සිතට අනතුරක් වන මසුරුබව අතහරිමු



මසුරු බවේ තිබෙන අනතුරුදායක බව අපි තේරුම් ගන්ට ඕනෙ. එහෙම නැති වුණොත් අපේ සිතත් මසුරුකමින් යටවෙන්ට පුළුවන්. මසුරුකම තිබෙන කෙනාට තමන්ට සැප විඳින්ට සිතෙන්නෙත් නෑ. අන් අයගේ සැපය පිණිස කටයුතු කරන්ට හිතෙන්නෙත් නෑ. එහෙම කළොත් ‘‘අපිට බඩගින්නෙ ඉන්ට වෙයි, අපිට පිපාසෙන් ඉන්ට වෙයි” කියල එයාට බය ඇතිවෙනව.

බැලූ බැල්මට නම් ඒ මසුරු කමෙන් තමන්ට ආරක්ෂාව සැලසෙනව වගේ තමයි එයාට පේන්නෙ. නමුත් අභ්‍යයන්තරයේ තියෙන මසුරුකම හිත තවන, හිත කෙලෙසන අකුසලයක්. එතකොට බලන්න මසුරුකම තියෙනකොට එයා ලඟ තිබෙන භව භෝග තමාටවත් අනුභව කරන්ට හිතෙන්නෙ නෑ. පස්සෙ ප‍්‍රයෝජනයට ගන්නව කියල එයා හිතනව. පසුවට වුවමනා වෙන්ට පුළුවන් කියල හිතනව. බෑලූ බැල්මට නිවැරදි ක‍්‍රියාවක් වගේ තමයි පේන්නෙ. නමුත් අභ්‍යන්තරයෙ ක‍්‍රිය කරන අකුසලය මසුරුබව යි. ඒ මසුරුකම නිසා තමාගේ ධනය තමා පරිභෝග කරන්නෙත් නෑ. එයා අන් අයට දෙන්නෙත් නෑ.

ඊලඟ දේ තමයි මසුරුකම තියෙන කෙනා යමක් දන් දුන්නත් ඊට පස්සෙ ඒ ගැනත් පසු තැවෙනව. ‘‘අපරාදෙ මේක කළේ මේක නො කර හිටියනම් හොඳයි නේ” කියල පසුතැවෙනව. එහෙම වුණොත් මොකද වෙන්නෙ? දන් දීම නිසා උපදින යම් පිනක් ඇද්ද ඒ පිනත් මහත්ඵල වෙන්නෙ නැතිව යනව. ඒ වගේ ම එයාගෙ හිත තවත් කිළිටිවෙලා යනව. මේ නිසා අපි මසුරුකම ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන් කාරණා ඉගෙන ගන්ට ඕනෙ. ඒ කාරණා තේරුම් ගන්ට ඕනෙ. ඒ වගේ ම මසුරුකම අපේ ජිවිතයෙන් බැහැර කරන්ට කටයුතු කරන්ට ඕනෙ.

දවසක් භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්ට කොසොල් රජ්ජුරුවො පැමිණියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අසා සිටිය ”පින්වත් මහරජ මේ දහවල් කාලෙ කොහේ ඉඳලද මේ පැමිණෙන්නෙ” කියල. ඊට පස්සෙ කොසොල් රජ්ජුරුවො ප‍්‍රකාශ කළා, ‘‘භාග්‍යවතුන් වහන්ස, මේ කොසොල් ජනපදයේ හිටිය ඉතාම ධනවත් සිටුවරයෙක්. ඒ සිටුවරයා කළුරිය කළා. නමුත් ඔහුට දරු මල්ලො හිටියෙ නෑ. ඉතින් කළුරිය කලායින් පස්සෙ එයාගෙ ධනයට අයිතිකාරයෙක් හිටියෙ නෑ. මම මේ ගිහිල්ල ඒ ධනය මගේ භාන්ඩාගාරයට, රජයට පවරගෙන එන ගමන්. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හරී ම පුදුමයි ඒ සිටුවරයා හරීම ධනවතෙක්. එයාගෙ භාන්ඩාගාරයෙ තුළ රන් කාසි විතරක් කෝටියක් තිබුණ. රිදී කාසි ගැන කවර කතාද?” කියල කොසොල් රජ තුමා භාග්‍යවතුන් වහන්සේට ප‍්‍රකාශ කළා.

