ සේක: ‘මා මෙහි පැමිණියේ උදය බමුණාගේ දානය ගැන බලාපොරොත්තුවකින් නො වේ; ඔහුට ලැබෙන්නට තිබෙන සෝවාන් මාර්ගයට පිවිසීමට අවස්ථාව ලබා දීමට ය. ඔහු කතා-බහකින් තොර ව ගෙතුළට ගිය හෙයින් ඔහු සමඟ කතා කර, ඊට අවස්ථාවක් ලබාගැනීම නොහැකි විය. හෙට දින ද පැමිණෙන්නෙමි.’ එයින් පසු බුදු රජාණන් වහන්සේ විහාරයට වැඩි සේක.

දෙවැනි දවස්හි ද එසේ ම විය.

තුන්වැනි දවස්හි ද බුදු රජාණන් වහන්සේ උදය බමුණාගේ ගෙට වැඩි සේක. එදින පාත්‍රය ගෙන ගිය බමුණුතුමෝ ප්‍රණීත ආහාරයෙන් පාත්‍රය පුරවා වසා සැප-පහසු අසුනක වඩා-හිඳුවා සිටි බුදු රජාණන් වහන්සේට දෑතින් ම පාත්‍රය පිළිගන්වමින් වැඳ නමස්කාර කොට මෙසේ ඇසූ හ:

“ස්වාමීනි, ඔබ වහන්සේ නැවත-නැවතත් මාගේ නිවෙසට ම පිණ්ඩපාතය සඳහා වඩී. මම ද දවසින් දවස ප්‍රණීත ලෙස දානය පිළිගන්වමි. මට හිතෙන හැටියට ඔබ වහන්සේ උසස් පෙළේ රාජ පුත්‍රයකු වුව ද කෑමට කෑදර කෙනෙක.”

බමුණා එසේ පවසත් ම බුදුන් වහන්සේ සතුටට පැමිණ සේක. ‘දවස් තුනකට පසු අද මොහු කතා කළේ ය. මගේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට ඇති හොඳ ම අවස්ථාව මෙය’ යි වටහාගත් බුදු රජාණන් වහන්සේ අසුන මත වැඩ-හිඳීමින් දන් පාත්‍රය දෑතින් ගෙන, තමන් වහන්සේගේ ඔඩොක්කුව මත තබාගත් සේක. එතැන ම බිම හිඳගත් උදය බමුණා ඇමතූ බුදු-රජාණන් වහන්සේ, දහම් දෙසන සේක්, දන් දීමෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පහක් සම්පූර්ණ කොට උපත ලැබීම නිසා බුද්ධිමත් ව භාවනා කිරීමෙන් සිත එකග කොට නැවත නූපදින තත්ත්වයට පත් විය හැකි ආකාරය පැහැදිලි කොට වදාළ සේක.

බුදුන් වහන්සේගේ ධර්මය අසා පැහැදුණු උදය බ්‍රාහ්මණතුමා නිවන් මඟට පිවිසෙන සෝවාන් මාර්ගයට පැමිණියහ. බුදු රජාණන් වහන්සේගේ බලාපොරොත්තුව එලෙසින් ම සඵල විය.

එබඳු තවත් පුවතක් මෙබඳු ය:

දැන-උගත්කමින් පිරිපුන්, වේද

ශාස්ත්‍රයන්හි පරතෙරට ගිය ‘සාලික’ නමැති බමුණු කෙනෙක් බුදු රජාණන් වහන්සේ දවස දඹදිව විසූ හ. ජටා හිස පලඳින බමුණන්ගේ උසස් ම ගෝත්‍රයට අයත් මෙම බමුණෝ බුදු රජාණන් වහන්සේ කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසු වූ හ. අන් කිසි කරුණක් නිසා නො ව, “කෙලෙසුන් නැසූ උතුමෝ ම බ්‍රාහ්මණ නාමයෙන් හඳුන්වනු මිස, ගෝත්‍රික නාමයෙන් හඳුන්වාගත් තරමට ඔවුහු බ්‍රාහ්මණ නො වෙති” යි යන මතය බුදුන් වහන්සේගේ ඉගැන්වීම වූ බැවිනි.

එක් අවස්ථාවෙක බුදු රජාණන් වහන්සේ වෙත ගිය ‘සාලික’ බමුණෝ බුදුන් වහන්සේ වැඳ එකත්පස් ව හිඳ උන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසූ හ: “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, මාගේ මව්පිය දෙදෙන ම පරම්පරා හත-අටකටත් වැඩි කාලයක් අතිශය වැදගත් දැන-උගත් බ්‍රාහ්මණවරුන්ගේ ම පැවත එන්මෝ වෙති. ඒ අයුරින් මම ද බලවත් බමුණු කුල පරම්පරාවකට අයත් අතිශය පරිශුද්ධත්වයට පත් බ්‍රාහ්මණයෙක් වෙමි. එබඳු වූ මා බ්‍රාහ්මණ නමින් හැඳින්වීමට ඇති බාධාව කුමක් ද? භවත් ගෞතමයන් වහන්ස, අපගේ කුල පරම්පරාව උගතුන්ගෙන් ශාස්ත්‍රධාරීන්ගෙන් රාජ්‍ය උපදේශකයන්ගෙන් සම්පූර්ණ ය. එසේ තිබියදීත් ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් පමණක් බ්‍රාහ්මණ නමින් අමතන්නේ ඇයි ද? මට මෙය පහදා දෙනු මැනැවැ” යි කියා සිටියහ.

