මහා මංගල සූත්‍රය

දෙවියන් සහිත ලෝකයෙහි ඒ ඒ කාලවල ඇතිවන කෝලාහලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

ඒ අනුව

1. මංගල යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලය යි.

2. සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලය යි.

3. ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප ‍කෝලාහලය යි.

4. බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලය යි.

බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙ‍නෙන දේ මංගල යයි කීහ. ” දිට්ඨ මංගලික” යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ. තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ “සුත මංගලිකයන්’යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය. ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. “මුත මංගලිකයන්” මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ. මෙසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්‍යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. දොළොස් වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමට ද නොහැති විය. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතර ද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්‍රහ්මයන් අතරද එය පැතිරී ගියේ ය.

සියල්ලෝම කොටස්වලට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත. මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්‍ර දේවේන්ද්‍රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය. සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්‍ය පුත්‍රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්‍රාප්ත වූයේය. මධ්‍යම රාත්‍රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට ‘බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං’ආදී ගාථාවෙන් මංගල ප්‍රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්‍රය දේශනා කළ සේක. ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ‍ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්‍රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්‍රශ්නය විසඳූ සේක.


මහා මංගල සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

තේරුම

මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

බහූ දේවා මනුස්සා ච

මංගලානි අචින්තයුං

ආකංඛමානා සොත්‍ථානං

බ්‍රෑහි මංගල මුත්තමං

තේරුම

දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

අසෙවනා ච බාලානං

පණ්ඩිතානඤ්ච සෙවනා

පූජා ච පූජනීයානං

එතං මංගල මුත්තමං

තේරුම

අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

පතිරූප දේස වාසො ච

පුබ්බේ ච කත පුඤ්ඤතා

අත්ත සම්මා පණීධි ච

එතං මංගල මුත්තමං

තේරුම

සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

බාහු සච්චං ච සිප්පං ච

විනයො ච සුසික්ඛිතො

සුභාසිතා ච යා වාචා

එතං මංගල මුත්තමං

තේරුම

බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

මාතා පිතු උපට්ඨානං

පුත්තදාරස්ස සංගහො

අනාකුලා ච කම්මන්තා

එතං මංගල මුත්තමං

තේරුම

මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

දානං ච ධම්මචරියා ච

ඤාතකානඤ්ච සංගහො

අනවජ්ජානි කම්මානි

එතං මංගල මුත්තමං

තේරුම

දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

ආරති විරති පාපා

මජ්ජපානා ච සඤ්ඤමො

අප්පමාදො ච ධම්මෙසු

එතං මංගල මුත්තමං

තේරුම

පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

ගාරවො ච නිවාතො ච

සන්තුට්ඨි ච කතඤ්ඤුතා

කාලේන ධම්ම සවනං

එතං මංගල මුත්තමං

තේරුම

ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

ඛන්තී ච සොවචස්සතා

සමණානං ච දස්සනං

කාලෙන ධම්ම සාකච්ඡා

එතං මංගල මුත්තමං

තේරුම

ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

තපො ච බ්‍රහ්ම චරියඤ්ච

අරියසච්චාන දස්සනං

නිබ්බාණ සච්ඡි කිරියා ච

එතං මංගල මුත්තමං

තේරුම

තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි

චිත්තං යස්ස න කම්පති

අසොකං විරජං ඛෙමං

එතං මංගල මුත්තමං

තේරුම

අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

ඵතාදිසානි කත්වාන

සබ්බත්ථ මපරාජිතා

සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති

තං තෙසං මංගල මුත්තමන්ති.

තේරුම

මෙබඳු මංගලයන් කොට සියලු තන්හි නො පැරදුනාහු සියලු තැන සැපතට යෙති. ඔවුනට මෙම කරුණු අටතිස උතුම් මඟුල් වේ. දෙලොව වැඩ සදාලන කරුණු වේ.

Article Taken from Facebook

0 comments (+add yours?)

Post a Comment