ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම


ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් නිසා, වළගම්බා රාජ්‍ය යුගය අනුස්මරණීය අවධියක් ලෙස ඉතිහාසයෙහි සඳහන් වේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් සිද්ධියක් හැටියට සැලකිය හැකිය. එහෙත් එය වූ කලී නිරායාසයෙන් හෝ අහම්බෙන් හෝ සිදුවූවාක් නොව සමකාලීනව පැන නැගුණු දේශපාලන හා ශාසනික පරිසරය විසින් මෙහෙයවන ලදුව, දුර දක්නා නුවණින් ක්‍රියා කළ ශාසන භාරධාරී මහ තෙරවරුන් වහන්සේලාගේ ප්‍රශංසනීය උත්සාහයක ප්‍රතිඵලයකි. 

බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ල

 වට්ඨගාම්ණී කුමරු මුල්වරට රජ පැමිණ පස් මසක් ගත වන්නට පෙර, තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් රජුට විරුද්ධව රුහුණේ කැරැල්ලක් ඇති කළේය. ඒ සමගම ඉන්දියාවේ ද්‍රවිඩයෝ සත් දෙනෙක් පිරිස් සහිතව රජු හා යුද්ධයට සැරසුනාහ. උපායේ දක්ෂ රජතුමා කැරලිකාර තිස්ස බමුණාට ලිපියක් යවමින්……… “ඔබට රාජ්‍යය පවරමි. දෙමළුන් හා යුද්ධ කරවය………” යි දන්වා යැවීය. ද්‍රවිඩයන් සමග සටන් කළ තිස්ස බ්‍රාහ්මණයා පරාජයට පත්විය. ඉන්පසු ද්‍රවිඩයන් රජු සමග යුද්ධයට පැමිණි බැවින් රජ සැඟවී ගොස් කලෑ වැදුණි. මේ කාලයේදීම, ලංකා ඉතිහාසයේ කිසි කලෙක ඇති නෙවී විරූ දරුණු සාගතයක් අවුරුදු දො‍ෙළාසක් මුළුල්ලෙහි පැවැත්තේය. වැසි නොලැබීමෙන් ගොවිතැන් කළ නොහැකි වූහ. මිනිස්සු කඳුකර වන පෙදෙස්වලට ඇතුල්ව කොළ මුල් ආදිය කමින් ජීවත් වූහ. මිනිසුන් ගම් හැර දමා ගිය බැවින් භික්ෂූහු අනාථ වූහ. එයින් බොහෝ දෙනෙක් විදේශ වලට ගියහ. ටික දෙනෙක් මෙහිම වසමින් යම්තම් ආහාරයකින් ජීවිතය රකිමින්, කට පාඩමින් ගෙන ආ ධර්මය රැක ගත්හ. ඒ අවධියෙහි භික්ෂූන්ට මුහුණ පාන්නට සිදුවූ අනේකවිධ දුෂ්කරතා ගැන අටුවා ග්‍රන්ථයන්හි සඳහන් වේ.
රට හැරදමා නොයාමට තීරණය කොට මෙහිම විසූ මහාසේන, ඉසිදත්ත, චුලසීව, යන තෙරවරුන් තුන් නමක් පිළිබඳව සම්මෝහනවිනෝදනී අටුවාවේ සඳහන් වෙයි. චූලසීව තෙරණ්වෝ දිනක් මහාසෑය වැඳපුදා ගැනීමට ගියහ. එවකට මහා විහාරය හිස්ව තිබුණි. මහාසෑ මළුවේ එඬරු ගස් වැඩී තිබුණේය. මහාසෑය සෙවලින් වැසී තිබුණි. එතැනින් නික්ම ගිය උන්වහන්සේ දැදුරු ඔය අසළ කොළ කා ජීවත් වූ මිනිසුන් සිටි තැනකට ගොස් කල් ගෙවූහ. ඉසීදත්ත හා මහාසේන යන තෙරවරුන් දෙනමට මේ කාලයෙහි අතිශය දුෂ්කරතා වකට මුහුණ පාන්නට සිදුවී ඇත. උන්වහන්සේලා දෙනම මී ගෙඩිවල පොතු අනුභව කොට සත් දිනක්ද අමු මානෙල් දඬු කා සත් දිනක්ද ගතකළ සැටි එම අටුවාවේ සඳහන් වේ. එකල තිස්සමහාරාමයෙහිද, සිතුල්පව් විහාරයේද, තුන් අවුරුද්දක්ම යැපෙන්නට තිබුණු වී මීයන් විසින් කන ලද බවත්, ඒ හේතුවෙන් විශාලසංඛ්‍යාවක් භීක්ෂූන් වහන්සේලා, මරණයට පත්වූ බවත් සම්මෝහවාදනී අටුවාවේ සඳහන් වේ.