ඊට පස්සෙ කොසොල් රජ්ජුරුවො ප‍්‍රකාශ කරනව ‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඒ සිටුවරය මෙතරම් ධනවත් උනාට එයා දුක් වින්ද. හරියට කෑමක් බීමක් කෑවෙ නෑ. එයා කෑවෙ නිවුඩු හාලේ බතයි කාඩි හොද්දයි. හරියට ඇඳුමක් ඇන්දෙ නෑ. එයා ඇන්දෙ කෑලි තුනක් මූට්ටු කරපු හණ වැහැරියක්. යාන වාහනයකට පාවිච්චි කරල තිබුණෙ කබල් කුඩයක් ඔසවල තිබුණු පොඩි කරත්තයක්. සිටුවරයෙක් වුණත් එයා සැප විඳපු කෙනෙක් නෙවෙයි. නමුත් එයා ලඟ මහා ධනයක් තිබුණ.” ඉතින් මේ කාරණය කෙසොල් රජ්ජුරුවො භාග්‍යවතුන් වහන්සේට ප‍්‍රකාශ කළා.

ඒ වෙලාවෙදී භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රකාශ කරනව ‘‘පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. පින්වත් මහරජ, ඒක එහෙම ම තමයි. ඒ පුද්ගලය ඒ විදිහට තමයි ජීවත් වුණේ. ඒකට හේතුවක් තිබෙනව. ඒ සිටුවරය අතීත ජීවිතයක මේ නගරයේ වාසය කළා. ඒ කාලයේ තගරසිඛී කියල පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ ප‍්‍රදේශයේ හිටිය. ඒ සිටුවරය ඒ කාලෙත් මහා ධනවත් කෙනෙක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එයාගෙ මනදිරයට පිණ්ඩපාතෙ වැඩිය. එතකොට මේ සිටුවරය දැක්ක මේ පින්ඩපාතෙ වඩින ශ‍්‍රමනයන් වහන්සේව. දැකල සේවකයන්ට කිව්ව ‘‘අන්න අර ශ‍්‍රමනයන්ට දානෙ ටිකක් දෙන්න” කියල එයා යන්න ගියා. එයා දන් පැන් දුන්නෙ නෑ. දෙන්න කියල කිව්ව විතරයි. ඊට පස්සෙ සේවකයින් දන් පැන් දුන්න. දානෙ දුන්නට පස්සෙ අර සිටුවරයට හිතුන ‘‘අපරාදෙ මේ දානෙ ටික දුන්නෙ. මේ දානෙ නොදී සිටියා නම් මගෙ මේ සේවකයෙකුට හරි කන්න දෙන්න තිබුණ. අපරාදෙ මේ නිකන් කෙනෙකුට දුන්නෙ” කියල හිතුන. දැක්කද මසුරුකම කියන දේ හිතේ තිබුනහම වෙන දේ. එයාට දන් දෙන්ට හිතුනෙ නෑ. දෙන්ට කියල නියම කළා, නමුත් එහෙම නියම කරල පස්සෙ පසුතැවුණ.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, ‘‘පින්වත් මහරජ, ඒ සිටුවරය අර පසේබුදුරජාණන් වහන්සේට දන් දෙන්ට කියල නියම කළානෙ. අන්න ඒ පිනේ ආනිසංස විදිහට එයා සත් වතාවක් සුගතියෙ දෙවියන් අතර ඉපදුණා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් මේ සැවැත් නුවර ම සත් වතාවක් සිටු තනතුර ලැබුණ. නමුත් පින්වත් මහරජ ඒ පුද්ගලය දානෙ දුන්නට පස්සෙ, ‘‘ආපරාදෙ ඒ දානෙටික දුන්නෙ. ඒක සේවකයෙකුට හරි අනුභව කරන්ට තිබුනනෙ” කියල මසුරුකම ඉස්මතු වෙලා අකුසල සිතුවිල්ලක් ඇතිකරගත්තනෙ. අන්න ඒකෙ විපාක විදිහට එයා ඒ නුවර සිටුවරයෙක් වෙලා ඉපදෙන්ට ලැබුණට එයාගෙඒ ධනය පරිහරණය කරන්ට හිත නැමුණෙ නෑ. මිහිරි ආහාරයක් අනුභව කරන්ට හිත නැමුණෙ නෑ. ලස්සන ඇඳුමක් අඳින්ට හිත නැමුණෙ නෑ. හොඳ වාහනයක් පාවිච්චි කරන්ට හිත නැමුණෙ නෑ. ඒ ධනය තමාගේ පහසුවට පාවිච්චි කරන්ට හිත නැමුණෙ නෑ.” කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

