සන්තති ඇමතියාගේ කථා වස්තුව. “පින පල දෙන හැටි පුදුමයි”


පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වන විදිහ අපට හිතාගන්න බැහැ. එය තේරුම් ගත හැක්කේ බුදු ඇස තිබෙන භාග්‍යවතුන් වහන්සේට විතරයි. අපගේ භාග්‍යවතුන් වහන්සේට බුදු ඇස තියෙනවා. බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ කියන්නේ සත්ත්වයන්ගේ ආසයඅනුසය දන්නා ඤාණයක් තියෙනවා. ඒ තුළින්කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් උන්වහන්සේට ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්ත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව පුර්ණ වාර්තාවක් ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන් වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.

දැන් ඔබ ඉගෙන ගන්නේ එවැනි කතාවක්. හරි පුදුම විදිහට මේ පින්වත්කෙනා ධර්මය කරා ගියා. එක් කාලයක කොසොල් රජ්ජුරුවන්ගේ රාජධානියෙහි එක්තරා ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇති වුණා. රජතුමා සන්තති නම් වූ මහ ඇමැතිතුමා එය මැඬලන්න පිටත් කළා. ඔහු කැරැල්ල මැඬලා ආපසු ආවා. රජතුමාට හරි සතුටුයි. රජතුමා හත් දවසක් රජෙකුට වගේ සැලකිලි දැක්කුවා. නැටුම්, ගැයුම් වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් උපස්ථානයට දුන්නා. දැන් ඔහු රජෙක් වගේ ඉන්නවා. දවස් හත ගෙවිලා ගියා. අන්තිම දවස නිසා ඇති පදමට බිව්වා. රජ ඇඳුමෙන් සැරසිලා ඇතා පිට නැගී නාන්න පිටත් වුණා.

ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේත් පිඬුසිඟා වඩිනවා. උන් වහන්සේ දොරටු අතර වැඩසිටියා. ඔය අතරේ සන්තති අමාත්‍යයා ඇතා පිටින් යනවා. ඇතා පිට සිටිද්දීම ඔහු භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස ඇල කොට නැමුවා. වන්දනා කළා. පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වුණා.

“ස්වාමීනි, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද?”

“පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත් වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.”

මිනිස්සු වටවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමග මේ කරන කතාවට සවන් දුන්නා. මේ වචනය හැමතැනම පැතිරී ගියා. ධර්මයෙහි ඇද හොයන අයට ;මය හොඳ ආයුධයක් වුණා.

“ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ නම් යසයි! කටට එන එන දේ කියනවා. අර බේබද්දා ඔය විදිහටම ආභරණ සමග ආපහු ඇවිදින් බණ අහලා පිරිනිවන් පානවා කියන්නේ. අද නම් ඔය බොරු කීමට අපි නැගී හිටින්න ඕන.”

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් මෙහෙම හිතුවා.

“සැබැවින්ම බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයි! අද බුදුරජුන්ගේ හාස්කමත්, බෞද්ධ ශ්‍රාවක භාවයට පත්වන සන්තති අමාත්‍යයාගේ හාස්කමත් අපට දැකගන්නට පුළුවනි.”

ඉතින් ඇමතිතුමා නාන්න ගියා. හොඳට නෑවා. උයනට ආවා. ශාලාව මැද්දේ වාඩිවුණා. දැන් මෙයා කැවිලි ජාති කකා නැටුම් බලනවා. අර ලස්සන ස්ත්‍රිය සිංදු තාලෙට විදුලිය වගේ නටනවා. මේ ස්ත්‍රියට දවස් හතට තමයි වැටුප් ලැබෙන්නේ. හත්වෙනි දවසේ ඇමතිතුමාව වැඩිපුර පහදවන්න හිතලා වේගයෙන් නැටුවා. ඇයට හෘදයාබාධයක් වැළඳුණා. එතනම මැරිලා වැටුණා. සන්තති අමාත්‍යයාට නිකම්ම නැගිට්ටුණා.

