සත් බුදු වන්දනාව


කලාතුරකින් මේ ලෝකයේ පහල වන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයන් ගැන පරම දුර්ලභ වූ මනුෂ්‍ය රත්නය ගැන අහන්න තරම් අපි ජීවත්වන යුගය වාසනා වන්තයි. අබුද්ධෝපාද කාලවලදි අපිඅ සිටියානම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි මනුෂ්‍ය රත්නයන් ගැන අපට අහන්න ලැබෙන්නේ නැ . මාර්ගඵල ලාභී ශ්‍රාවාකයින් ගැන අහන්න ලැබෙන්නේ නැ. නමුත් මේ යුගයේ උපන් අපි සැබැවින්ම භාග්‍යවන්ත අපිට ඒ බුදුරජාණන් වහන්සේලගේ ගුණ අහන්න ලැබෙනවා. බුදු රජාණන් වහන්සේලා කවර ගුණ වලින් යුක්තදැයි කියලා අහන්න ලැබෙනවා. බුදු රජාණන් වහන්සේලාගේ ලයේ උපන් කරුණාව මොන තරම් පරිපූර්ණදැයි අපට අහන්න ලැබෙනවා. ඒ බුදු කරුණාව ලැබු අනන්ත අප්‍රමාණ ජන කායක් සසර දුකින් අත් මිදුනු බව අපට අහන්න ලැබෙනවා.
පින්වතුනි, අපි බුදුරජාණන් වහන්සේලාගේ යුගයන් ගැන කථා කරද්දි අපි කථා කරන්නේ කල්ප වලිනි. දවසක් බුදු රජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ නමක් අහනවා භාග්‍යවතුන් වහන්ස කල්පය කියන්නේ වර්ෂ කීයකටද? බුදු රජාණන් වහන්සේ පිළිතුරු දෙනවා , පින්වත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියනවා මෙතරම් වර්ෂ ලක්ෂයක් තියනවා , කෝටියක් තියනවා, කෝටි දස ලක්ෂයක් තියනවා කියලා කල්පයක දීර්ඝකම කියන්න බැහැ කිව්වා.
ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස , කල්පයක දිග මේ වගේ වර්ෂ වලින් කියන්න බැරිනම් උපමාවකින් කියන්න පුළුවන්ද? කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඇහුවා . භාග්‍ය වතුන් වහන්සේ පිළිතුරු දෙනවා . උපමාවකින් නම් කියන්න පුළුවනි කියලා.
බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා යොදුනක් දිග යොදුනක් පළල ගල් පර්වතයක් තියනවා මේ ගල් පර්වතය අවුරුදු සියයකට වතාවක් එක පුද්ගලයෙකු විසින් සිනිදු රෙදි කැබැල්ලකින් පිස දමනවා මෙහෙම පිස දාලා මේක පොළව මට්ටමට ගෙවිලා ගියත් කල්පය ඉවර වෙන්නේ නෑ කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා . එතකො‍ට කල්පයේ දීර්ඝකම මෙවන් කල්ප මුණ ගැහෙනවා සත්වයාට බුද්ධ ශුන්‍ය කල්ප , ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේලා නෑ
මේ සියලු බුදු රජාණන් වහන්සේලාගේ අවබෝධය සමානයි. සියළුම බුදු රජාණන් වහන්සේලා දම්මචක්කපවත්වන සුත්‍රය දේශනාවෙන් තමයි ධර්ම ප්‍රචාරය ආරම්භ කරන්නේ , මේ කල්ප සියය ඇතුලත වැඩ සිටිය සත් බුදු රජාණන් වහන්සේලා වන්දනා කිරිම බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම රහතන් වහන්සේලා විසින් ආරම්භ කරපු එකක්.
ඉතින් පින්වතුනි, අපි කවුරුත් බුද්ධ පුජා පවත්වන මේ බුදු රජාණන් වන්සේලා . අනෙක් සියලුම පුද්ගලයින්ගෙන් අසමානයයි. ඒ නිසා උන් වහන්සේලාට කියනවා අසම කියලා. ඒ වගේ උන් වහන්සේලා සමගි පමණක් සමාන වන නිසා සම කියලා කියනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේලාට අසම සම කියලා කියනවා .
ඉතින් බුදු රජාණන් වහන්සේලා මේ ලෝකයට පහල වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කියා දෙන්න . පින්වතුනි සතුටු වෙන්න අපි සරණ ගියේ කොයි තරම් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාද කියලා. මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා තමන්ට ලැබුනු ඇස් වලින් ඵල ලබන මොහොතයි. මේ කන් වලින් ඵල ලබන මොහොතයි. තමන් සන්තෝෂයට පත් වන්න ඕනෑ, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුනාට දුර්ලභ බුද්ධ ශාසනය ලැබුනාට.