එතකොට බලන්න මසුරුකම නිසා සිද්ධවෙච්ච දේ. අකුසලය මේකයි. අකුසලයෙ විපාකය මේකයි. කුසලය මේකයි. කුසලයේ ආනිසංසය මේකයි කියල නොදන්න කම නිසා සිද්දවෙච්ච දේ. යම් කෙනෙකුට ඒ පිළිබඳව වැටහීමක් නැති නම් එයා අතින් අකුසල් කෙරෙනව කුසල් මඟහැරෙනව. පින් කරන එකත් මඟහැරෙනව. පාපී ක‍්‍රියා කෙරෙනව. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ස්වාක්ඛාත ධර්මය යම් කෙනෙක් පිළිඅරගෙන, ඒ ධර්මය අහල තේරුම් අරගෙන, ඒ ධර්මය පිළිගත්තොත්, අන්න එසේ ධර්මය පිළිගන්න කෙනාට, තමාට දුක පිණිස පවතින මසුරුකම වගේ පාපී අකුසල් බැහැර කරල කුසල් උපදවාගන්ට පුළුවන්කම ලැබෙනව.
දැන් බලන්න අර පුද්ගලයා දානෙ ටිකක් දෙන්ට කියල කිව්ව. නමුත් ඒ උපදවා ගත්ත පින මහත්ඵල කරගන්ට බැරිවුණා. නැවත නරක සිතුවිල්ලක් ආව. එයාට ඒක තේරුණේ නෑ ‘‘මගෙ සිතේ නරක සිතුවිල්ලක් ආවනෙ” කියල. එයා ඒක තේරුම් අරගත්ත නම් ‘‘මේක අකුසලයක්. මේ සිතුවිල්ල මට හොඳ නෑ” කියල, එයා ඒ මසුරු සිතුවිල්ලට, ඒ ලෝභී බවට ඉඩ දෙන්නෙ නෑ. එයා ඒක බැහැර කරල දානව.

එතකොට බලන්න කරපු ක‍්‍රියාව පුංචියි. එයාට හිතුනෙ මොකක්ද? ‘‘අපරාදෙ මේ දානෙ ටික දුන්නෙ” කියල. සිතේ ඇතිවුනේ සිතුවිලි කීපය යි. නමුත් ඒකෙ විපාකය බලන්න. ඒ විපාකයට මහා ධනවත් සිටුවරයෙක් වෙලා ඉපදුණා. නමුත් එයාට ඒ ලැබුණ ධනය තමාගේ සැපය පිණිස පාවිච්චි කරන්ට බැරිවුණා. තමාගේ සැප පිණිස ධනය පාවිච්චි කරන්ට හිත නැවෙන්නෙ නැත්නම් එයා අන් අයගේ සැප පිණිස ධනය යොදවයිද? යොදවන්නෙ නෑ. ඒකත් එයාට බැරි වුණා. කොසොල් රජ්ජුරුවො කියා සිටියනෙ කෝටියක් ධනය තිබුණ කියල. එච්චර ධනයක් තිබුණ කෙනාට මිහිරි කෑමක් කන්ට හිත නැමුණෙ නෑ. හරියට වස්ත‍්‍රයක් අඳින්ට හිත නැමුණෙ නෑ. බලන්න ඒ සිතුවිල්ලක් මඟින් ම ඉපදුණ අකුසලයේ විපාක, සිතුවිල්ලක් මඟින් ම විපාක දෙනව. සිතේමයි මේ අකුසලය හටගත්තෙ. සිතෙන්මයි එහි විපාක ඇතිකරන්නෙත්. දැන් සමහර අය ඉන්නව ධනය තියෙනව, ඒ වගේ ම ධනය පරිහරණය කරන්ට හිතෙනව. සමහර අයට ධනය තියෙනව, නමුත් පරිහරණය කරන්ට හිතෙන්නෙ නෑ. එතකොට මොකක්ද ඒකට හේතුව? ඒ තමයි එයා රැුස් කරගත්ත ආකාරය.