“අන්න,... මගේ නළඟන වැටුණා... ඉක්මනට ඔසොවා ගනිල්ලා... ඔය මක් වුණාද....?”

“ඇමතිතුමනි.... මෑ.... මෑ.... මැරිලා....!”

ඇමතිතුමාට ඉහලට ගත්තු හුස්ම පහළට ගන්නත් අමාරු වුණා. වෙරි හිඳුණා. හඬන්න පටන් ගත්තා. හැම දෙයක්ම එපා වුණා. “අයියෝ!! මේ මොකද වුණේ...” කියලා වැළපුණා. බුදුරජාණන් වහන්සේව මතක් වුණා.

“භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවන්න වෙන කෙනෙක් නෑ.... මට මේවා වැඩක් නෑ... මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්කරගෙන පලයන්...”

නිළියගේ කටයුතු අවසන් කොට මහත් කම්පාවෙන් යුතුව ඔහු සේනාව සමග භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. තමන්ගේ ශෝකය කියා හිටියා.

“පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින් මිය ගිය අනෙක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩී” යැයි පැවසුවා. ඉන් පසුව උන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාළා.

“යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ෙක්‍ද චේ නෝ ගහෙස්සසි - උපසන්තෝ චරිස්සසි”

යමක් වූයේ නම් කලින් – වියළා දමන්න සහමුලින්
අනාගතයේ ඇතිවන - කෙලෙස් ඔබ නොගනීවා
මේ මොහොතෙදී කිසිවක් – ඔබට පැටලී නැතිනම්
උපශාන්තව සැබැවින් – හැසිරෙනු හැකිය මැනැවින්
පින්වතුනේ පින්වත් දරුවනේ ඔය ගාථාරත්නයයි ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. හරිම ආශ්චර්යයි! ඔහු අරහත්වයට පත් වුණා. තවමත් රජ ඇඳුම් පිටින් ඉන්නේ. සන්තති රහතන් වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා”

“එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න. එතකොට හැමෝටම පිනෙහි වටිනාකම තේරේවි.”

ඉතින් සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින්ම අහසට පැන නැංගා, පළඟක් බැඳ වාඩි වුණා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා!! මෙයින් අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගෙ කාලෙ මං බන්ධුමතී නගරයේ ඉපදිලා හිටියේ. කාටවත් වරදක් නැතුව, හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න මං කල්පනා කළා. ඊට පස්සේ මං තෝරාගත්තා බණ කීම. මහජනයාට මං දහම් කරුණු කියා දෙනවා. ‘පින්වත්නි, පින් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. ධර්මය අහන්න. තුණුරුවනට ගෞරව කරන්න...’ ආදිය කියමින් ගියා.

ඒ විපස්සී බුදුරජුන්ගේ පියාණන් වන බන්ධුමතී මහරජුට මං ගැන අසන්නට ලැබුණා. මාව කැඳෙව්වා.

“දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?”

“දේවයන් වහන්ස, මං තුණුරුවන්ගේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා.”

“කොහෙ ඉඳන්ද ඒක කරන්නේ?”

“දේවයන් වහන්ස, මං පයින්ම ඇවිදගෙන ගිහින් තමයි ඒක කරන්නේ...”

“දරුව, එහෙම යන්න ඕන නෑ. මල් මාලයක් පැළඳගෙන අශ්වයා පිටේ නැගලා ගිහින් කියන එකයි හොඳ” කියලා මල් දන් දුන්නා. හීලෑ අශ්වයෙක් දුන්නා.

ඉතින් ස්වාමීනි, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා. ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා. කැඳවලා මෙහෙම කිව්වා.