සත් බුදු රජාණන් වහන්සේලාට බුද්ධ පුජා පවත්වලා වන්දනා කරලා අපේ ජීවිත වලට බොහෝ කාලයක් සතුටු වෙන්න පුළුවන්. මහත්ඵල පුණ්‍ය කර්මයක් සිදු කර ගත්තා කියලා සතුටු වෙන්න.
____________________________________________
සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා බුද්ධ පුජාව පූජා කර ගනිමු
කල්ප සීයක් ඇතුලත ලොව පහල වී වදාල විපස්සි නම් වු බුදු රජාණන් වහන්සේද , සිඛි නම් වු බුදු රජාණන් වහන්සේද , වෙස්සභූ නම් වු බුදු රජාණන් වහන්සේද , කකුසඳ නම් වු බුදු රජාණන් වහන්සේද , කෝණාගමන නම් වූ බුදු රජාණන් වහන්සේද , කාශ්‍යප නම් වු බුදු රජාණන් වහන්සේද , ගෞතම නම් වු බුදු රජාණන් වහන්සේද , යන සත් බුදු රාජාණන් වහන්සේලා අරහං නම් වන සේක , සම්මා සම් බුද්ධ වන සේක , විජ්ජාචරණ සම්පණ්ණ වන සේක , සුගත වන සේක , ලෝක විදු වන සේක, අනුත්තරෝ පුරිෂ දම්ම සාරථි වන සේක , සත්ථා දේව මනුස්සාණන් වන සේක, බුද්ධ වන සේක , භගවා වන සේක , සත් බුදු රජාණන් වහන්සේලා අසම වන සේක . අසම සම වන සේක . අනාථ නාත වන සේක , තථාගත වන සේක, තුන් ලෝකයෙහිම ආලෝකය වන සේක , අනන්ත සිල් ඇති සේක , අනන්ත සමාධි ඇති සේක, අනන්ත ප්‍රඥා ඇති සේක. අනන්ත විමුක්ති ඇති සේක , මහා කරුණා ඇති සේක , මහා ප්‍රඥා ඇති සේක . මෙසේ අනන්ත වු අප්‍රමාණ ගුණ ඇත්තාවු සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා
මේ පහන් ආලෝක පුජා කරමි පුජා වේවා
මේ සුවඳ දුම් පුජා කරමි පුජා වේවා
මේ සුවඳ මල් පුජා කරමි පුජා වේවා
මේ සිසිල් පැන් පුජා කරමි පුජා වේවා
මේ ගිලන් පස පුජා කරමි පුජා වේවා
මේ සියළු පුජාවෝ විපස්සි නම් වු බුදු රජාණන් වහන්සේගේ පටන් ‍ගෞතම නම් වු බුදු රජාණන් වහන්සේ දක්වා ලොව පහල වී වදාල සත් බුදු රජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රද්ධාවෙන් පුජා කරමි පූජා වෙත්වා
පුජා වෙත්වා
පුජා වෙත්වා
පුජා වෙත්වා
සාදු සාදු සාදු
____________________________________________
1. විපස්සි බුදු රජාණන් වහන්සේ
පින්වතුනි, මීට කල්ප අනු එකකට පෙර මිනිසුන් ගේ ආයුෂ අවුරුදු 84000 යි . ඒ කාලයේ දඹදිව බන්දු මතී නම් රාජධානියේ බන්දුම රජ තුමා පියාණන් වෙලා, බන්ධුමා දේවිය මෑණියන් වෙලා විපස්සී කියන බුදු රජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32 කින් පරිපූර්ණව මේ ලෝකයේ පහල වුනා . ඒ බුදු රජාණන් වහන්සේ පලොල් රුක් සෙවනකදි චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන, සම්මා සම් බුද්ධත්වයට පත් වුනා . උන් වහන්සේට ඛණ්ඩ , තිස්ස නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා , අ‍ශෝක නමින් අග්‍ර උපස්ථායක ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා . උන් වහන්සේ පහල වෙලා අනන්ත අප්‍රමාණ සත්ව සංඛ්‍යාවක් සංසාර ‍දුකින් නිදහස් කරවලා පිරුණිවන් පා වදාලා.ඒ විපස්සි බුදුන් වහන්සේට සංඝ සභා තුනක් තිබුණා. එක් සංඝ සභාවක භික්ෂුන් වහන්සේලා 1,60000යි, දෙවැනි සංඝ සභාවේ ලක්ෂයයි. අනෙක් සංඝ සභාවේ ස්වමීන් වහන්සේලා 80000යි.
පින්වතුනි, ඒ විපස්සි බුදු රජාණන් වහන්සේට අපගේ නමස් කාරය වේවා.