ධර්මය රැක ගැනීමට උනන්දු වීම

මේ අවධිය වන විට ත්‍රිපිටක ධර්මය පවත්වාගෙන ආයේ ශිෂ්‍යානු ශිෂ්‍ය මුඛ පරම්පරාවෙනි. මේ දුෂ්කර අවධියෙහි ධර්මයේ සමහර කොටස් ඉගෙනගෙන සිටි ඇතැම් භික්ෂූහු මරණයට පත්වූහ. සාගින්නෙන් දුර්වල වූ බොහෝ භික්ෂූන් වහන්සේලාට නිසි අයුරින් ධර්මය ඉගෙනීමට නොහැකි වූහ. මේ තත්ත්වය යටතේ ධර්මයේ ඇතැම් කොටස් නැති වී යා හැකිය යන බියක් ශාසන මාමක භික්ෂූන් වහන්සේලා තුළ පැවතිනි. එබැවින් ධර්මය කට පාඩමින් දත් භික්ෂූහු ඒ ඒ ධර්ම කොටස් අභාවයට යාමෙන් මුදවා ගැනීම පිණිස හැම උත්සාහයක්ම ගත්හ. මනෝරථපූරණී අටුවාවේ සඳහන් වන අන්දමට ඉන්දියාවට යාමේ අදහසින් සමූද්‍ර තීරය තෙක් පවා ගිය සැටනමක් භික්ෂූහු ආපසු දකුණු මලය රටට අවුත් මුල් සහ කොළ පමණක් ආහාරයට ලබමින් විසූහ. තමන් කට පාඩමින් දැන සිටිය ධර්මය අමතක වේය යන බියෙන් ඒවා අත් නොහැර සජ්ඣායන කළහ. මෙවැනි තොරතුරු වලින් පෙනී යන්නේ කටපාඩමෙන් පැවතගෙන ආ ධර්මය රැක ගැනීමට එවක සිටි මහාතෙරවරුන්ට දැඩි ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවූ බවයි.

ශාසනික පරිහානියක්

ත්‍රිපිටක ධර්මය රැක ගැනීමට නොපසුබට උත්සාහයෙන් ක්‍රියාකළ ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේලා කීප නමක් මේ අවධියේ සිටි නමුත් බුදු සසුන තුළ යම් ප්‍රමාණයක පරිහානියක් ද දක්නට ලැබුණි. සුත්ක නිපාතයට අයත් මහානිද්දේශය කට පාඩමින් දැන සිටි චතුනිකායික තිස්ස තෙරුන් අපවිත්‍ර චරිතයක් ඇති භික්ෂුවක් හැටියට පිළිගෙන තිබුණු බව සමන්තපාසාදිකාවේ සඳහන් වේ. ශාසනයේ දියුණුවට ආධාර කළ සිංහල රජවරුන්ගේ බලය අඩුවී යාමත්, ලෞකික සැප කෙරෙහි ඇලුණු පුද්ගලයින් සසුනට ඇතුල්වීමත්, මෙවැනි පරිහානියකට තුඩුදෙන්න ඇතැයි සිතිය හැකිය. මේ අනුව දුසිල් භික්ෂූන් නිසා ත්‍රිපිටක බුද්ධ ධර්මය ව්‍යාකූල වේය යන බියක්ද ශාසන භාරධාරි මහතෙරවරුන් තුළ හට ගන්නට ඇත. එබැවින් ධර්මය නොවෙනස්ව සුරැකිව තැබීමේ වැඩ පිළිවෙලක් ගැන උන්වහන්සේලා කල්පනා කරන්නට ඇත.

