පතාකා ප්‍රේත වස්තුව



පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් ස්තූපයක් විය. එහි ඔසවා තිබූ කොඩියක් සුළගින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිණ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සදහන් කර තිබූ අකුරු දැක චෛතයට පුද ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභකොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය.
කලකට පසු ඔහු කළු්‍රිය කොට ගිනියම් වූ දහසක් යපට ඇගේ වෙළුණු ප්‍රේතයෙක් විය. ඔහුට වාඩිවන්නට හෝ නිදන්නට හෝ නොපිළිවන. කෑම් බීම් කරන්නට නොපිළිවන. ඔහු මහබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මද්‍රයම රාත්‍රීයේ එක්තරා ස්ථවිර නමක් ඉදිරියේ පෙනී සිට, ඔහුට පැමිණි දුක කියා සිටියේය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ, "නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැයි" ඇසූහ. "හිමියනි! දීර්ඝායු චෛතයට කොඩි දහසක් පුදා මට පින් දුනහොත් මිදිය හැකි වන්නේය." කියමින් ප්‍රේතයා අතුරුදහන් විය.
ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන්වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛතයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටගුලක් විවුර්ත විය. එදින රාත්‍රීයේ ප්‍රේතයා නැවතද තෙරුන්වහන්සේට පෙනී සිට හිස අටගුලක් විවුර්ත වූ බව කීය. තෙරුන්වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛතයට පුදා පින් දුන් කල්හි තවත් අටගුලක් ප්‍රේතයාගේ ශරීරය විවුර්ත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණකළ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය.
එදින මධයම රාත්‍රීයේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන්වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන්වහන්සේ නුඹ කවරෙක්දැයි ඇසූ කල්හි "හිමියනි! මම පෙර ගිනියම් වූ දහසක් යපටින් වෙළී කෑමක් බීමක් නැතිව වාඩිවීමක් නිදීමක් නැතිව මැරෙන්නේද නැතිව මහ දුක් වින්දෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස! මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේය. ඒ මම නුඹ වහන්සේ දැක වැදීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමාමහ නිර්වාණ සුඛයට පැමිණෙන්නට ලැබේවායි ප්‍රේතයා කීය.
ඉක්බිති හෙතෙම්මේ හිමියනි ; බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තැනෙහි කළ ස්වල්පවූ ද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේය. එසේම ඒ තුන් තැන්හි කරන ස්වල්ප වූ ද පූජාව අනන්ත ඵලදායක වන්නේය යි කියා තෙරුන්වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිණා කොට වැද අතුරුදහන් විය.

මේ කථාව ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථයෙන් ගන්නා ලදී. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුවද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයෙහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කථාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නොදත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාර වල දාගැබ්වල බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ වුවමනා වලට තැනින් තැන ගෙන යති. පහන්වල තෙල් ගනිති. ඉදල් හා භාජන තමන්ගේ වුවමනා වලට ගෙනයති. කොඩි මල් ආදිය ගෙනයති. නපුරු විපාක ඇතිවිය හැකි බැවින් ඒවායින් වළකිත්වා.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

0 comments (+add yours?)

Post a Comment