දුශ්ශීලයන්ට දන්දීම සත්කාර කිරීම සුදුසුද?


ඔවුනට දන් දීමෙන් පින් සිදු වේ ද?

කුණුවළවල හෝ කාණුවල හෝ යම් ප්‍රාණීහු වෙත් ද, යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යැපෙත්වා යි සැළි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේ ද, වච්ඡය, එයින් ද පින් සිදු වන බව මම කියමි. මිනිසකුට දන් දීම ගැන කියනුම කිම? තවත් කරුණක් නම්: සිල්වතාට දීම මහත්ඵලය යි ද, දුශ්ශීලයාට දීම එපමණ මහත්ඵල නො වේය යි ද කියමි.

මෙයින් දැක්වෙන්නේ දුශ්ශීලයන්ට නො දිය යුතු ය, අලජ්ජීන්ට නො දිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා: දෙන තැනැත්තා ගේ පින නැති කිරීම ය, ලබන තැනැත්තා ගේ ආහාරය නැති කිරීම ය, සත්පුරුෂ ගුණය නැතිකර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීම ය යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායයක් කරන බව හා සැම දෙනාට ම දන් දිය යුතු බව ය.

එයින් දක්වන තවත් කාරණයක් නම්, සිල්වතුන්ට දීම මහත්ඵල බවත්, දුශ්ශීලයන්ට දීම එතරම් මහත්ඵල නො වන බවත් ය. දුශ්ශීලයාට දීම මහත්ඵල නැතය යි කියනුයේ, එයින් පින් සිදුවීමක් නැති නිසා ය යි වරදවා තේරුම් නො ගත යුතු ය. එයින් දක්වන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුශ්ශීලයාට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණෙකි. දන්දීම මහත්ඵල වීමට දායකයා ගේ ශීලයත් උවමනා ය. දායකයා සිල්වත් නම් ප්‍රතිග්‍රාහකයා දුශ්ශීල වුවත් දානය මහත්ඵල වන බව -

“යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ක්‍ධති”
යනුවෙන් වදාරා තිබේ.
“යම් සිල්වතෙක් මහත් වු කර්ම පලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දානය දායකයා ගේ ගුණය නිසා මහත්ඵල වේය” යනු එහි අදහස ය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුශ්ශීල දායකයන්ට ය. දායකයා දුශ්ශීල වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් එයින් ද දානය මහත්ඵල වන බව -

“යො දුස්සීලො සීලවන්තේසු දදාති දානං
අධම්මේන ලද්ධං අප්පසන්චිත්තො
අනභිසද්දහං කම්මඵලං උලාරං
සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති”
යනුවෙන් වදාරා තිබේ.

“යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නො තබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙයින් සීලවන්තයන්ට දේ නම්, ඒ දානය ප්‍රතිග්‍රාහකයන් ගේ ගුණය නිසා මහත්ඵල වේ ය” යනු එහි තේරුම ය.

lakehouse.lk/alokoudapadi/

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න www.sinhala.TheBuddhism.net

0 comments (+add yours?)

Post a Comment