“ ලොවේ ඇති හැම අඳුර නසනා - මහා නුවණැති මුනි රජාණෙනි
සදා සැනසිලි සුවය සඳනා - ලොවේ අස දිස ධම් රජාණනි
විපස්සි යන නමින් තිලවේ - වැදුම් ලබන බුදු රජාණනි
දෑත න‍ලළේ තබා වදිනා - වැදුම් පිළි ගත මැන ස්වාමිනි .
නසා සියලුම කෙලෙස් සතුරන් - ජය ලැබු ලොව දම් රජාණනි
පලොල් රුක් සෙවනේදි බුදු රැස් - විහිදුවාලු බුදු රජාණනි
මල් පහන් හා සුවඳ දුම් හා - සිසිල් පැන් හා මේ ගිලන් පස
පුදමි සම් බුදු පියාණනි මම - පතාගෙන ඒ අමා නිවන් සුව
සාධු සාධු සාධු
2. සිඛි බුදු රජාණන් වහන්සේ
පින්වතුනි, විපස්සි බුදු රජාණන් වහන්සේ ලෝකයට පහල වෙලා ධර්මය දේශනා කළා.ඒ බුද්ධ ශාසනයත් කලක් ගත වුණාම අතුරුදහන් වුනා . ඉන් පස්සේ කල්ප 60ක් බුදු වරු ලෝකයේ නෑ . බුද්ධ ශුන්‍යයි. ආර්ය ශ්‍රාවකයෝ ලෝකයේ නෑ . මාර්ගඵල ලාභීන් ලෝකයේ නෑ . කල්ප 60ක් බුද්ධ ශුන්‍යයි. මේ කල්ප 60ට පසු ආයෙත් සුන්දර කාලයක් ආවා . ඒ මීට කල්ප 31 කට කලින්, එකල මිනිසුන්ගේ ආයුෂ වර්ෂ 70 000 යි.(හැත්තැ දහසයි).
රජ පවුලක බෝසතාණන් වහන්සේ උපත ලැබුවා සිඛී නමින්. දඹදිව් තලයේ අරුණ රාජධානියේ, අරුණ කියන රජතුමන් වහන්සේගේ පුතණුවන් වෙලා, ප්‍රභාවති බිසෝවුන් වහන්සේමෑණියන් වෙලා සිඛි කියන බුදුන් වහන්සේ ලෝකයේ පහළ වුණා. සිඛි බෝසතාණන් වහන්සේ මාර සේනාව පරාජය කරලා, ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන් අවබෝධ කරගෙන, සම්මා සම්බුද්ධත්වයට පත්වුනා පින්වතුනි,සිඛි බුදුරජාණන් වහන්සේට සංඝ සභා 3ක් තිබුණා. භික්ෂුන් වහන්සේලා 10000 යි. එකක භික්ෂුන් වහන්සේලා 80000 යි. එකක භික්ෂුන් වහන්සේලා 70000 යි.
උන් වහන්සේලගේ ශ්‍රාවකයන් අතර අභිභූ සම්භව, නමින් අග්‍ර උපස්ථායකයින් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. ඛේමන්තර නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. ලොව පුරා අමා ගඟුලැල් ඇද හැලුනා, කෙලෙස් ගින්නෙන් පීඩිත වු අසරණ ජනයන් තම තමන්ගේ දුක් දොල් නිවා ගෙන, අමා පැන් වලඳා සදා සිසිලස සලසා ගත්තා . ඒ සිඛි බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
හෙළඹ රුක් සෙවනේදි බුදු රැස් විහිදුවාලු මුනි රජාණනි
බිම්බරක් දස මාර සේනා - පරදවාලු වීරයාණනි
සිඛි යන නාමයෙන් තිලොවේ - පිදුම් ලබන බුදුරාජණෙනි
දැත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන ස්වාමීනි.
ලොවෙ ඇති දුක් තැවුල් නිවනා - කාරුණික සම්බුදු රාජණෙනි
නුවණ වනසන අදුර නසනා - මහා ණුවනැති ගුණවතාණෙනි
මල් පහන් හා සුවද දුම් හා - සිසිල් පැන් හා මේ ගිලන් පස
පුදමි සම් බුදු පියාණනි මම - පතා ගෙන ඒ අම නිවාන් සුව
සාධු සාධු සාධූ
3. වෙස්සභූ බුදුරජාණන් වහන්සේ
පින්වතුනි, ඒ කල්පය වාසනාවන්තයි . ඒ සිඛි බුදුරජාණන් වහන්සේ පහල වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය එලි පෙහෙලි කරලා ලෝ සසුන බැබලුවා. කලක් යද්දි මේ ශාසනය අතුරු දහන් වුනා - නමුත් ලෝකය අවාසනාවන්ත නෑ . අයෙත් බුදු රජාණන් වහන්සේ නමක් පහල වුනා. එතකොට මිනිසුන්ගේ වයස අවුරුදු 60,000 යි.
