දිව්‍ය තලවල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ?



මේ මොහොතේ සද්ධර්මය සුරක්‍ෂිත භූමියේ සුරක්‍ෂිතභාවය උදෙසා "අප ශ්‍රී ලංකා මාතා" කියලා ආශිර්වාද කරන දෙවිවරුන් සමඟ පිංවත් ඔබ අත්වැල් බැඳගන්න. දෙවියන් සමඟ පිංවත් ඔබ බැඳෙන අත්වැල බැඳෙන්නේ පූජා වට්‌ටියකින්, පඬුරකින්, භාරයකින් නොව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන මහේශාඛ්‍ය දෙවියන් පවා වන්දනා කරන කාරණාවලින්. පිංවත් ඔබ මිථ්‍යාදෘශ්ටික කාරණා වලින් බැහැරව ඉහත ආකාරයට සද්ධර්මයට හිතැති දෙවියන් සමඟ අත්වැලක්‌ බැඳගත්තොත් මුළුලෝකයම විනාශවී ගියත් පිංවතුන් සුරක්‍ෂිත යෑයි කියන කාරණය ගැන ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ ඇතිකර ගන්න. දෙවිවරුන්ට පිංවත් ඔබත් ශක්‌තියක්‌ වෙන්න, මේ සද්ධර්මය යම් පමණ කාලයක්‌ හෝ මේ ධර්මද්වීපයේ ආරක්‍ෂාකොට තැබීම පිණිස. ඒ ශක්‌තිය ඔබට ලබාදිය හැක්‌කේ ජීවිතයට ඉහත අර්ථයන් එකතුකර ගැනීමෙන්ය. ඔබ මේ ආකාරයට පෙළගැසුණොත් මිථ්‍යාදෘශ්ටික ලෝකයාට හේතු-ඵල ධර්මයන්ට අනුව කුමන විනාශයක්‌ සිදුවුවද, පිංවත් ඔබ සුරක්‍ෂිත වේවි. මේ උතුම් සද්ධර්මය තව කාලයක්‌ සුරක්‍ෂිතව පවතීවී. මේ උතුම් සද්ධර්මයෙන් මනුෂ්‍යයින් ධර්මාවබෝධය ලබාවි. තව තවත් සුගති භූමිවල ඉපදේවි. රූපී බ්‍රහ්ම තලවල, සුගතිභූමි වල තව තව මාර්ගඵල ලාභී දෙවියන් දිව්‍යාංගනාවන් බිහිවේවි. පිංවත් ඔබ ධර්මය සමග ජීවත්වෙන්න. ඕනෑම අභියෝගයක්‌ හමුවේ විනාශයක්‌ හමුවේ වුවද සුරක්‍ෂිතව සිහි මුළා නොවී ඊට මුහුණ දෙන්න. එසේ නොවී ඔබ මිථ්‍යාදෘශ්ටික ක්‍රමවේදයන්ට ගියොත්, ඔබ දුසිල්වත් වුවොත්, හේතුඵල ධර්මයන්ට අනුව වෙනත් දිශාවකට යන විනාශයක්‌ හෝ පැමිණ ඔබව විනාශ වී යාවි.

දුශ්ශීල භාවයේ හේතුඵල ධර්මයන් වළක්‌වන්නට දෙවියන්ට බැහැ. මේ මොහොත, මේ ධර්මද්වීපයේ උතුම් මොහොත බව සිතන්නට. එය රට ජාතියේ උතුම් මොහොත නොව, රට ජාතිය සමඟ බැඳෙන සද්ධර්මයේ උතුම් මොහොතයි. ඒ උතුම් මොහොතේ වැරැදි ඉලක්‌ක කරා නොගොස්‌ සද්ධර්මයම නිවැරැදි ඉලක්‌කය කරගන්න. එවිට රටත් ජාතියත් යම් පමණකට හෝ රැකේවි.