පර්යාප්ති ප්‍රතිපත්ති වාද

වර්ෂ කීපයක් ගතවීමෙන් පසු බ්‍රාහ්මණ තිස්ස මළේය. දුර්භික්ෂ භය තුරන් විය. වට්ටගාමිණී අභය දෙවන වර (ක්‍රි. ව. 88-76) රජවිය. ඒ සමගම “සසුනේ පැවැත්ම පර්යාප්ති මූලකද” යන්න පිළිබඳව උන්වහන්සේලා අතර මතභේදයක් හට ගැනුණි. මනෝරථ පුරණි අටුවාවට අනුව මෙම සාකච්ඡාව ඇතිවූයේ පාංශුකූලික හා ධර්ම කථික යන භික්ෂූන් වහන්සේලා දෙපක්ෂය අතරය. එහිදී පාංශුකූලිකයෝ ශාසනය ප්‍රතිපත්ති මූලික යයිද, ධර්මකථිකයෝ පර්යාප්ති මූලික යයිද කීහ. භික්ෂූන්ගේ මනා පැවැත්ම ඇතිතාක් කල් ලෝකය රහතුන්ගෙන් නොසීස් වන්නේ යැයි ප්‍රතිපත්තිවාදී පාංශුකූලිකයන් තර්ක කළ අතර, සූත්‍රාන්තය (පර්යාප්තිය) රැකෙන කල්හි ප්‍රතිපත්තිය ආරක්ෂාවේ යැයි පර්යප්තවාදී ධර්ම කථිකයෝ පෙන්වා දුන්හ. මේ වාදයෙන් පර්යාප්තිවාදීහු ජය ගත්හ. විදර්ශකයන් දහස් ගණනක් සිටියත්, පර්යාප්තිය නැති වුවහොත් කිසිවෙකුටත් නියම ප්‍රතිෂ්ඨාවක් ඇතිවිය නොහැකි බව අවසානයේ ප්‍රතිපත්තිවාදීහුද පිළිගත්හ. සැබැවින්ම පර්යාප්ති වාදීහු වැඩි වශයෙන් ග්‍රන්ථධූරදාරිනයෝ වූහ. උන්වහන්සේලා ග්‍රාම වාසයට පුරුදු වූ ධර්ම කථිකයෝ වූහ. ඒ හැරත් ඔවුන් ත්‍රිපිටකය, හා අටුවා ආදිය කටපාඩම් කිරීමට නිතර වෙහෙසුන අය හැටියටද පිළිගත හැකිය. උන්වහන්සේලා පර්යාප්තිය අගය කළා පමණක් නොව, එහි ආරක්ෂාව හා දියුණුව ගැනද අවධානය යොමු කළහ. මේ නිසාම බැමිණිටියාසාය පැවති වකවානුවේදී, පර්යාප්තියේ අනාගතය ගැන භාරදූර ලෙස සිතන්නට වූහ. මේ අනුව ත්‍රිපිටකය කට පාඩමින් රැකගෙන ආ භික්ෂූන් නැතිව ගියහොත් බුද්ධ ශාසනයට මහත් පාඩුවක් වන බව කල්පනා කළ පර්යාප්තිවාදී භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය පොත්වල ලියා තැබීම හොඳ යැයි සම්මත කරන්නට ඇත.

