වසල සූත්‍රය හැඳින්වීම


බුදුරජාණන් වහන්සේ භාරතීය සමාජය තුළ චින්තන ප්‍රබෝධය තුළින් විශාල පරිවර්තනයක් ඇති කළ ශාස්තෘවරයෙකි. භාරත වැසියාගේ චින්තන සම්ප්‍රදාය නව මගකට යොමු කිරීම සඳහා උන්වහන්සේගේ ධර්මදේශනා ඉවහල් විය.

පොදු ජනතාව තුළ පැවති මුල් බැස තිබූ යම් යම් පාරම්පරික ව්‍යවහාර ක්‍රම සිද්ධාන්ත පදනම් කරගෙන දේශිත සූත්‍ර දේශනා නිසා අමුතු ප්‍රබෝධයක් සත්‍ය දර්ශනයක් උදාවන්නට විය. වසල සුත්‍රය ද එබඳුම පරිවර්තනයක් ඇතිකළ සුත්‍ර ධර්මයකි.

බුදුරජාණන් වහන්සේ වසල යන්න පදනම් කරගෙන පුළුල් අර්ථ විවරණයක් කරමින් අධ්‍යාත්මික හා සංස්කෘතික වටිනාකමකින් යුත් දහම් කරුණු තෙතිසක්ම දේශනා කළහ. බමුණු සමාජයක සිද්ධාන්ත වශයෙන් මුල් බැස තිබුණු සමාජය දූෂිත බව පත්කළ මිථ්‍යා සංකල්පනාවක් වසල සූත්‍රයේ මෙසේ විස්තර වෙයි.

.............................................................................

වසල සූත්‍රය (වසල සූත්‍රයේ කරුණු සරල බසින් ලිපියේ අග දක්වා ඇත )

මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ අම්හි වැඩවෙසෙනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු යෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬුසිඟා වැඩි සේක. එසමයෙහි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙස්න සමීපයෙහි හෝම ගිනි දල්වන ලද වෙයි. ඉදිරියෙහි හොමද්‍රව්‍ය එළවනලද වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ගෙපිළි වෙළින් පිඬුසිඟා වඩනාසේක්. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙසට වැඩි සේක, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ දුර ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: මුණ්ඩකය, ඔබ මැ සිට, ශ්‍ර‍මණකය ඔබ මැ සිට, වසලකය ඔබ මැ සිට යි.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණු හට තෙල වදාළහ: “බමුණ, තෝ වැලිත් වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි දන්හි දැ”යි.

“භවත් ගෞතමයානන් වහන්ස, මම වසලයා වේවයි වසල කරණ ධර්ම වේවයි නො දන්මි ඉදින් භගවත් ගෞතමයන් යම් පරිදි මම වසල වේවයි, වසල කරණ ධර්ම වේවයි දැනගණිම් ද එපරිදි භවත් ගෞතමයානන් වහන්සේ දහම් දෙසන සේක්වා”යි.

එසේ නම් “බ්‍රාහ්මණය, අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි”යි. “භවත්නි, එසේය” යි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වසල සුත් වදාළ සේක:

1. යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියෙත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.

2. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.

3. යමෙක් ගමුදු නියම්ගමුදු වනසා ද, වටලාගණී ද “ගම් පහරණ සොරෙකැ” යි පළට වේ ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

4. ගම්හි වේවයි වල්හි වේවයි අනුන් විසින් මමත්‍ව කළ (හිමියන් විසින් නොදුන්) වතක් සොර සිතින් ගණී ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

5. යමෙක් එකැතින් (පරාගෙන්) ණය ගෙණ චෝදනා කරණු ලබන්නේ “තට මාගේ ණයක් නැතැ”යි පලායේ නම් ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.

6. යමෙක් අල්පමාත්‍ර‍වූ ද, කිසිවක් කැමැත්තෙන් මගැ යන ජනයා නසා බඩු වොලො ගණී ද ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

7. යමෙක් ආත්ම හේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ වේවයි තවද යම් මිනිසෙක් ධනය හේතුයෙන් හෝ සාක්ෂි කොට පුළුවුස්නා ලදුයේ දැන දැන මුසා බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.

8. යමෙක් නෑසබඳුන්ගේ වේවයි යහලුවන්ගේ වේවයි අඹුවන් කෙරෙහි බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ සනායෙන් හෝ ප්‍ර‍තිකූල සේ මර්‍ය්‍යදා භෙද කරණු දක්නා ලැබේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

9. යමෙක් අර්ථොපකරණයෙන් පොහොසත් වූයේ ජරාවෙන් දිරූ ගිය යොවුන් ඇති මව හෝ පියා හෝ නො පුස්නේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

10. යමෙක් මව හෝ පියා හෝ බෑනා හෝ බුහුන හෝ පෙළා ද, වචනයෙන් හෝ කෝප උපදවා ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

11. යමෙක් (සාන්‍දෘෂ්ටිකාදි අර්ථය ) පුළුවුස්නා ලදුයේ (ඔහුට) අහිතයක් මැ පවසා ද, (අර්ථය මැ හෝ) ප්‍ර‍තිච්ඡන්නක වශයෙන් බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

12. යමෙක් පව්කම් කොට ‘මා නහමක් දනීවා’යි කැමැති වේ ද, යමෙක් ප්‍ර‍තිච්ඡන්න කර්‍ම ඇතියේත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

13. යමෙක් පරකුලයට ගොස් පිණී බොජුන් වළඳා ( තම නිවෙසට) පැමිණියහුට ප්‍ර‍තිපූජා නො කෙරේ ද ඔහු ‘වසලයෙක’යි දන්නේය.