මේ සටහන කියවනවිට ශ්‍රද්ධාව අඩු පිංවතකුට සැකයක්‌ හිතෙන්න පුළුවන් දිව්‍යතල වල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ කියලා. සමහර පිංවතුන්ලා කියනවනේ දිව්‍යතලයත් අපායත් දෙකම තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේම කියලා. එහෙම සිතන ලෝකයට ඉහත සිද්ධිය විකාරයක්‌ වීමටද පුළුවන. නමුත් මේවා ඔබ දෙපා තබාගෙන ජීවත්වන ලෝකය තුළ සිදුවන සැබෑම ඇත්තය. හාස්‌කම් නොවේ. හේතුඵල ධර්මයන්ය.

වරක්‌ භික්‍ෂුවක්‌ මිනිස්‌ වාසයෙන් සැතපුම් 3 ක්‌ පමණ දුරින් කුටියක වැඩසිටියදී, උදේ පින්ඩපාතයට ගමට ගොස්‌ නැවත කුටියට වඩින අතරමග දරුණු අමනුෂ්‍යයකුගේ බියගැන්වීමක්‌ භික්‍ෂුවගේ කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අසාර්ථකභාවයට පත්විය . ඒ මොහොතේදීද එම භික්‍ෂුවට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ අපූරු සංගීත රාවයක්‌ ඇසිණ.

එම දිව්‍ය සංගීතය වූයේ "රණවිරුවකුගේ අවසන් ගමනට, යන මහ ජනතා පා දූවිල්ලෙන්, තැළී වෙළී සැනහී මියයන්නෙම් ... මගේ පරම පැතුම එයයි (උඬගු ලියන් ගොතා බඳින..... නමැති සම්පූර්ණ ගීතයම) යන ගී හඬ සංගීතය සමඟින්ම, භික්‍ෂුව එම කුටියෙන් ඉවත්ව යනතුරුම නිරතරුවම දිව්‍ය තලවලින් ඇසෙන්නට විය.

ස්‌ත්‍රී සහ පුරුෂ කටහඬවල් දෙකකින් යුග ගීතයක්‌ ගයන්නා සේ බොහොම මිහිරි සහ ගැඹුරු හඬින් ඇසෙන්නට විය. පිරිමි කටහඬ හරි ගැඹුරුය. සමාධිමත් හඬකින් යුක්‌තය. "තැළී, වෙළී පොඩිවී මියයන්නම්" කියන පද පෙළ ගායනා කරන්නේ දැඩි අධිෂ්ඨානශීලීවය.

මෙතැනදි සශ්‍රීක දිව්‍යතලවල දෙවියන් රණවිරුවා නමින් හැඳින් වූවේ තුවක්‌කු, යුද ටැංකි සමඟින් ඉදිරියට යන ඔබ දකින රණවිරුවා නොව. ගීතය රචනා කළ, ගායනා කළ පිංවත් ඔබ දුටු රණවිරුවා නොව. මේ මිහිතලය මත සිටින සැබෑම කෙළෙස්‌ සතුරා පරාජය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වීර්යය වඩන උපසම්පදා භික්‍ෂුව නැමැති රණවිරුවා උදෙසාය. බලන්න පිංවත්, ඔබ අපි මොනතරම් බොළඳ ද කියලා. අපි රණවිරුවා කියන්නේ කාටද? සශ්‍රික දිව්‍යතලවල දෙවියන් රණවිරුවා වශයෙන් සිංහනාද කරන්නේ මේ උතුම් අරිහත් ධජය දරාගෙන සැබෑම කෙළෙස්‌ යුද්ධය කරන මහාසංඝරත්නයමය. රණවිරුවා කියන වචනයට මේ සැබෑම අර්ථය දෙන්නට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්aධාව සහිත දෙවියන්ට, මනුෂ්‍යයකුට හැර වෙන කාට පුළුවන්ද?

සිල්පද 227කින් සන්නද්ධ ශීලයේ ශක්‌තියෙන් සකස්‌කොටගත්, සමාධියේ පළිහ උපයෝගී කරගෙන, පංච නීවරණ නමැති සතුරා පරාජයකොට ප්‍රඥාවේ ජයග්‍රහණය සොයාගෙන යන සැබෑම රණවිරුවා ලෙසින් උපසම්පදා භික්‍ෂුවට දෙවියන් දක්‌වන කෘතවේදීත්වය පිංවත් ස්‌වාමීන්වහන්ස  ඔබවහන්සේලා ශක්‌තියක්‌ කරගන්න.