වෙස්සභූ යන නමින් ඒ බුදු රජාණන් වහන්සේ ලෝකයට පහල වුනේ දඹදිව් තලයේ අනෝම යන රාජධානියේ. සුප්පතිත කියන රජතුමා පියාණන් වුනේ , යසවති කියන බිසවුන් වහන්සේ මෑණියන් වුනේ . සල් රුක් සෙවනකදි වෙස්සභූ බුදු රජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගෙන සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා, අමා මහා නිවන් සාක්ෂාත් කරලා ඒ යුගයේ සම්මා සම් බුද්ධත්වයට පත් වුනා . පින්වත්නි, ඒ බුදු රජාණන් වහන්සේටත් සෝණ , උත්තර නමින් අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේලා දෙ‍නමක් වැඩ සිටියා. උප ශාන්ත නමින් අග්‍ර උපස්ථායක ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. සංඝ සභා 3 කි තිබුණා. එකක භික්ෂුන් වහන්සේලා 80,000 යි.එකක භික්ෂුන් වහන්සේලා 70,000යි එකක භික්ෂුන් වහන්සේලා 60,000යි.සකල ලෝක සත්වයාට මහත් සැනසිල්ලක් ශාන්තියක් සැපතක් ඒ බුදු රාජාණන් වහන්සේගේ කාලයේ මිනිසුන්‍ට උදා වුනා . ඒ බුදු රජණන් වහන්සේට අපගේ නමස්කාර වේවා.
“ වෙස්සභූ යන නමින් තිලොවේ - එළිය කරනා බුදු රජාණෙනි .
සාල රුක් සෙවනේදි බුදු රැස් - විහිදුවාලු සිහ රජාණෙනි
සියලු ලෝ සත වෙත දයාවෙන් - නිවන් සැප දුන් බුදු පියණෙනි
දැත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන ස්වාමිනි ”
02 සිල් සමා හිත නුවණ පැතිරූ - වෙස්සභූ සම්බුදු රජාණෙනි
මිහිරි සදහම් සුවය සැලසු - ලෝවේ අසදිස දම් රජාණෙනි
මල් පහන් හා සුවද දුම් හා - සිසිල් පැන් හා මේ ගිලන් පස
පුදම් සම්බුදු පියණෙනි මම - පතාගෙන ඒ අම නිවන් සුව
සාධු සාධූ සාධු
4. කකුසද බුදු රජාණන් වහන්සේ
පින්වතුනි , ආයෙමත් මහා අවාසනාවන්ත යුගයක් ආවා. තිස් කල්පයක් (30) බුදුරජාණන් වහන්සේලා නැහැ. බුද්ධ ශුන්‍යයයි. ලොව කවුරුත් මේ ජිවිතය කුමක්ද යන්න දන්නේ නැ, කියලා දෙන්න කෙනෙක් නැහැ . සතර අපායේ වැටෙන සසර ගමනින් එතෙර වෙන්න නොහැකි අනන්ත සත්වයන් දුක් දොම්නස් වැලඳ ගෙන සිහින ලෝකේක දුක් විඳ විඳ ගියා . ඒ තිස් කල්පයේ ඇවෑමෙන් මහා භද්‍ර කල්ප ලෝකයට ලැබුනා. පින්වතුනි , අපි මේ ගත කරන්නේ ඒ මහා භද්‍ර කල්පයයි. මහා භද්‍ර කල්පයේදි මිනිසුන්ගේ ආයුෂ වර්ෂ 40000 ක් වෙලා තියෙද්දි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වූ පින් සිරුරකින් හෙබි ලොවට ප්‍රඥාවේ ආලෝකය උදා කරන උතුම් මුනිරජාණන් කකුසද බුදු රජාණන් වහන්සේ පහල වුනා. දඹදිව ‍ක්ෂේමවති කියන රාජධානියේ අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ තුමා පියාණන් වුනා . මේ වාසනාවන්ත දරු සිගිත්තා කුසේ හෝවා ගන්නට තරම් මහා පිනැතියක් වුනේ විසාඛා බ්‍රාහ්මණ තුමියයි. කකුසද බුදු රජාණන් වහන්සේ මහරි රුක් සෙවනේදි සියලු කෙලෙසුන් නසා චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ නැතිව අවබෝධ කොට සම්මා සම් බුද්ධත්වයට පත් වුනා . ඒ බුදු රජාණන් වහන්සේට විදුර , සංජීව නමින් අග්‍ර ශ්‍රවකයින් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. බුද්ධිජ නමින් අග්‍ර උපස්ථායකයින් වහන්සේ නමක් වැඩ සිටියා. කකුසඳ බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට අමා සිසලස බෙදා දුන්නා, සැනසිල්ල බෙදා දුන්නා , සැපත බෙදා දුන්නා , අවිදු අදුරෙහි සිරවී ඇති ලෝ සතුන් ආලෝකය කරා අරගෙන ගියා. සංඝ සන්නිපාත එකක් තිබුණා භික්ෂන් වහන්සේලා 40,000යි. ඒ බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
01 උදා හිරු ලොව දිළෙන විලසින් - ලොවට වඩිනා බුදු රජාණෙනි
මහරි රුක් සෙවනේදි බුදු රැස් - විහිදුවාලු දම් රජා‍ණෙනි
නමින් කකුසඳ ලෙසින්තිලොවේ - වැදුම් ලබනා මුනි රජාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන ස්වාමිනි
02 හඩා වැලපෙන ලොවට සැනසුම - බෙදා දෙන සම්බුදු රජාණෙනි