14. යමෙක් බමුණකු වේවයි මහණකු වේවයි අන්කිසි යදියකු වේවයි මුසවායෙන් රවටා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

15. යමෙක් භෝජන කාලය එළැඹෙත්ම බමුණකු වේවයි මහණකු වේවයි පරොස් බසින් කෝප උපදවා ද, කිසිත් නො දේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

16. මෙලොවැ යමෙක් මෝහයෙන් වෙළුනේ කිසිවක් (ලබා) ගණු කැමැත්තේ අසත් බස් තෙපලා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

17. යමෙක් ස්වකීය මානයෙන් ඉතා හීන වූයේ තමා හුවා දක්වා ද, මෙරමා හෙලා දකී ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

18. (මෙරමාහට) කෝප උපදවනුයේ තද මසුරු වූයේත් වේ ද, ලාමක වු ඊප්සා ඇත්තේ ද, මසුරු බැව් ඇත්තේ ද, ශඨභාවයෙන් යුක්ත වේ ද, පවට ලජ්ජ නැත්තේ පවට බිය නැත්තේ වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

19. යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

20. යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ.

21. (පරමාර්ථ විසින්) ජාතියෙන් වසල නො වෙයි. ජාතියෙන් (උපතින්) බමුණු ද නොවේ. (අපරිශුද්ධ) කර්‍මයෙන් වසල වෙයි (පරිශුද්ධ) කර්මයෙන් බ්‍රාහමණ වේ.

22. යම් ප්‍ර‍කාරයකින් මාගේ මේ නිදසුන වේ ද, එකරුණ මේ ප්‍ර‍කාරයෙනු දු දැන ගණිවු. (කෑමට) බලුමස් උයන ශ්වපාක නම් සැඩොල් පුතෙක් මාතඞ්ගයයි ප්‍ර‍සිද්ධ විය.

23. ඒ මාතඞ්ග හීනකුලොත්පන්නයකු විසින් ඉතා දුර්ලභ වූ යම් යශසකට පැමිණියේ ද, ඔහුට උවටැනට බොහෝ ක්ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝ ද පැමිණියහ.

24 - 25 හේ (රාගාදී කෙලෙස් රජස් නැති) බුද්ධාදීන් විසින් පිළිපන් හෙයින් මහාමාර්ගවූ (අටසමවත්) දේව යානයට නැග කාමරාගය ප්‍ර‍හීණ කොට බඹලොවට පිළිසඳ විසින් පැමිණියේය. ජාතිය බඹලොව උපතින් ඔහු නො වැළහීය. වෙදහදාරණ කුලෙහි උපන්, වෙදය පිළිසරණ කොට ඇති, ඒ බ්‍රාහ්මණයෝ ද නිතර පව්කම්හි (ගැලුනාහු) දක්නා ලැබෙත්.

26. දිටු දැමියෙහි ගැරහීමට පත් වූවාහු පරලොව්හි දුගතියට ද පත්වූවාහි දක්නා ලබෙති. ජාතිතොමෝ ඔවුන් දුගතියෙන් හෝ ගැරහීමෙන් හෝ නො වළහා.

27. ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්මයෙන් වසල වේ. කර්මයෙන් බ්‍රාහ්මණ වේ.

මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය, භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කොට තබන්නේ යම් සේ ද, වසන ලද්දක් හෝ විවෘත කරන්නේ යම්සේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ යම් සේද, ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසන ලද. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවෙකු කොට මා දරණ සේක් ව යි.

වසල සූත්‍ර‍ය නිමි.

...........................................................

වසල සූත්‍රයේ කරුණු සරල බසින්

1. නිතර කිපෙන බව.

2. බද්ධ වෛරයෙන් යුක්තවීම.

3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.

4. මිසදිටු අදහස් ඇතිවීම.

5. අනුන් රවටන ස්වභාවය.

6. සත්ත්ව හිංසාව.

7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.

8. අනුන් සතු දෙය සොරකම් කිරීම.

9. ණය ගෙන ණය හිමියා රැවටීම.

10. මංකොල්ලකෑම.

11. බොරු සාක්ෂ්‍ය දීම

12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් සැහැසීව හෝ මිතුරුව අනාචාරයෙහි හැසිරීම

13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට සංග්‍රහ නොකර අකෘතඥවීම.

14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ නැදිමයිලනට හිංසා පීඩා කිරීම හා පරොස් බස් බිණීම.

15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන උපදෙස් වලින් අනුන් නොමඟ යැවීම.

16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.

17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට තම නිවසට පැමිණි විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.

18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.

19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි මහණ බමුණන්ට පරුෂ වචනයෙන් කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.

20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.

21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.

22. රළු පැවතුම් ඇති බව

23. තද මසුරු සිත් ඇති බව

24. පවිටු අදහස් ඇති බව.

25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය

26. කෛරාටික බව

27. පව් කිරීමට ලජ්ජා නැතිකම.

28. පව් කිරීමට බිය නැතිකම.

29. බුදුරදුන් නිග්‍රහ කිරීම.

30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.

31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .

32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රතිඥා කෙරේ නම් හේ ලොව සොර දෙටුවා බව ප්‍රකාශ කිරීම.

33. ජාතිය නිසා වසලයෙක් හෝ බමුණෙක් නොවන බවත් කර්මයෙන් ( ක්‍රියාවෙන්) ම වසලයෙක් හෝ බමුණෙක් වන බවත් දැන්වීම.

මෙකී කරුණු තිස්තුන වසල කාරක ධර්ම වශයෙන් වදාළහ.

......................................

 Us ON ► මුදුන (Muduna)

0 comments (+add yours?)

Post a Comment