“දරුව, අශ්වයා ගැලපෙන්නේ නෑ. මං අශ්ව කරත්තයක් දෙන්නම් කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා. මං ඒකෙ නැගලා තමයි ඊට පස්සේ බණ කිව්වේ. ආයෙමත් මාව කැඳෙව්වා. කැඳවලා මට සැප සම්පත්දීලා මාලිගාවකුත් දීලා ඇතෙකුත් දුන්නා. මං සියලු ආභරණ වලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූ හාරදහසක් මිනිස්සුන්ව පිනට යොමු කළා.

ස්වාමීනි එතෙක් මෙතෙක් කාලයක මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නෑ. සඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නෙ නෑ. මහනෙල් මල් සුවඳයි. මේ තමයි මා කළ පින්කම.”

ඉතින් ඒ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩසිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පෑවා. ශරීරය ගිනි ගෙන දැවී සමන් මල් මිටක් වගේ ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්න කිව්වා. අන්න ඒ වස්ත්‍රයට ධාතුන් වහන්සේලා වැටුණා. මහජනයාට වන්දනා කොට පින් කර ගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කෙරෙව්වා.

භික්ෂූන් වහන්සේලා අතර කථාවක් ඇති වුණා “මේ ඇත්තා අරහත්වයට පත්වුණේ ගිහි ඇඳුම් පිටින් නෙව. දැන් අපි මොහුට කුමක්ද කියන්නේ....? ශ්‍රමණයෙක් කියනවාද? බ්‍රාහ්මණයෙක් කියනවාද?”

බුදුරජාණන් වහන්සේට මෙය අසන්නට ලැබුණා. උන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, මාගේ ළයෙහි උපන් දරුවාට ශ්‍රමණයා කියන්ටත් වටී. බ්‍රාහ්මණයා කියන්ටත් වටී.” මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

අලංකතෝ චේ’පි සමං චෙරෙය්‍ය
- සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
- සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු
සොඳුරු ආභරණ වලින් සුසැදිව
- සිටි නමුත් හැසිරෙයි ද දහමේ
කෙලෙස් සංසිඳුවාගෙන ඉඳුරන්ද දමනය කොට
- තිරව දහමෙහි පිහිටා උතුම් බඹසර හැසිරුණ
හැම සතුන් වෙත මෙත පතුරා මුගුරු අතහැර
- වසනා යමෙක් වෙයි නම්
හේ බ්‍රාහ්මණයෙක්මයි
- ශ්‍රමණයෙක්මයි භික්ෂුවක්මයි
පින්වතුනේ පින්වත් දරුවනේ හරි පුදුමයි නේද? හරි දෙයක් කළොත් වරදින්නෙ නෑ. යහපත උදාවෙනවාමයි. මේ ගෞතම බුදුසසුනේ පිහිට ලබන්න තියෙන්නෙත් ඒ වගේ අවංක සිතින් ධර්මයේ හැසිරිලයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඕනෑවට වඩා බඩු මුට්ටු පුරවා ගත්තොත් ගෙයක් වුණත් ලස්සන නෑ. සාමාන්‍යයෙන් පැවිදි උතුමන් වාසය කරන තැන චාම් වුණ තරමට ලස්සනයි. කොටින්ම බුදුරජාණන් වහන්සේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වූ කෙනෙක්. භික්ෂූන් වහන්සේලාටත් වදාළේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වෙන්න කියලයි. කුරුල්ලෙක් ඉගිල යද්දී ඌට තියෙන්නේ පියාපත් බර විතරයි. මෙතනින් තව තැනකට යද්දී පාත්‍රා සිවුරු විතරක් අරන් යන්න කිව්වා. ඒ කාලෙ වැඩසිටි භික්ෂූන් වහන්සේලා මොනතරම් සැහැල්ලුවෙන් ඉන්න ඇද්ද? හැබැයි ඔය අතරවාරයේ පොට වැරදුණු එක්කෙනෙක් දෙන්නෙක් නම් සිටිය බව පේනවා. දැන් අපි අහන්නේ එවැනි කතාවක්.