නිකාය භේදය

අභයගිරිය බිහිවීමත් සමග ලංකාවේ මුල් බුදු සසුන තුළ නිකාය භේදයක් හට ගැනුණි. මහා විහාරය හා අභයගිරිය වාසී භික්ෂූන් වහන්සේලා දෙපක්ෂය අතර ධර්ම විනය පිළිබඳ විවිධ මතභේද හටගත් අන්දමත් එතෙක් පැවති ‍ථෙරවාද බුද්ධ ධර්මයට පටහැනි ඉගැන්වීම් ඉදිරිපත් වූ අන්දමත්, වංසකතා තොරතුරු වලින් හෙළිවේ. ථෙරවාදය දිවි දෙවෙනි කොට සැලකූ මහා විහාරික භික්ෂූන් වහන්සෙලා මේ අළුත් අදහස් උදහස් ථෙරවාද බුද්ධ ධර්මයට එල්ල වූ බලවත් තරුජනයක් ලෙස සලකන්නට ඇත. අනාගතයේදී එම අදහස් ත්‍රිපිටක ධර්මය හා එක්වීම නිසා ථෙරවාද බුද්ධ ධර්මය අපිරිසිදු වීමෙන් වැලකීම පිණිස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කර තැබීමට මහා විහාරික භික්ෂූන් වහන්සේලා සිතුවා විය හැකිය.

සංගීතිය පිළිබඳ වාර්තා

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීමේ සිද්ධිය පිළිබඳව වංසකතා හා වෙනත් සාහිත්‍යමය මූලාශ්‍රවල විවිධ ලෙසින් වාර්තා වෙයි. එහෙයින්ම මෙය සිදුවූ වර්ෂය හෝ හේතුව හෝ පැවැත්වූ ආකාරය හෝ එතරම්ම පැහැදිලි නැත. මහාවංසයේ සඳහන් වන්නේ සුළු සටහනකි. “ත්‍රිපිටක ධර්මයද එහි අර්ථ කතාවද, ප්‍රඥා ඇති පූර්වක භික්ෂූහු මුඛපාඨ වශයෙන් ගෙන ආවෝය. එකල්හි වැසි වූ භික්ෂූහු සත්වයන්ගේ පරිහාණි දැක ධර්මයේ චිරස්ථිතිය පිණිස පොත්හි ලියූහ” යනුවෙනි. මීට වඩා විස්තරයක් සපයන නිකාය සංග්‍රහය සංගීතිය පිළිබඳ පුවත මෙසේ වාර්තා කරයි……..” මේ මහා ස්තවීර පරම්පරායෙන්, මුඛපාළි වශයෙන් පැවත ආවා වූ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපදාධිපතියක්හුගේ ආරක්ෂායෙන්, පන්සියයක් රහතන් වහන්සේ මාතුල නම් දනව්වෙහි අළුලෙන වැඩහිඳ පොත් සංගායනා කොට ලියවූ සේක.” මේ පුවත පූජාවලියේ සඳහන් වන්නේ “ බැමිණිටියාසායත් මොහු සාමයෙහිම විය. මොවුන් දවස පන්සියයක් රහතන් වහන්සේ අළුලෙන වැඩ හිඳ පොත් සංගායනා කළ සේක. “ යනුවෙනි. වංසකතා හා වෙනත් සාහිත්‍ය ලේඛනවල තොරතුරු අනුව අපට නිගමනය කළහැකි වන්නේ වළගම්බා රජු දවස මාතලේ අළුවිහාරයේදී එක්තරා ජනපදාධිපතියකුගේ ආරක්ෂාව හා අනුග්‍රහය ඇතිව අටුවා සහිත ත්‍රිපිටකය පොත්වල ලියා තැබූ බවයි.
බැමිණිටියාසාය සමයේදී ලංකාවේ නැවතී සිට ධර්මය රැකගත් මහ තෙරවරුන් කිහිපනමක් ගැන කලින් සඳහන් කර ඇත. සංයුක්තභානක චුලසීව, ඉසිදත්ත, මහාසේන යන තෙරවරුන්ද, ත්‍රිපිටකධාරී වත්තබ්බක නිග්‍රෝධ මහතෙරුන් වහන්සෙද, එවක සිටි විශාරද විද්වත්හු වෙති. උන්වහන්සේලා මෙම පුස්තාකරූඨ සංගීතියට සහභාගිවූ තෙරවරුන් හැටියට අපට අනුමත කළ හැකිය.
පුස්තකාරූඨ සංගීතියේ දී පුරෝගාමි වූයේ මහාවිහාර භික්ෂුන් වහන්සෙය. මෙම ධර්ම සංගීතිය ථෙරවාදයේ ආරක්ෂිව සඳහා තමන්ට කළහැකි විශේෂ කාර්යයක් හැටියටද, උන්වහන්සේලා සිතුවා විය යුතුය. එහෙත් මේ කාර්යය සඳහා මහා විහාරය තෝරා නොගත්හ. මාතලේ අළුවිහාරය තෝරා ගන්නට ඇත්තේ ඒ වනවිට මහා විහාරය ආරක්ෂා සහිත තැනක් නොවූ නිසා විය හැකිය. මෙම ඓතිහාසික වූත් වැදගත් වූත් කාර්යයට රාජ අනුග්‍රහය අවශ්‍යයෙන්ම ලැබිය යුතුව තිබුණි. එහෙත් එවැනි අනුග්‍රහයක් ලැබුණු බවක් නොපෙනේ. එයින් පෙනී යන්නේ වළගම්බා රජු ඊට සම්බන්ධ වීමට එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි. ඒ හැරත් ඔහුගේ අනුග්‍රහය ලබා ගැනීමට මහාවිහාරික තෙරවරුන්ද, බලාපොරොත්තු නොවන්නට ඇත. මේ සඳහා ආරක්ෂාව සැපයූ ශ්‍රේෂ්ඨ පුද්ගලයා එක්තරා ජනපදාධිපතියෙකු වශයෙන් මිස නමින් සඳහන් නොකර ඇත්තේ එය ඔහුට හානි දායක වීමට තරම් තත්ත්වයක් පැවති නිසා විය යුතුය. එසේ නැත්නම් ඔහු තම නම ප්‍රකට කිරීමට අකමැති වූ කෙනෙකු වූ නිසාද විය හැකිය. ඒ කෙසේ වෙතත් මේ කරුණු අනුව පෙනී යන්නේ, පුස්ථකාරූඨ සංගීතිය සෑහෙන තරම් විරුද්ධතා හා දුෂ්කරතා මධ්‍යයේ කරන ලද කාර්යයක් වූ බවයි.