අමා සැප ඇති නිවන් සැප දෙන - කාරුණික සම් බුදු රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් හා - සිසිල් පැන් හා මේ ගිලන් පස
පුදමි සම් බුදු පියාණෙනි මම - පතාගෙන ඒ අම නිවන් සුව
සාධු සාධූ සාධු
5. කෝණාගමන බුදු රජාණන් වහන්සේ
ඊට පස්සේ පින් වතුනි , මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් අඩු වෙනවා . මේ මහා භද්‍ර කල්පයේම ආයුෂ වර්ෂ තිස් දාහක් (30000) ක් ව තිබෙද්දි ආයෙමත් පින්බර යුගයක් ලොවට උදා වුනා. කෝණාගමන නමින් බුදු රජාණන් වහන්සේ නමක් පහල වුනා. දඹදිව් ‍තලයේ සෝභාවති කියන රාජධානියේදී යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණ තුමා පියාණන් වෙලා උත්තරා නම් බ්‍රාහ්මණ තුමිය මෑණියන් වෙලා මේ වාසනාවන්ත සිඟිති බෝසත් පුතා ලොවට ලැබුනා. ‍ඒ කෝණාගමන බුදු රජාණන් වහන්සේ දිඹුල් රුක් සෙවනකදි සියලු කෙලෙසුන් නසා, තමන් වහනසේ තුළ උපඳවා ගත් ගුරු උපදේශ රහිත වූ නුවණින් සකල ලෝකයම ජය ගෙන, සම්මා සම්බුද්ධත්වයට පත් වුනා. උන් වහන්සේට භියෝස, උත්තර නමින් අග්‍රස් ශ්‍රාවකයින් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. සොත්ථිජ නමින් අග්‍ර උපස්ථායකයින් වහන්සේ නමක් වැඩ සිටියා. ලොවට මහත් සැපතක් , මහත් සැනසිල්ලක්, ආලෝකයක් උදා උනා. සතර අපායේ වැටි වැටි සිටි ණුවණැති මිනිසුන් එයින් අත් මිදුනා. මඟ ථල නිවනට පත් වුනා . අමා සැප ලැබුනා. ඒ කෝණාගමන බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
01 දෙව් මිනිස් ලොව එළිය කරනා - මහා ණුවණැති මුනි රජාණෙනි
දිඹුල් රුක් සෙවනේදි බුදු රැස් - විහිදුවාලු දම් රජාණෙනි
නමින් කෝණාගමන ලෙස ලොව - වැදුම් ලබනා ගුණවතාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි
02 මහා කරුණා නෙතින් බලනා - කාරුණික සම්බුදු රජාණෙනි
වළාකුළු නැති අහසේ දිලෙනා - සුපුන් සද වන් පින්වතාණෙනි
මල් පහන් හා සුවඳ දුම් හා - සිසිල් පැන් හා මේ ගිලන් පස
පුදමි සම්බුදු පියාණෙනි මම - පතා ගෙන ඒ අම නිවන් සුව
සාධු සාධු සාධු
6. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ
පින්වතුනි , ඒ වාසනාවන්ත යුගය අවසන් වුනේ නැ . මේ මහා භද්‍ර කල්පය අතිශයින්ම වාසනාවන්ත කල්පයක්. ඊ ලඟට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසි දහසක් (20000) ක් තියෙද්දි මේ ලෝකයට ආයිමත් බුදු රජාණන් වහන්සේ නමක් පහල වුනා. ඒ තමයි කාශ්‍යප බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහල වුනා. දඹදිව කිකී නම් රාජධානියේ බ්‍රහ්මදත්ත නම් බ්‍රාහ්මණ තුමා පියාණන් වෙලා ධනවති නම් බ්‍රාහ්මණ තුමිය මෑණීයන් වෙලා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි බෝසත් පුතු ලොවට ලැබුනා. ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ නුග රුක් සෙවනේදි දස බිම්බරක් මාර සේනාව පරාජය කරලා දස දහසක් ලෝක ධාතුව කම්පා කර ගෙන සකල ලෝකයටම අමා සැපත ලබා දෙන්නට ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පත් වුනා. ඒ බුදු රජාණන් වහන්සේට තිස්ස . භාරද්වාජ කියලා අග්‍ර ශ්‍රවකයින් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. සර්ව මිත්‍ර නමින් අග්‍ර උපස්ථාකයින් වහන්සේ නමක් වැඩ සිටියා. කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේ අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේ ජෝතිපාල නමින් තරුණයෙක්ව ඉපදිලා හිටියා. ඒ බුදු රජාණන් වහන්සේ ලඟ පැවිදි වුනා. සසුන් බඹසර දියුණු කලා. ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයින්ට මහත් සැනසිල්ලක් වුනා.සංඝ සභාවේ භික්ෂුන් වහන්සේලා 20000 ක් වැඪ සිටියා. ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා .
01 “සදා කාලික සුවය සදනා - කාරුණික සම්බුදු රාජාණෙනි
නුග රුකක් සෙවනේදි බුදු රැස් - විහිදුවාලු සිහ රජාණෙනි
නිවා හැම දුක් තැවුල් තිලොවේ - අමා සැප දුන් මුනි රජාණෙනි
“දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි”
02 “ ලොවට සැනසුම පතා ගෙන වැඩි - තථාගත සම්බුදු රජාණෙනි
හැමට යහපත උදා කරනා - කාරුණික සම්බුදු රජාණෙනි
මල් පහන් හා සුවඳ දුම් හා - සිසිල් පැන් හා මේ ගිලන් පස
“පුදමි සම්බුදු පියාණෙනි මම - පතාගෙන ඒ අම නිවන් සුව”
සාධු සාධූ සාධූ
7. ගෞතම බුදු රජාණන් වහන්සේ
පින්වත්නි , මිනිසුන්ගේ ආයුෂ ටිකෙන් ටික අඩු වුනා. දැන් අපි ජීවත්‍ වෙන්නේ ආයුෂ අඩු වෙලායන යුගයක . අපගේ වාසනාවට මේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙන යුගයේදි මිනිසුන්ගේ ආයුෂ වර්ෂ 120 ක් වුන යුගයේදි, තුසිත දිව්‍ය ලෝකයේ ඉදලා පස් මහ බැලුම් බලා . කපිල වස්තු රාජධානියේ සුද්ධෝදන රජතුමාගේ බිසවුන් වහන්සේ වන මහාමායා දේවියගේ කුස පිලිසිද ගත්තා. අප මහ බෝසතානන් වහන්සේ . දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභාමාන වු රන්වන් රුවක් බදු වූ මේ සුන්දර දරු සිඟිත්තා ඉපදිලා හත් (07) පියවරක් ඇවිදගෙන ගියා. ඒ සුන්දර බෝසත් පුතු පුර සඳ නැගෙන්නාසේ වැඩුනා. අවුරුදු 29 යේදි ගිහි ජීවිතය අත හැරියා . වයස 35 දි ගයාවේ නේරංජලා ගං තෙර ඇසතු රුක් සෙවනක වෙසක් පුන් පොහෝ දවසක දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කරවලා සකල ක්ලේෂයන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුනා. ඒ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වහන්සේලා අතර සැරියුත් , මුගලන් නමින් අග්‍රස් ශ්‍රාවකයින් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. ඉතාමත් කරුණාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කලා. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනා තමයි අපි මේ කාලයේ ශ්‍රවණය කරන්නේ . ඒ උතුම් බුද්ධ දේශනාව නිසා තමයි අපි ඉගෙන ගත්තේ සසර දුකින් ඉතෙර වෙන්න පුළුවන් වග. උන්වහනසේගේ දේශනා නිසා තමයි සතර අපාය ගැන තොරතුරු අපි දන්නේ . ඒ බුදු රජාණන් වහන්සේ නිසා තමයි හේතු ඵල දහමක්‍ තියෙන බව දන්නේ. හේතු නැති වීමෙන් ඵල නැතිවෙන බවත් දන්නේ ඒ බුද්ධ දේශනා නිසා තමයි. ඒ බුදු රජාණන් වහන්සේ නිසා තමයි ලෝකයේ සැප වන අමා නිවන ගැන දන්නේ.සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා 1250 ක් වැඩ සිටියා. ඒ බුදු රජාණන් වහන්සේට අපගේ ශාස්තෘන් වහන්සේට ගෞතම බුදු රජාණන් වහන්සේ‍ට අපගේ නමස්කාරය වේවා.