සැවැත් නුවර එක්තරා පවුලක් වාසය කළා. ඒ ගෙදර බිරිඳ මැරුණා. ස්වාමියා භික්ෂූන් ළඟට ගිහින් පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි වෙන්න කලින්ම තමන්ට ඉන්න කුටියක් හැදෙව්වා. ගිනිහල්ගෙයක් හැදෙව්වා. බඩු ගබඩාවක් හැදෙව්වා. ගිතෙල්, මීපැණි ආදිය පිරෙව්වා. ඊට පස්සේ තමයි පැවිදි වුණේ. තමන්ගේ සේවකයන් ලවා පණිවිඩ යවලා කැමති කැමති වෑංජන හදාගෙන ගෙන්න ගන්නවා. රාත්‍රියට වෙන සිවුරක් පොරවා ගන්නවා. දවල්ට තව සිවුරක් පොරවා ගන්නවා. දවල් කාලෙ වෙනත් විහාරයක වසනවා.

දවසක් තමන්ගේ සිවුරු ඇතිරිලි ආදිය සේවකයන් ලවා අව්වට වේලෙන්න දැම්මා. සේනාසන චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා මේවා දැක්කා.

“හප්පේ...! කාගෙද ඇවැත්නි, මෙතරම් සිවුරු පිරිකර...? බොහෝ සඟ පිරිසක් ඉන්නවාද?”

“අනේ නෑ ආයුෂ්මතුන් වහන්ස. මං විතරයි ඉන්නේ...”

“එතකොට තමුන්නාන්සෙගෙද මේ ඔක්කොම...?”

“එහෙමයි ඇවැත්නි.”

“ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ අපට අනුමත කළේ සිවුරු තුනක් නෙව. මෙතරම් අල්පේච්ඡ වූ බුද්ධ ශාසනයේ පැවිදි වූ ඔබ බලන්න... ගොඩගහගෙන තියෙන බඩු කන්දරාව... මේක නම් හරි නෑ... යමු භාග්‍යවතුන් වහන්සේ මුණගැසෙමු.”

ඉතා අකමැත්තෙන් ඒ භික්ෂුව අර භික්ෂූන් වහන්සේලා සමඟ පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට කරුණු සැළවීමෙන් පසු උන්වහන්සේ ප්‍රශ්න කළා.

“පින්වත් භික්ෂුව, මේ කතාව ඇත්තද?”

“එහෙමයි ස්වාමීනී”

“පින්වත් භික්ෂුව, දැන් බලන්න... මේ තරම් අල්පේච්ඡතාවය ගැන කරුණු කියද්දී පිරිකර ගොඩගහගත්තා නේද?”

මෙසේ ඇසීම නිසා ඒ භික්ෂුව කිපුණා. කිපිලා තමන් පොරවාගෙන සිටි සිවුරු එතනම ගලවලා දැම්මා. අඳනය පිටින් හිටගත්තා.

“එතකොට මට කියන්නේ මෙහෙම හැසිරෙන්න කියලද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?”

එතකොට ඒ භික්ෂුවට බලවත් ලැජ්ජාවක් ඇතිවුණා. යළි සිවුර පොරවාගෙන සංසුන්ව වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඒ අතීත විස්තරය කියල දුන්නා.

ඉස්සර කාලෙ බරණැස් නුවර රජ්ජුරුවන්ගේ බිසවගේ කුසේ මහාබෝසතාණන් වහන්සේ උපන්නා. මහිංස කුමාරයා යන නම ලැබුණා. ඒ කුමාරයාගේ බාල සහෝදරයාගේ නම චන්ද කුමරු. මේ දරුවන්ගේ මෑණියන්ව සිටි ඒ බිසව මියගියා. එතකොට රජතුමා වෙන කුමාරියක් අගමෙහෙසිය කළා. ඇයටත් දරුවෙක් ලැබුණා. ඔහුට සූරිය කුමාර කියලා නම දැම්මා. ඒ පුතාව දැකලා රජතුමාට හරි සතුටුයි. රජතුමා දේවියට කිව්වා. ‘මේ දරුවා හරි ලස්සනයි. ඔබට කැමති වරයක් දෙමි’ කියලා. ‘දේවයන් වහන්ස, මං කැමති කාලෙක ඉල්ලන්නම්’ කියලා ඈ කිව්වා.

