බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසී

අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ හැම අතින් ම අංගසම්පූර්ණ වූ උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා කියන අදහසයි. මෙම පිළිතුරත් සමඟ ආරම්භ වන සාකච්ඡාව තුළින් පැහැදිලි වෙනවා මෙම ‘බ්‍රහ්මචාරී’ යන වචනය මොනතරම් පුළුල් අර්ථයක් ගන්නවා ද කියලා. මේ අවස්ථාවේ දී බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. “ භවත් ගෞතමයන් වහන්ස, එසේ නම් එම කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කබර වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නැතිව නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව කුමක්ද? යන්න මට එහෙමනම් පැහැදිලි කර දෙන්න” කියා. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම බ්‍රහ්මචර්යාව විස්තර විභාග වශයෙන් පැහැදිලි කර දෙන ආකාරය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් සත්තමෙථුන සූත්‍රයෙන් අපට දැක ගත හැකි වෙනවා.
මෙම සූත්‍රදේශනාව අනුව බ්‍රහ්මචර්යාව අංග සම්පූර්ණ වීමට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට පියවර හතක් දුරට, ඈතට තවදුරටත් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ තේරුම් ගෙන ඇති පරිදි බ්‍රහ්මචර්යාවෙන් අදහස් කරන්නේ මුලින් ම පෙන්වා දුන් ආකාරයේ සාමාන්‍ය අර්ථයට එහා ගිය වඩාත් පුළුල් අර්ථයක්.


“යම්කිසි අයෙක් ඉහත සඳහන් ආකාරයට මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරමින් ස්ත්‍රී පුරුෂ සම්භෝගයක් නොමැතිව, එහි කැඩීමක් නැතිව, සිදුරක් සොයා ගත හැකි හෙවත් අඩුපාඩුවක් නැතිව, කෙනෙකුගේ පැහැපත් සමක් මතුපිට ඇති වන කබර වැනි පලුද්දක් වැනි තත්ත්වයක් නැතිව, චරිතය පිළිබඳ වෙනත් පැල්ලම් නොකැළැල් වූ පරිපූර්ණ, පිරිසුදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගෙන ජීවත් වන විට ඔහු මෙම බ්‍රහ්මචර්යාව අනුගමනය කරන අයෙක් කියා අපට ප්‍රකාශ කළ හැකි ය. ඒත් ජානුස්සෝණී බමුණ, මේ තත්ත්වය බ්‍රහ්මචර්යාවේ එක් පියවරක් පමණයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙයින් පැහැදිලි කරන අදහස නම් එපමණකින් ම බ්‍රහ්මචර්යාව සම්පූර්ණ නොවෙනවා කියන එකයි.


දෙවනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා යම් අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරම්යි කියා කිසියම් ප්‍රතිඥාවක් දී එසේ එවැනි ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්භෝගයක් ඇති වෙන්නේත් නැහැ. එසේ වුවත් ස්ත්‍රියක් ලවා තම ශරීරය ඉළීම, පිරිමැදීම, නැහැවීම, අත්පා මිරිකීම ආදී කිසිවෙකුත් නො කළත් ස්ත්‍රියක් සමඟ අනවශ්‍ය ලෙස සිනාසෙමින්, උකුලු මුකුලු කරමින්, අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් නොයෙක් විනෝද ජනක ක්‍රීඩා කරමින් මහහඬින් කාලය ගෙවයි නම් එයින් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නෙත් නැහැ කියා.
තෙවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මුලදී පෙන්වා දුන් තත්ත්වයකට වුවත් පත් නොවී බ්‍රහ්මචර්යාව ගත කරන බවට ප්‍රතිඥා දුන් අයෙක් ස්ත්‍රියක් දෙස මහත් ඕනකමින් බලයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.


සතරවැනි අවස්ථාව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්ත්‍රියක් පිළිබඳ මෙතෙක් කී කිසිදු ක්‍රමයක් අනුගමනය නො කළත් ස්ත්‍රියක් ප්‍රාකාරයකින් හෝ බිත්තියකින් හෝ පිටත සිට හෝ නොපෙනෙන තැනක වූවත් සිට සිනාසෙන, අඬන, ගී ගයන හඬ අසමින් තෘප්තියක් ලබනවා නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වන්නේ නැහැ.


පස්වැනි අවස්ථාව ලෙස මෙතෙක් කියූ හැම අවස්ථාවකින් ම බ්‍රහ්මචර්යාව රැකගෙන සිටියත් මුලින් පැහැදිලි කරලා දුන් ආකාරයට බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් අය මීට පෙර යම් අවස්ථාවක මුලින් කී ආකාරයට නොපෙනෙන තැනක සිට සිනාසෙන, අඩන, ගී ගයන හඬ අසමින් තමන් කාලය ගත කළ අයුරු නැවත සිහි කරමින් කාලය ගත කරයි නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙන්නේ නැහැ කියා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.


සයවැනි අවස්ථාව ගතහොත් මෙතෙක් කී කිසිදු අඩුපාඩුවක් නැතිව බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දුන් යම් අයෙක් පස්කම් සැපයට (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) ගොදුරු වූ එයින් ම සතුටට පත්ව හුදු විනෝදයෙන්, ඊට ගිජුකමින් ජීවත් වන ගිහි ජීවිතයක් ගත කරන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු දැක ඒ පිළිබඳ සතුටක් ඇති කර ගනී නම් එයිනුත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා වුණා කියලා කියන්ට බැහැ.
අවසාන හෙවත් හත්වන අවස්ථාව වශයෙන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා වීමට අවශ්‍ය කාරණයක් පෙන්වා දෙනවා. එය නම් යම්කිසි අයෙක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් දී මෙතෙක් විස්තර කළ සෑම අවස්ථාවකින් ම සම්පූර්ණ වුවත්, තමා ඒ විදියට බඹසර ආරක්ෂා කරගෙන ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ දෙවියෙකු බවට පත්වීමේ ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා නම් එයින් ද බ්‍රහ්මචර්යාව ආරක්ෂා නොවන බව.


මෙතෙක් විස්තර කළ අවස්ථා හත දෙස බලන විට පෙනී යන ඉතා වැදගත් කාරණය වන්නේ සාමාන්‍ය මිනිස් හැසිරීම ඉක්මවා උසස් හැසිරීමක් ඇති බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම ඉතා සියුම් සුවිශේෂ ප්‍රතිපත්තියක් පිරීම බවයි. අෂ්ටාංග සීලය ද ඇතුළුව ඊටත් ඉහළ යන සීලමය ප්‍රතිපදාවක් පිරීමට ගිවිස ගන්නා සෑම ගිහිපැවිදි අයෙක් ම මෙම ශික්ෂාපදය සමාදන්වීම තුළින් බුදුදහමේ ඉගැන්වෙන අවසාන විමුක්තිය වන නිර්වාණය අරමුණු කොට අපේ සිතට එන කෙලෙස් කසට නිසා එම විමුක්තියට බාධාවක් වන රාගය නමැති සිතිවිල්ල මූලික වශයෙන් යටපත් කරවීම මෙයින් බලාපොරොත්තු වන අරමුණ බවයි. ඒ හැරුණු විට එම රාගය තවදුරටත් වර්ධනය වීමකට ඉඩ නොතබා රාගාදී කෙලෙස් යටපත් කිරීමට මේ බ්‍රහ්මචාර්යාව පුරුදු පුහුණු කිරීම හේතු වන බව මෙයින් පැහැදිලි කර දෙනවා.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති,
මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

Taken from Elakiri.ocm

0 comments (+add yours?)

Post a Comment