01 සිතේ ඇති හැම කෙලෙස් වනසා - ලොවම ජයගත් බුදු රජාණෙනි
බිම්බරක් දස මාර සේාන - පරදවාලු වීරයාණෙනි
02 දෙව් මිනිස් ලොව සියලු දෙන හට - සැපත සැලසු පින් වතාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි
03 වඩිවී වජිරාසනේ මත - වීරියෙන් දිනු බුදු රජාණෙනි
සීල සංවර සිත් සමාහිත - නුවන ලැබ ගත් පින්සරණෙනි
04 විහිදුවා ෂඩ් වර්ණ බුදු රැස් - ලොවම එළිය කල බුදුපියාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි
05 සීත නේරංජලා නදියේ - පැනින් සැනහුන පින්වතාණෙනි
සෝක දුක් නසනා නිවන් මග - සොයා ගත් මහ නැණවතාණෙනි
06 ලෝ සතුන්ගේ සැපත සැලසු - මහා කාරුණික බුදු රජාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි
07 බෝ රුකේ ඇති සෙවන යට හිඳ - ලොවම ජයගත් බුදු රජාණෙනි
වාද නොකරන දහම මතු කළ - ලොවේ අසදිය දම් රජාණෙනි
08 මිහිරි රස ඇති නිවුන් රස දෙන - අපේ සම්බුදු මුනි රජා‍ණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන ස්වාමිනි
09 බොහෝ දුර සිට පැමිණියෙමු අපි - අපේ ගෞතම බුදු රජාණෙනි
ඔහේ සසාරේ ඇවිද ගිය අපි - පිහිට ලැබුවෙමු දම් රජාණෙනි
10 කෙසේ වත් නැහැ බැහැර වන්නේ - සරණ ඔබමයි බුදු රජාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන ස්වාමිනි
11 වාසනා ගුණ පිහිට වීමෙන් - අපිත් ආවෙමු බුදු රජාණෙනි
නේක බුදු ගුණ සිහි කිරිමෙන් - සිතත් රකිනෙමු දම් රජාණෙනි
12 දාන සීල හා භාවනාවෙන් - අපිත් සැනසෙමු පින්වතාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි
13 පුරා දස පාරමි ගුණ දම් - ලොවට වැඩි මහ ගුණවතාණෙනි
ඇසතු රුක් සෙවනේදි බුදු රැස් - විහිදුවාලු බුදු රජාණෙනි
14 මුනිදු ගෞතම ලෙසින් තුන් ලොව - වැදුම් ලබනා දම් රජාණෙනි
දෑත නළලේ තබා වදිනා - වැදුම් පිළිගත මැන සුවාමිනි
15 අදුරු වූ ලොව එළිය කරනා - මහා නුවණෑති බුදු රජාණෙනි
අපට සැනසිලි සුවය සදනා - පිහිට ඔබමයි මුනි රජාණෙනි
16 මල් පහන් හා සුවද දුම් හා - සිසල් පැන් හා මේ ගිලන් පස
පුදමි සම් බුදු පියා‍ණෙනි මම - පතාගෙන ඒ අම නිවන් සුව
17 සිතේ යහපත් ගුණ වැඩේවා - පවිටු අකුසල් බල බිදේවා
සිල් සමාහිත නුවණ මතුවී - නිවන් මඟ මා සිත රැදේවා
18 කළන මිතුරන් ඇසුර සැලසි - ලොවී ලොව්තුරු දම් ඇසේවා
සදාකාලික සැපත සදනා - ඒ අමා නිවනම ලැබේවා ....///
නව අරහාදී බුදුගුණ වන්දනාව
මාගේ ස්වාමි වු බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු රාග, ද්වේශ , මෝහ නැති කල සේක. සියලු පාපයන්ගෙන් මිදුන සේක . සියලු ලෝ වැසියන්ගේ ආමිෂ පූජා , ප්‍රතිපත්ති පූජා පිළිගැනිමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක. අරහං වන සේක. අරහං වන සේක
මාගේ ස්වාමී වු බුදු රජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් බාහිර කෙනෙකුගේ උපකාරයෙන් තොරව පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාල නිසා සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක.
මාගේ ස්වාමී වු බුදු රජාණන් වහන්සේ අනන්ත වූ සෘද්ධි බල ඥාණ ලබා ගත් සේක. දිවැස් නුවණද ලබා ගත් සේක. දිව්‍ය ශ්‍රවනයද ලබා ගත් සේක, පරච්ත්ත විජානන ඥාණය ලබා ගත් සේක. ඉන්දිය පරෝ පරිහත්ත ඥාණය ලබා ගත් සේක. පුබ්බේ නිවාසානුස්සති ඥාණය ලබා ගත් සේක . චුතුපපාත ඥාණය ලබා ගත් සේක. සියලු ආශ්‍රවයන් ප්‍රහානය කොට ආසවක්ක ඥාණය ලබා ගත් සේක මෙසේ අනන්ත වූ ඥාණයෙන් යුතු වූ , අනන්ත වූ ගුණයෙන් යුතු වූ අනන්ත වූ ශීලයෙන් යුතු වූ , අනන්ත වූ සමාධියෙන් යුතු වූ , අනන්ත වූ ප්‍රඥාවෙන් යුතු වූ, අනන්ත වූ විමුක්තියෙන් යුතු වු , අනන්ත වූ ඤාණ දර්ශනයෙන් සමන්විත වූ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කරගෙන සුන්දර නිවනට පැමිණ වදාල නිසා සුගත වන සේක . සුගත වන සේක.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකයද සියලු දිව්‍ය ලෝකයද, මේ මිනිස් ලෝකයද සතර අපාය ආදි මේ සියලු ලෝකයන් අවබෝධ කරගෙන මේ සියලු ලෝක වලින් නිදහස් වී වදාල නිසා ලෝක විදු වන සේක. ලොක විදු වන සේක.