පුතාට නිසි කල වයස ආවා. එතකොට දේවිය කිව්වා පුතාට රාජ්‍යය දෙන්න කියලා. රජ්ජුරුවන්ගේ හිත රිදුණා.

“එතකොට මගේ අනිත් පුත්තු දෙන්නා...? ගිනි කඳන් වගේ බබලන මේ දරුවන් දෙන්නා සිටිද්දී රජකම නම් දෙන්න පුළුවන්කමක් නෑ.”

එහෙම කියද්දී අර බිසව ආයෙ ආයෙමත් වරය මතක් කරනවා. රජකමමයි ඉල්ලන්නේ. රජ්ජුරුවන්ට හිතුණේ වැඩිමහල් කුමාරවරු දෙන්නට මේ බිසව අනතුරක් කරාවි කියලයි. රජතුමා දරුවන් කැඳෙව්වා.

“මාගේ දරුවෙනි, මං සූරිය කුමාරයා උපන්න දවසේ වරයක් දුන්නා. චන් එයාගේ අම්මා මගෙන් රජකම ඉල්ලනවා. සූරිය කුමාරයාට දෙන්නලු. ඒකට මගේ කැමත්තක් නෑ. නමුත් පුතේ, ඔය බිසව ඔයාලට අනතුරක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මෙහෙන් යන්න. කැලේ ගිහින් වාසය කරන්න. මගේ ඇවෑමෙන් පස්සේ මෙහෙ එන්න. ඇවිත් රාජ්‍යය භාරගන්න.”

එතකොට අර දරුවන් දෙන්නා පිය රජතුමාට වැන්දා. රාජාංගණයෙන් නික්මී පිටත් වුණා. සෙල්ලම් කරමින් හිටිය සූරිය කුමාරයා මේක දැක්කා. දැකලා දුවගෙන ගියා. ඔවුන් වනගත වන බව අසා සූරිය කුමාරයත් එයට එකතු වුණා. සියලු දෙනා හිමාල වනයට ගියා. ඒ යන අතරේ බෝධිසත්ව කුමාරයා රුක් මුලක හිඳගෙන සූරිය කුමාරයාට මෙහෙම කිව්වා.

“මල්ලියේ... අර විලට ගිහින් නාලා පැන් බීලා නෙළුම් කොළවලට අපටත් පැන් අරන් එන්න.”

ඉතින් සූරිය කුමාරයා එතනට ගියා. ඔය විලේ අරක්ගත් රකුසෙක් ඉන්නවා. වෙසමුණි දෙවියන්ගෙන් වරම් අරගෙනයි ඇවිත් ඉන්නේ. වෙසමුණි දෙවියෝ ඔහුට මෙහෙම කියලා තිබුණා. ‘දේවධර්මය දන්න අය හිටියොත් අත්හරින්න ඕන. වෙනකෙනෙක් විලට බැස්සොත් කෑවට කමක් නෑ.’ ඉතින් මොහු කරන්නේ විලට බහින අයගෙන් දේවධර්මය ඇසීමයි.

සූරිය කුමාරයා විලට බැස්සා. රකුසා මතුවුණා. අල්ලාගත්තා.

“කියාපිය! දේවධර්මය යනු කිම?”

“දේවධර්මය යනු හිරුත්, සඳුත් ය.”