එවිට සාලික බමුණුතුමන් අමතන බුදු රජාණන් වහන්සේ:

“බමුණුතුමනි, ඔබ ඔය කියන කතා ඇත්ත ය. ඔබගේ කුල පරම්පරාව පරිශුද්ධත්වයට පත් බමුණු කුලයෙන් පැවත එන බවත් මම විශ්වාස කරමි. එසේ වුව ද බ්‍රාහ්මණ යන්නෙහි අරුත ඔබ ඔය කියනවාට වඩා බොහෝ දුරට වෙනස් ගැඹුරු එකෙක. මා කියන බ්‍රාහ්මණ තෙමේ පිළිවෙත් පුරන ලද්දෙක මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදි ගුණාංගයන්ගෙන් සම්පූර්ණ කෙනක. ඔහු පාපයන්ගෙන් දුරු වූවෙක. කුල භේදාදියක් ඔහුට නැත. මනුෂ්‍යයා අගතියට යොමු කරවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මද-මාන්නාදියක් ඔහු තුළ නො පිහිටියේ ය. එබඳු සත්පුරුෂ උතුමන්ට ම මම බ්‍රාහ්මණ ය යි කියමි. මා පමණෙක් නො වේ; මෙතෙක් ලොව පහළ වූ බුදුවරයන් වහන්සේ කොතෙක් වී ද උන් වහන්සේගේ ඉගැන්වීම වූයේ ද ඔය මා කියන ගුණ දම් හා ඇවැතුම්-පැවැතුම් ඇති පුද්ගලයන් ම බ්‍රාහ්මණ වන බව ය. නො එසේ ව: පරම්පරාවෙන් බමුණු යැ යි සම්මත කරගත්, පහත් ගති පැවතුම් ඇති පුද්ගලයෝ කවර කලෙක වත් බ්‍රාහ්මණයෝ නො වෙති.

“යම් රටක් සමාජයක් ගුණ-යහපත්කමින් දියුණුවට පත් කරගැනීමට නම් සදාචාරාත්මක මනුෂ්‍ය පරපුරක් එහි විසිය යුතු ය. එහි දී ප්‍රධාන වන්නේ පංච ශීලය රක්‍ෂා කිරීම ය. එනම්: ප්‍රාණඝාතයෙන් වෙන් වීම ය. අන් සතු දෙය සොර සිතින් ගැනීමෙන් වැළකීම ය. වැරදි කාම සේවනයෙහි නොහැසිරීම ය. බොරු නොකීම ය. එමෙන් ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය. යම්කිසි පුද්ගලයෙක් මේ කියන ලද පස් වැදෑරුම් ගුණාංග තමා තුළ පිහිටුවාගන්නේ නම් ඒ තෙමේ ශීලයෙහි පිහිටියෙක; සමාජයට හිත මිත්‍රයෙක; යහපත සලසන්නෙක. මෙම ගුණාංග වඩ වඩාත් දියුණු කරගන්නා පුද්ගලයා මුළු මහත් සමාජයට ආදර්ශයක් වන්නා සේ ම මනුෂ්‍ය වර්ගයාට විශාල සැනසුමකි.

“බමුණුතුමනි, මෙම උතුම් ගුණ සමුදාය කෙලෙසුන් ප්‍රහීණ කොට නිවන් මඟට පිවිසීමට මූලික පදනම වන අතර, සෝවාන් ආදි මාර්ග සතරට හා ඵල සතරට පත් වූවෝ ම නියත වශයෙන් බ්‍රාහ්මණ වන්නෝ ය.

“බමුණුතුමනි, ඔබ කියන අන්දමට මාගේ ශ්‍රාවකයන් බ්‍රාහ්මණ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් වන්නේ ද එම උතුම් පංච ශීලය ආරක්‍ෂා කිරීමේ හේතුවෙන් ආර්ය භික්‍ෂුවක බවට පත් වීම නිසා බව වටහාගත යුතුය,” යි ‘සාලික’ බමුණානන්ට ධර්මය දේශනා කොට වදාළ සේක. ධර්මාවබෝධය කල ද ‘සාලික’ බමුණුතුමෝ නිවන් මඟ සාක්‍ෂාත් කරගත්හ.
.
සෝමරත්න බන්නැහැක
.
ලිපිය උපුටා ගත්තේ නමස්කාර යෞවනයේ සඟරාවෙනි
http://www.namaskara.lk/

0 comments (+add yours?)

Post a Comment