දෙවියන්ට අනුව සැබෑම රණවිරුවා යනු සංස්‌කාර රැස්‌කරන රණවිරුවා නොව, සංස්‌කාරයන්ගේ නිරෝධය උදෙසා ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන්කරනා රණවිරුවාය. එවැනි රණවිරුවාට එරෙහිව වන මනුෂ්‍ය, අමනුෂ්‍ය අභියෝගයන් හමුවේ, ඊට එරෙහිව සටන්කොට තැළී, පෑගී, පොඩිවී, මියයන්නට සූදානම් කියලයි දෙවියන් මේ මොහොතේ ඒ දිව්‍ය සංගීතයෙන් සිංහනාද කරන්නේ. ලෝකයේ මොනවාද වෙන්නේ. එහෙත් අපි මොනවාද දන්නේ. අපි නොදන්නවාය කියලා ලෝකයේ වෙන දේවල් අනුමාන කමින් බැහැර කළොත් එය අපිට තිබෙන අවස්‌ථාවක්‌ අපිම පැහැරහැරියා වෙනවා. පිංවත් දෙවිවරු මේ මොහොතේ සිංහනාද කරනවා, අර්ථවත් ධර්ම මාර්ගයේ ගමන්කරන පිංවතුන් උදෙසා. ඔබ ඉදිරියට එන අභියෝග හමුවේ දෙවියන් ඊට එරෙහිව සටන්කොට මියයන්න සූදානම් කියලා. දෙවියන් ශීලයෙන් පරිපූර්ණ පිරිසක්‌. ඒ අය බොරු කියන්නේ නැහැ. අදාළ භික්‍ෂුවට කැළය මැද සිදුවූ එම අමනුෂ්‍ය සිද්ධියේදී භික්‍ෂුව හොඳින් අත්දුටුවා එම අමනුෂ්‍යයා පරාජය කළ ආකාරය. ඒ කියන්නේ දෙවියන් ක්‍ෂණිකව ක්‍රියාත්මක වුණා. මීට වඩා මොන ශක්‌තියක්‌ද ගිහි පැවිදි ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතුන්ලාට. ශීලයෙන් පරිපූර්ණ ගිsහි පැවිදි උතුමන්ගේ පහසු විහරණය උදෙසා දෙවියන් තැළී මියයන්නට සූදානම්ව සිටියදී, අපේ උදවිය, කුණුවෙන පළතුරු වට්‌ටියක්‌ මත, පෙරේත ලෝකයට පාර පෙන්වන සල්ලි කොළයක්‌ හිසමත තබාගෙන ව්‍යාපාර, රැකියාව, විවාහය, තනතුරු ගැන කෙළ හල හලා දේවාල වන්දනාවේ යනවා. හිතන්න ඔය පූජා වට්‌ටිය බිම තබලා තෙරුවන් ගැන සිතන්න. එහෙම හිතන සැණින් සශ්‍රීක දෙවියන්, පිංවත් ඔබ ගැන සිතාවී. ආශිර්වාද කරාවී. සිංහනාද කරාවී. පිංවත් ඔබ සැබැවින්ම දෙවියන් අතරට යන කෙනෙක්‌ වේවි.