නමුත් මේ ධර්මය කෙරෙහි පැහැදීම තිබෙන කෙනා අකුසලය ගැනත් අකුසලයේ විපාක ගැනත් කුසලය ගැනත් කුසලයේ විපාක ගැනත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට යම් විදිහකින් වැටහීමක් තියෙනව. එයා මසුරුකම වගේ පාපී සිතුවිලි සිතේ ඇතිවෙනකොට සිහිකරනවා ”මේක අකුසලයක් මේ අකුසලයේ මෙබඳු විපාක තියෙනවා” කියල. ඒ නිසා එයාට අකුසලය ගැනත් අකුසලයේ විපාකය ගැනත් ලැජ්ජාව බය උපදිනව. එතකොට ඒ වගේ අකුසලයට ලැජ්ජා බය ඉපදුණ කෙනා තුුළ අකුසල් සිතුවිල්ලක් ඉපදුණොත් ඒ සිතුවිල්ල බැහැර කිරීම ගැන කලින් ම එයා තුළ කැමැත්තක් තියෙනව. ඇයි ඒ ? එයා දන්නව මේක අකුසලය කියල. අකුසලය අකුසලය විදිහට දන්න කෙනා අකුසලය බැහැර කරන්ට කැමැත්තෙන් ඉන්නෙ.

එතකොට අපිට අකුසලය බැහැර කරන්ට කැමැත්තක් නැත්නම් මොකක්ද ඒකට හේතුව? මේක අකුසලය කියල අපි දන්නෙ නෑ. මේ අකුසලය දුක් සහිත විපාක තියෙනවා කියල අපි දන්නෙ නෑ. අකුසලයත් දන්නව අකුසලයේ විපාකයත් දන්නව නම් එසේ දන්න කෙනා අකුසලයට කැමතිවෙනවද? අකුසලයේ විපාකයට කැමතිවෙනවද? කැමතිවෙන්නෙ නෑ. එයා දන්නව ඒක දුක් විපාක සහිතයි, කිසිම සැපක් ඒකෙන් උපදවන්නෙ නෑ කියල. බලන්න මේ ධර්මය දන්නා බව අපට මොන තරම් සැප උපදවල දෙනවද කියල. ඒ නිසයි භාග්‍යවතුන් වදාළ අතිශයින් පිරිසිදු අතිශයින් බලවත් මේ ධර්මය අපි ඉගෙන ගෙන ඒ ධර්මය දරාගත යුත්තේ.

ඒ නිසා තේරුම් ගන්න මසුරුබව කියන එක අපේ ජීවිතයට මහා අනතුරක්. මෙලොවටත් අනතුරක් පරලොවටත් අනතුරක්. සසරේ බොහෝ දුක් විඳින්ට සිදුවන අතිශය භයංකාර අනතුරු ඇතිකරන අකුසලයක්. ඒ නිසා ඒ අකුසලය ගැන අකමැත්ත ඇතිවන විදිහට, ඒ වගේ ම කුසලය ගැන කුසලයට කැමැත්ත ඇතිවන විදිහට අකුසලය ගැනත්, කුසලය ගැනත්, අකුසලයේ විපාක ගැනත් කුසලයේ ආනිසංස ගැනත් අපි වැටහීමක් ඇතිකරගන්ට ඕනැ. ඒ සඳහා තමයි අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උපකාර වන්නේ. ඒ නිසා ඒ ධර්මයේ තිබෙන ඒ කාරණා ඉගෙනගෙන තම තමාගේ ජිවිත තුළ පුරුදු පුහුණු කරගන්ට මහන්සි වෙන්න.

අපි මේ පින්වත් සියලූ දෙනාට ම ආශිර්වාද කරන්ට කැමතියි අකුසල් හඳුනාගෙන අකුසල් දුරුකරන්ට පුළුවන් අය බවට පත්වෙන්ටත් කුසල් උපදවගෙන කුසල් බලවත්කරන්ටත් පරිපූර්ණ වශයෙන් සිත පිරිසිදු කරගන්ටත් වාසනාව ලැබේවා කියල.

තෙරුවන් සරණයි.

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන්වහන්සේ.

0 comments (+add yours?)

Post a Comment