“නෑ...! තෝ දේවධර්මය දන්නෙ නෑ” කියලා වතුරෙ අස්සට ගෙනිහින් කුමාරයාව තමන්ගේ භවනේ සිරකළා. බෝසත් කුමාරයා සෑහෙන වෙලාවක් බලා සිටියා. කුමාරයා තාම ආවෙ නෑ. කරදරයක්වත් ද කියලා චන්ද කුමාරයාව පිටත් කළා. චන්ද කුමාරයාත් විලට බැස්සා. අල්ල ගත්තා. දේවධර්මය ඇහුවා. කුමාරයා කිව්වේ සතර දිශාව දේවධර්මය කියලයි. උත්තරේ වැරදියි. ඒ නිසා එයාවත් වතුරෙ අස්සට ගෙනගොස් සිර කළා.

චන්ද කුමාරයත් ගියා ගියාමයි. බෝසත් කුමරු ඒ ගමන විලට පිටත් වුණා. හොඳ කල්පනාවෙන් ගියා. හොඳට වටපිට විපරම් කළා. විලට බැහැපු පා සටහන් තියෙනවා. නමුත් ගොඩට ආපු බවක් පේන්න නැහැ. ඒකාන්තයෙන්ම රකුසෙක් අධිගෘහිත විලක් වගෙයි. ඉතින් බෝසත් කුමාරයා දුනු ඊතලවලින් සන්නද්ධ වෙලා සූදානම්ව සිටියා. එතකොට රකුසා කැලේ ඇවිදින මිනිසෙකුගේ වේශයෙන් ආවා. ඇවිදින් කිව්වා,

“භවත් පුරුෂය, ඔබට සෑහෙන්න මහන්සියි වගේ. මෙච්චර අපූරු විලක් තියෙද්දී බැහැලා නාලා වතුර බීලා නෙළුම් අල කාලා මල් මාලා පැළඳගෙන යන්නෙ නැතුව ඇයි බලාගෙන ඉන්නේ...?”

එතකොට බෝසතාණන් වහන්සේට හිතුණා, මෙයා තමයි රකුසා කියලා.

“ඇත්ත කියාපිය! මගේ සහෝදරයො දෙන්නා ගත්තෙ නුඹ නේද?”

“එසේය, මමයි ගත්තේ...”

“ඇයි එහෙම ගත්තේ...?”

“මේ විලට බැස්ස අය මට පරිභෝජනයට කැපයි.”

“ඒ කියන්නේ විලට බහින හැමෝම බිල්ලට ගන්නවද?”

“නෑ... දේවධර්මය දන්නා අය බිල්ලට ගන්න අවසර නෑ... ඔබ දේවධර්මය දන්නවාද?”

“එසේය, මම දේවධර්මය දනිමි.”

“පින්වත, එහෙනම් කියන්න...”

“එම්බා රකුස, මගේ ශරීරය දැන් අපවිත්‍රයි. මම නාලා පැන් වළඳලා අලංකාර වෙලා ආසනයක වාඩිවෙනවා. එතකොට ඔහේ මගේ පාමුල වාඩිවෙන්න ඕන. ඒ වෙලාවට දේවධර්මය කියන්නම්.”

යකා කැමති වුණා. ඉතින් බෝසතාණන් වහන්සේ කියා දුන්නා.

“හිරිඔත්තප්පසම්පන්නා - සුක්කධම්මසමාහිතා

සන්තෝසප්පුරිසාලෝකේ - දේවධම්මාති වුච්චරේ

ලැජ්ජාව සහ භය නැමැති යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත වූ, ශාන්ත වූ සත්පුරුෂයන් ලෝකයේ සිටිත් ද, ඔවුන්ගේ ඒ ලැජ්ජාව සහ භය දේවධර්මය යැයි කියනු ලැබේ.”

ඉතින් යකා බොහොම සතුටු වුණා.

“නුවණැති පින්වත, මං ඔබට එක සහෝදරයෙක් දෙන්නම්. කවුරුද ඕන?”