මේ මනුෂ්‍ය ලෝකයේ ශීලය, දානය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරමින් ජීවත්වන මනුෂ්‍යයන් සිටිනවා. මේ අය අර්ථවත් සංගීතයට කැමතියි. ඒ අය සංගීතය අත්විඳින්නේ විතර්ක, සිහින ලෝක ගොඩනගාගෙන මනෝ ලෝක වල ජීවත්වීමට නොවේ. ඔවුන් ගීතයේ අර්ථය, සංගීතය තුළින් නිරාමිස සතුටක්‌ ලබනවා. එම අහිංසක සතුට නිසා මොහුගේ ශීලයට බාධාවක්‌ වෙන්නේ නැහැ. ශීලයත් රැකගෙන අර්ථවත් සංගීතයත් උපාදානය කරනවා. එහෙම අය මැරෙන මොහොතේ දිව්‍ය සංඥා සකස්‌වී සශ්‍රීක දිව්‍යතලවල දිව්‍ය සිටින මහේශාඛ්‍ය දෙවිවරුන්ව සංගීතයෙන් පිනවන සහායක දෙවිවරු දිව්‍යාංගනාවන් ලෙස උපත ලබනවා. ඒ අයගේ මුළු දිව්‍ය ජීවිතයම සංගීතයයි. මෙන්න මෙවැනි දිව්‍ය දිව්‍යාංගනාවන් පෙර ජීවිතයේදී සකස්‌කරගත් සංගීත උපාදානයන්ට අනුව, ඒ මතකයන් දිවැස්‌ මඟින් මතුකරගෙන දිව්‍ය සෝත, දිව්‍ය චක්‌ඛු මඟින් මනුෂ්‍යලෝකයේ සංගීතයද අසමින් දකිමිනුයි, දිව්‍ය තල වල සංගීතයේ අසිරිය පතුරුවන්නේ. සිංහල ගීත ඇසෙන්නේ මනුෂ්‍ය ලෝකයේ පමණක්‌ නොවේ. සැබෑම අර්ථයන්ට ගළපමින් දෙවියන්ද සිංහල ගීත මියුරු හඬින් ගායනා කරනවා සංගීතය සමඟින්ම.

ඉහත සටහන කියවා ඔබට විශ්වාසයක්‌ සකස්‌ වූවා නම්, එම විශ්වාසය බුදුරජාණන් වහන්සේ කෙරෙහිම යොමු කරන්න. ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහිම යොමු කරන්න. ශීලය ආර්යකාන්ත ශීලයක්‌ වශයෙන් ජීවිතයට එකතුකර ගන්න. තෘෂ්ණාවෙන් තොරව දන් දෙන්න. නිරතුරුවම අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් වඩන්න. මෙම ධර්මතාවයන් පිංවත් ඔබව මේ භව ගමනේදී අප්‍රමාදීභාවයට පත්කරාවි. හඬන දොඩන මිනිසුන් අතර ඔබ සමාධිමත් මිනිසෙකු කරාවි. ඒ සමාධිමත් සිතම ඔබට විදර්ශනා ඥානය සකස්‌කොට දේවි. දැන් පිංවත් ඔබ කල්ප විනාශයකදී වුවද සුරක්‍ෂිතය. මේ මොහොතේ දිව්‍යතලවලට අධිපති ශක්‍ර දෙවියන්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අභිමුව සෝවාන් ඵල අවබෝaධ කරගත් දිව්‍ය නායකයෙකි. මනුෂ්‍ය ලෝකයේ වැඩ සිටින සියලුම සම්‍යදෘශ්ටික යක්‍ෂයන්ට, යක්‍ෂ සේනාධිපතියන්ට අණදෙන මහේශාඛ්‍ය සතරවරම් දෙවිවරු ආටානාටිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, අපි නෘත්‍ය සංගීතයෙන් පිනාගිය, ඒවායේ සිත්අලවා වාසය කරන්නේ කියලා. මේ සතරවරම් දෙවිවරු පිනවන දිව්‍ය බළමුළුවල හඬයි ඔය ආකාරයෙන් සංගීතය පතුරුවන්නේ. ආටානාටිය සූත්‍රයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතරවරම් දෙවිවරුන්ගේ ප්‍රකාශය අනුමතකොට වදාරනවා. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සිව්වනක්‌ පිරිසේ පහසු විහරණය උදෙසා සම්‍යදෘෂ්ටික දිව්‍ය, යක්‍ෂ බළමුළු නිරතුරුවම ආරක්‍ෂාව සපයනවා කියලා. ඉහත සටහන තුළින් මේ මොහොතේ ඒ යථාර්ථය සනාථ වෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

0 comments (+add yours?)

Post a Comment