බක්කුල මහ රහතන්වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි" කියා ප්‍රාර්ථනා කළහ. එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.

විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය. එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

මේ පින්වත් කුමරා දුටු සිටු මෑණියන් තම දරුවා පින්වත් කුමරෙක්‌ බව දැන දීර්ගායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා උපත ලැබූ දිනයේම යමුනා ගංතෙරට පෙරහරින් යෑව්වේ ස්‌නානය කරවනු පිණිසය. කිරි මෑණියන් විසින් කුමරා නහවන විට එතැනට පැමිණ මත්ස්‍යයෙක්‌ ගොදුරක්‌ යෑයි සිතා මේ කිරි කැටියා ගිල දැමීය. මේ කුමරාගේ පුණ්‍යභාවය නිසා මත්සයා ගිලදැමුවද කිසි අනතුරක්‌ නොවීය. පසුව තිස්‌ යොදුනක්‌ ගිය මේ මත්සයා බරණැස්‌ නුවර ධීවර දැලකට පැටලී මරණයට පත්විය. ධීවරයෝ මේ මාලුවාගේ ප්‍රමාණය දැක රන්මසු දහසකට අලෙවිකරන බව පවසමින් බරණැස්‌පුර වීදිපුරා ගමන් කරන්නට විය. පසුව අසූකෝටියක්‌ ධනය ඇති දරුවන් නොමැති සිටුගෙදරකට මේ මත්ස්‍යයා අලෙවි කරන ලදී. බරණැස්‌ සිටු දියණිය මාළුවා කපද්දී බඩ ඇතුළේ සිටි කුමාරයා දැක වහාම ඔහු එළියට ගෙන සිටුවරයා වෙත දැන්වූයේ අපට රන්වන් දරුවකු ලැබුණු බව කියමිනි. මහ සිටුතුමාද මේ දරුවා දැක බලවත්සේ සතුටට පත්ව මහ පෙරහරින් ගොස්‌ මේ කුමරා බරණැස්‌ රජුට පෙන්විය. බරණැස්‌ සිටු පවුලකට මසකුබඩින් දරුවෙකු ලැබුණු බව දැනගත් කොසැඹෑ නුවර සිටු පවුල වහාම පැමිණ මේ ගැන පිරික්‌සා තම දරුවා බව කියමින් මේ ගැන රජුට පැමිණිලි කළහ. මේ නඩුව ඇසූ රජු කාලයෙන් කාලයට මේ දරුවා පෝෂණය කර රැකබලා ගන්නා ලෙස සිටු පවුල් දෙකටම දැන්වීය. මේ දරුවා නිසා සිටුවරුන් දෙදෙනාගේ ලාභ සම්පත්ද සීග්‍රයෙන් වැඩිවන්න විය. සිටුවරුන් දෙදෙනකු විසින් පෝෂණය කළ නිසා මේ කුමරා "බක්‌කුල" ලෙස මුළු රට පුරාම ප්‍රසිද්ධ විය. බක්‌කුල කුමාරයා වැඩිවියට පත්වූ විට ඔහුට සියලු සම්පතින් හෙබි මාලිගා හයක්‌ විය. ඒ සිටුවරු දෙදෙනාම මාලිගා තුන බැගින් බක්‌කුල කුමරුට සාදා දුන් නිසාය. මෙලෙස අසූ වසරක්‌ බක්‌කුල සිටුතුමා ගිහි සැප උපරිම ලෙස අනුභව කළේය.

බුදුන්වහන්සේ කොසඹෑ නුවරට වැඩි පසු බක්‌කුල සිටුතුමා වෙහෙරට ගොස්‌ බණ අසා බෙහෙවින් පැහැදී මහණවීමට තීරණය කළේය. සියලු සම්පත් අතහැර මහණ වූ බක්‌කුල හිමියෝ ටික දිනකින්ම රහත්භාවය ලබාගත්හ. බක්‌කුල මහරහතන් වහන්සේ සිය පැවිදි ජීවිතයද වසර අසූවක්‌ ගතකළද උන්වහන්සේට කිසිදු රෝගාබාධයක්‌ නොවීය. ඒ අතීතයේ සිදුකළ මහත් වූ කුසලයන් නිසාය.


Taken form Elekiri.com(Bingo)

0 comments (+add yours?)

Post a Comment