සංගීතියේ අගය

ද්‍රවිඩ උවදුරු වලට බියෙන් හෝ සාගතය නිසා ඇතිවූ කම්පනයෙන් හෝ අන්‍ය නිකායිකයන්ගේ අදහස් වලින් ධර්මය ව්‍යාකූල වේය යන සැකයෙන් හෝ මහා විහාරික භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද පුස්තකාරූඨසංගීතිය සංගායනා ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියකි. දුෂ්කරතා මධ්‍යයේ මෙතෙක් කට පාඩමින් රැකගෙන ආ ත්‍රිපිටකය හා අටුවා මෙයින් පසුව ඉගෙනීමට හා ඉගැන්වීමට පහසු විය. පෙරට වඩා බෞද්ධ උගතුන් සුලභ වීමටද මෙය ප්‍රබල හේතුවකි විය. ථෙරවාද සම්ප්‍රදායයේ පමණක් නොව පාළි සාහිත්‍යයේම අනාගත සුරක්ෂිත භාවයට මෙම සංගීතිය මහත් අන්බලයක් විය. භාරතයෙන් පවා ත්‍රිපිටකයේ අටුවා සම්ප්‍රදාය නැතිවී යද්දී ලංකාවේ එය ඉතිරි වූයේ මෙම සංගීතියේ ප්‍රතිඵලයක් වශයෙනි. බුද්ධඝෝෂ ආදී මහා පඬිවරුද අටුවා සාහිත්‍යය සොයා දඹදිව සිට මේ දිවයිනට වැඩමවූයේත් මෙම සංගීතියෙන් අටුවා සාහිත්‍යය සුරැකිව පැවතුණු නිසාය. ත්‍රිපිටකය රන්පත් වල ලියා අළුවිහාරයෙහි ගලක නිදන් කරන ලදැයි කියවෙන ජනප්‍රවාදයක් මෙරට පවතී.

Taken form බුදු දහම page of Facebook

0 comments (+add yours?)

Post a Comment