මාගේ ස්වාමී වු බුදු රජාණන් වහන්සේ දමනය කල නොහැකි වූ අකිකරු දෙව් මිනිසුන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණූවා වදාල නිසා අනුත්තරෝ පුරිස දම්ම සාරති වන සේක . අනුත්තරෝ පුරිස දම්ම සාරති වන සේක.
මාගේ ස්වාමින් වූ බුදු රජාණන් වහන්සේ සියලු දෙවියන්ගේද සියලු මිනිසුන්ගේද ආචාරවරයාණන් වන නිසා සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේව මනුස්සානං වන සේක.
මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ අවබෝධප කොට වදාල චතුරාර්ය සත්‍ය ධර්මට අන් අයටද අවබෝධ කරවා දුන් නිසා බුද්ධ වන සේක. බුද්ධ වන සේක.
මාගේ ස්වාමී වූ බුදු රාජාණන් වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති සේක . භාග්‍ය ඇති සේක . භගවා වන සේක .
මෙසේ අනන්ත ගුණ ඇති , අනන්ත නුවණ ඇති , මහා කරුණා ඇති මහා ප්‍රඥා ඇති බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !!! , බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දෙශනා කොට වදාල චතුරාර්ය සත්‍ය ප්‍රකාශීත මිහිරි ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි , මාගේ නමස් කාරය වේවා. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මහ රහතන් වහන්සේලාටද , මාර්ගඵල ලාභී මහා රහතන් වහන්සේලාටද , මිහිදු මහා රහතන් වහන්සේටද , ආර්ය මහා සංඝ රත්නයටද මාගේ නමස්කාරය වේවා.
______________________

6 comments (+add yours?)

තුශානි said...

අටවිසි බුද්ධ වන්දනාව මගින බුදුන් වහන්සේලා විසි අට නමක් වන්දනා මාන කරන අතර තුර ඇයි විශේෂයෙන් සත් බුදු වන්දනාවක් මගින් බුදුන් වහන්සේලා හත් නමක් විතරක් වන්දනාමාන කරන්නේ.

කරුණාවෙන් පහදා දෙන්න.

Unknown said...

බුදුන් වහන්සේ  දේශනා කොට වදාළ ආටානාටිය නම් වූ සූත්‍ර දේශනා ව තුළ සත් බුදුවරුන් වන්දනා කිරීම සඳහන් වේ. මෙම සූත්‍රය පිරුවානා පොත් වහන්සෙ තුළ ද ඇතුලත් වී ඇත්තේ එය මහත් බලයක් ඇති සූත්‍ර දේශනාවක් බැවිනි. මෙහි හරය නම් සත් බුදුවරු වන්දනාමාන කිරීම තුළින් සිව්වනක් පිරිසට ආරක්ෂාව සලසාදීම යි. වැඩිවිස්තර සඳහා එම සූත්‍ර දේශනා ව කියවා බලන්න.

Unknown said...

බුදුන් වහන්සේ  දේශනා කොට වදාළ ආටානාටිය නම් වූ සූත්‍ර දේශනා ව තුළ සත් බුදුවරුන් වන්දනා කිරීම සඳහන් වේ. මෙම සූත්‍රය පිරුවානා පොත් වහන්සෙ තුළ ද ඇතුලත් වී ඇත්තේ එය මහත් බලයක් ඇති සූත්‍ර දේශනාවක් බැවිනි. මෙහි හරය නම් සත් බුදුවරු වන්දනාමාන කිරීම තුළින් සිව්වනක් පිරිසට ආරක්ෂාව සලසාදීම යි. වැඩිවිස්තර සඳහා එම සූත්‍ර දේශනා ව කියවා බලන්න.

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

බොහොම පිං ලබාදුන් ධර්ම දානයට

ගවේෂක said...

ලබා දුන් ධර්ම දානයට ඔබට පිං සිදු වේවා! සෙතක් ශාන්තියක්ම මේ භවයේදීත් මතු භව වලදීත් සිදු වන සේක්වා! පතනා බෝධියකින් නිවන් දැකීමට හැකියාව ලැබේවා! නිවන් දකිනා තුරාවටම සුගතීන් වලම පිං වන්ත උපත් ලබන සේක්වා!

Post a Comment