“එහෙනම් මට බාල සොහොයුරාව දෙන්න”

“අහෝ! නුඹ නුවණැති කෙනෙක් වුණත්, දේවධර්මය දැනගත්තත්, ඒ දේවධර්මය අනුකූලව සිටින්නෙ නැහැ නෙව. ඇයි, වැඩිමලා සිටිද්දී බාලයාව දෙන්න කිව්වේ? වැඩිමහලු පිළිවෙළට ගරුකිරීමක් නැද්ද?”

“එම්බා යක්ෂය, මං දේවධර්මය දන්නවා. ඒ වගේම එයට අනුව වාසය කරනවා. අපි වනගත වුණේ... මෙන්න මේ හේතුව නිසයි. ඉතින් අපේ පියාණෝ ඒ වරය නොදී තමයි අපව වනාන්තරයට පිටත් කළේ. ඉතින් මම වැඩිමලා රැගෙන ගිහින් වනාන්තරයේදී බාල මල්ලිව යකෙක් කෑවා කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසයි මම ඔහුව මට දෙන්න කියලා කිව්වේ...”

“ඉතා මැනවි කුමාරය. තොප දේවධර්මය දනී. ඒ අනුව වාසය කරයි. තොපට මම සොහොයුරන් දෙදෙනාම දෙමි.”

ඉතින් බෝසත් කුමාරයා යක්ෂ ජීවිතයේ ඇති අනතුර ඔහුට පෙන්වා දුන්නා. පංච ශීලයෙහි සමාදන් කෙරෙව්වා. ඉන්පසු හැමෝම වනාන්තරයේ සුවසේ වාසය කළා. පිය රජතුමා මියගිය පසු බරණැසට පැමිණුණා. තමන් රජවුණා. චන්ද කුමාරයා යුවරජු වුණා. සූරිය කුමාරයා සේනාපති වුණා. එදා ඒ ආත්මයේදී රකුසා වෙලා හිටියේ ඔබ. සූරිය කුමාරයා වුණේ ආනන්ද. චන්ද කුමාරයා වුණේ සාරිපුත්ත. මහිංස කුමාරයා වුණේ මම” කියලා භාග්‍යවතුන් වහන්සේ ඉතා මධුර වූ ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා

න නග්ගචරියා න ජටා න පංකා
නානාසකා ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං
පලක් නැතේ සිටියත් නිරුවත් වී
- ජටා මඬුලු බැන්දත් සෙත නැත්තේ
පලක් නැතේ දත් මැලියම් තිබුණත්
- කුසගින්නේ සිටියත් සෙත නැත්තේ
පලක් නැතේ මඩ තවරා සිටියත්
- පලක් නැතේ උක්කුටියෙන් සිටියත්
එතෙර නොවී සිටි විට ඔහු සැකයෙන්
- පිරිසිදු බව නැහැ ඇති කරගන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අදටත් ඉන්දියාවේ ඔය විදිහයි. නැකතට නිරුවතින් දුවගෙන ගොස් වතුරට පනිනවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කටු ඇතිරිවල සයනය කරනවා. වටේට ගිනි ගොඩවල් ගහගෙන මැද්දෙ ඉන්නවා. කෙළවරක් නැති තපස්කම් කරනවා. හැබැයි බුද්ධකාලෙ තරම්ම නෑ. ඒ එකකින්වත් පලක් නැහැ. යමෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කළොත් ඔහු සැකයෙන් එතෙර වෙනවා. ඔහු විතරයි ජීවිතයේ සත්‍යය වූ පාරිශුද්ධිය ලබාගන්නේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

3 comments (+add yours?)

Who said...
This comment has been removed by the author.
Who said...

ගොඩාාාාක් පිං..සාදු..!!සාදු..!!සාදු..!

Who said...

ගොඩාාාාක් පිං..සාදු..!!සාදු..!!සාදු..!

Post a Comment